ස්වර්ණකුමරිය මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2021 වසරේ පැවති ස්වර්ණ කුමරිය තරගයේ අවසන් තරගකාරියන් අතරට තේරුණු සෂන්දි පබෝදා වර්තමානය වනවිට නිරූපණය ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටියි. නර්තනයටද දක්ෂ අයෙක් වෙන සෂන්දි නර්තන ගුරුවරියක් වීමේ සිහිනයකින්ද පසුවෙයි. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රූපරාජිණි තරගයක් හරහා නේද?

ඔව්, 2021 වසරේ තිබුණ Mr & Miss Teen Sri Lanka රූපරාජිණි තරගය හරහා තමයි මම කලාවට පැමිණෙන්නේ. එම තරගයේ මට ප්‍රධාන කිරූළ දිනාගන්නට බැරි වුණත් තරගයේ Miss Most Populer මිණි කිරූළ දිනාගන්න මට හැකිවුණා.

ගිය වසරේම තිබුණ ස්වර්ණකුමරිය තරගයටත් ඔබ සම්බන්ධ වුණා?

ඔව්, 2021 වසරේ තිබුණ ස්වර්ණකුමරිය තරගයට ඉදිරිපත් වුණා. අවසන් තරගකාරියන් අතරට ආවාත් එහිදි මට ජයග්‍රහණයක් දිනාගන්න නොහැකි වුණා. නමුත්, මම හිතනවා  කලා ක්ෂේත්‍රය තුළ මගේ හැරවුම් ලක්ෂය සිදුවුණේ ඒ තරගයට සහභාගි වීම හරහා කියලා.

සෂන්දි දැනට කලා නිර්මාණවලට දායක වෙලා තියෙනවද?

දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ‘ලොක්කි’ ටෙලි නාට්‍යයේ මම සුළු චරිතයකට දායක වුණා. ඊට අමතරව සිංහල අවුරුදු කාලේ ස්වර්ණවාහි නාලිකාවේ විකාශය වුණ ‘සන්ක්වික්’ වෙළෙඳ දැන්විම් කිහිපයකට පෙනි හිටියා. බ්‍රයිඩල් හා කැෂුවල් ෂූට් වලට තමයි මම ගොඩක්ම වගේ පෙනි හිටියේ.

නිරුපණ ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස?

දක්ෂතාවය, හැකියාව මත ලොකු ගමනක් යන්න පුළුවන් ක්ෂේත්‍රයක්. නමුත්, හැකිතාක් මෙහි ප්‍රවේශමෙන් යායුතුයි කියලයි මම නම් හිතන්නේ.

කලාව පැත්තට යොමු නොවුණා නම් ඔබ කවුරු වෙයිද?

අනිවාර්යෙන්ම නර්තන ගුරුවරියක් වෙනවා. දැනුත් ඒ කැමැත්ත මට තියෙනවා.

නිරුවත්, අඩනිරුවත් ඡායාරූපවලට ඉන්න කැමතිද?

නැහැ. මම යම් සිමාවක ඉදලා තමයි වැඩ කරන්නේ. වැඩක් භාරගනිද්දි වුණත් මම කරන වැඩේ ගැන ගොඩක් හොයලා බලනවා ඒක මට කරන්න පුළුවන් එකක්ද කියලා.

නිරූපණ ක්ෂේත්‍රය ගැන විවිධ කතා තියෙනවා. ඒවා ඇත්තද?

මේ ක්ෂේත්‍රය ගැන ගොඩක් අය බලන විදිහ වැරදියි. නමුත්, වෙළෙඳ ප්‍රවර්ධනය ට මෙය විශාල පිටුවහළක් වෙනවා. ඒ නිසා හරි විදිහට ඒ ඒ නිරූපණයන්වල නිරත වෙනවා නම් වරදක් කියන්න බැහැ මට.

උදව් කරපු අය ගැනත් සඳහන් කරමු?

ඇත්තම කියනවා නම් මගේ තාත්තා මුලින් මේවාට සම්බන්ධ වෙනවට අකමැත්ත පෙන්නුවා. මොකද, මම අපොස උසස් පෙළ විභගයට පෙනි ඉඳලා මේ මෑතකදී තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. දෙරණ රූපවාහිනි නාළිකාවේ දැවැන්ත ටෙලි නිර්මාණයක චරිතයකුත් මට ඔය අතරේ මඟ හැරුණා. දැන් නම් තාත්තා, අම්මා වගේම මගේ පෙම්වතාත් ගොඩක් උදව් කරනවා මගේ වැඩ වලට.

බුද්ධික සේනාධීර