හැමෝම කියන්නේ මගේ හිනාව තමයි ලස්සන කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙවෙනි ඉනිමේ සහේලි ලෙසින් බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් එමාෂා සෙනෙවිරත්න දැනට ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණේ. නිරන්තයෙන්ම සමාජ මාධ්‍යය ඔස්සේ කතබහට ලක්වන එමෂාට අපි වෙනස්ම විදිහේ ප්‍රශ්ණ කිහිපයක් මෙවර යොමු කළේමු. මේ ඒවාට ඇය දුන් ප්‍රතිචාර.

එමාෂා කියන්නේ මොන වගේ කෙනෙක්ද?

හරිම පාඩුවේ මගේ වැඩක් කරගෙන කිසිම කෙනෙක්ට කිසිම විදිහකින් කරදරයක් නොවී ඉන්න කෙනෙක්. මම හරිම කැමතියි මගේම උත්සාහයෙන් ලස්සන ගමනක් යන්න. ඒ වගේම මම ගොඩක් සංවේදී කෙනෙක්. පවුලේ අය තමයි හැමදාමත් මගේ ජීවිතේ අංක එක.

නිරූපණයට රංගනයට අමතරව ඔබ දක්ෂ තව මොනවටද?

මම හිතනවා මම නිවේදනයට දක්ෂයි කියලා. චූටි කාලෙ ඉඳලම නිවේදන කටයුතුවලට මම ගොඩක් ආස කළා. ගෙදරදීත් තනියම වැඩසටහන් කරනවා ගෙදර අය ඉස්සරහා. එයාලා තාමත් ඒ දේවල් මතක් කරනවා. ඒ වගේම නිවේදිකාවක් වෙන්න ආසාවකුත් තිබුණා. පාසල් කාලයේදී වගේම විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේදිත් නිවේදන කටයුතු වලට විවිධ මට්ටම්වලින් සහභාගී වුණා. ඊට අමතරව චූටි කාලෙ නම් චිත්‍ර අදින්නත් හොඳ දක්ෂකමක් තිබුණා. මම සමස්ත ලංකා මට්ටමෙන් පවා ප්‍රථම ස්ථානය දිනලා තියෙනවා චිත්‍ර තරගවලින්.

ක්‍රීඩාව පැත්තට ඔබේ තියෙන නැඹුරුව කෙහොමද?

ක්‍රීඩාව පැත්තටත් මගේ ලොකු අසාවක් කැමැත්තක් තියෙනවා. මම කැමතිම ක්‍රීඩාව බාස්කට් බෝල්. පොඩි කාලේ නම් ක්‍රිකට් තරඟ එහෙමත් බැලුවා. ඒ කාලේ නම් ක්‍රිකට් පිස්සුවක් මට තිබුණේ. දැන් නම් ඒක එච්චර නැහැ.

කැමැතිම ක්‍රීඩකයෙක් ඉන්නවාද?

එහෙම විශේෂයක් නැහැ. මෙන ක්‍රීඩාවක උනත් දක්ෂතා දක්වන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට මම කැමතියි.

අහන්න කැමතිම ගීතය මොකක්ද?

කනට මිහිරියි නම්, ලස්සනයි නම්, ඕනම වර්ගයක ඕනම භාෂාවක ගීතයක් අහන කෙනෙක් මම. මේ දිනවල නම් කැමතිම ගීතය "My Starlight". මේක තායි භාෂාවෙන් ගයන ගීතයක්. ගායකයා Joong Archen.

බලපු හොඳම චිත්‍රපටය මතකද?

ඇත්තටම චිත්‍රපට වලට වඩා ටීවී සීරිස් බලන කෙනෙක් මම. ඒ නිසා චිත්‍රපටයක් අහපු ගමන් එකක් මතක් වෙන්නේ නැහැ මට.

ජීවිතය දුක හිතුන අවස්ථා නැද්ද?

තියෙනවා. එකක් කියලා නැහැ.

සත්තුන්ට ආදරෙයිද?

ඔව්. ගොඩාක් ආදරෙයි. ඒක වචනවලින් කියන්න බැහැ. ඇඟ පුරාම කුෂ්ඨ හැදුනු, කෙට්ටු වෙලා අන්තිමටම අසරණ වෙච්ච, කිසිම ලස්සනක් නැහැයි කියලා මිනිස්සුන්ට හිතෙන විදිහෙ සතෙක් දැක්කත් ගිහින් ආදරයෙන් වඩාගෙන අතගාන කෙනෙක් මම. ඒ හේතුව නිසා බැනුම් අහලත් තියෙනවා. මට එයාල ගැන පුදුම ආදරයක් දැනෙන්නේ. අපේ ගෙදර හැමෝම එහෙමයි.

රඟපාන්න ආසම නළුවෙක් ඉන්නවාද?

ඇත්තටම එහෙම විශේෂයෙන් කෙනෙක් නැහැ. කවුරු එක්ක රඟපෑවත් භාරගත්ත නිර්මාණයට උපරිම සාධාරණයක් වෙන විදිහට, දක්ෂ විදිහට, ලස්සනට ඒ රංගනය කරන්නයි මට ඕනේ. ඉතින් ඒකට මට හොඳ සහයෝගයක් ලැබෙන ඕනැම කෙනෙක් එක රඟපාන්න මම කැමතියි.

ඔයා හිතන විදිහට ඔයාගෙ ඇගේ ලස්සනම මොකක්ද?

මම හිතන්නේ මගේ හිනාව. ඒක මට හැමෝම කියන දෙයක්.

දැනට කීදෙනෙක් ඔයාට ආදරෙයි කියලා තියෙනවද?

ඒක නම් මට මතක නැහැ. පාසල් යන කාලයේ ඉඳලා මේ දක්වා ගොඩක් අය මට කැමතියි කියලා තියෙනවා. හැබැයි ඒවා භාර නොගත්තේ කවදා හරි දවසක මටම ස්වභාවිකව කැමැත්තක් ඇතිවෙලා, මගෙ හිතේ ආදරයක් ඇතිවෙන කෙනෙක්වයි මට අවශ්‍ය. මම හිතනව ඒක මගේ දෛවය අනුව සිදුවේවි කියලා.

බුද්ධික සේනාධීර