ගුරුවරියක් විදිහට වැඩ කරන අතරතුර තමා කලා කටයුතුවලටත් එකතු වෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි නාට්‍යය කිහිපයකින්ම දුටු චලනි මධුෂිකා මෙවර අපි සාර්විට තරු කතාබහට මෙසේ සම්බන්ධ කරගත්තේමු. මේ දිනවලද විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින චලනි වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දර යොවුන් රංගන ශිල්පිණියක්ද වෙයි.

චලනි කලාවට සම්බන්ධ වුණේ කොහොමද?

දෙරණ රූපවාහිනි නාළිකාවේ තවමත් විකාශය සංගීතේ ටෙලි නාට්‍යය හරහා තමයි කලා ක්ෂේත්‍රයට මම සම්බන්ධ වුණේ. මගේ මතකයේ හැටියට නම් 2019 මැයි මාසයේදී වගේ. එදා ඉඳලා ඉතින් අද වෙන තුරු විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වෙලා මේ ක්ෂේත්‍රය තුළ මම කටයුතු කරමින් ඉන්නවා.

කලාවට සම්බන්ධ වෙන හීනයක් චලනිට තිබුණද?

කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණේ නැහැ කියලා කියන්න බැහැ. තිබුණා ඒක මට තේරේන කාලේ ඉදලා තිබුණ දෙයක්. හැබැයි හිතුවේ නැහැ සංගීතේ වගේ ජනප්‍රිය ටෙලි නාට්‍යය හරහා පළවෙනි රංගනය ඉදිරිපත් කරලා මේ ක්ෂේත්‍රයට එකතු වෙන්න ලැබෙයි කියලා. කියන්න ඕනා මේ අවස්ථාව මට අහම්බෙන් ලැබුණ එකක්.

ක්ෂේත්‍රය ගැන මොකද ඔබේ අදහස?

කලාව කියන්නේ හරි සුන්දර දෙයක්. ඉතින් කලාවට සම්බන්ධ වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. එකටත් මොකක් හරි පිනක් තියෙන්න ඕනා. කලාවට අපි සම්බන්ධ වුණාම ඉන්න ඕනා විදිහ අනුව අපේ නම බබලව ගන්න පුළුවන්. ඒ වගේම අපි වැරදි විදිහට මේ ක්ෂේත්‍රය තුළ ගියොත් අපේ නම කැත වෙන්නත් පුළුවන්. මගේ අදහස නම් මේක හරි සුන්දර තැනක් වගේම හැමෝටම ලැබෙන්නේ නැති තැනක්. ඊඨ අමතරව බොහෝම පරිස්සමින්  වැඩ කළ යුතු ක්ෂේත්‍රයක්.

චලනි දැනට සම්බන්ධ වුණ කලා නිර්මාණ මොනවද?

ටෙලි නාට්‍යය ගත්තොත් මුලින්ම සංගීතේ හරහා තමයි කලාවට එකතු වෙන්නේ. ඊට පස්සේ දෙරණ නාළිකාවේ විකාශය වුණ ධරණි ටෙලි නාට්‍යයේ මම හංසි කියන චරිතය රඟපෑවා. තවමත් විකාශය නොවුණ ඉරට ලඟ මිනිස්සු ටෙලි නාට්‍යයේ මම ඉන්නවා. වර්තමානයේ විකාශය වෙන සැළෙනා නුවන් ටෙලි නාට්‍යයේ තමාලිගේ චරිතය තුළින් මාව දකින්න පුළුවන්. ටෙලි නාට්‍යයවලට අමතරව ගීත රූප රචනා, රූපවාහිනි වෙළෙඳ දැන්විම් කිහිපයකටත් මම දැනට දායක වෙලා තියෙනවා.

කලා ශිල්පිණියකට අද තියෙන පිළීගැනීම කොහොමද?

නිරූපණ ශිල්පිණියක් හෝ රංගන ශිල්පිණියකට තමන්ගේ පැවැත්ම තියෙන්නේ එයාලා සමාජයත් එක්ක ගණුදෙනු කරන විදිහ අනුව තමයි. මොකද, ප්‍රේක්ෂකයෝ තමයි එයාලාව ඉහළට ඔසවලා තියෙන්නේ. ඉතින් එයාලා ඉන්න විදිහ අනුව තමයි මේ සමාජය තුළ එයාලාට තියෙන පිළිගැනීම තිරණය කරන්නේ. වෙලාවකට එයාලා හොඳ වෙන්නත් පුළුවන් තවත් වෙලාවක නරක වෙන්නත් පුළුවන්. ඒක ලැබෙන්නේ අපි එයාලාත් එක්ක කරන ගණුදෙනුව මත.

රංගනය කියන්නේ චලනිගේ වෘත්තියද?

මේක වෘත්තියක් විදිහට කරගෙන යනවා හැබැයි මගේ ප්‍රධාන වෘත්තිය ගුරු වෘත්තිය. මම පෙර පාසල් ගුරුවරියක් විදිහට දැනට කටයුතු කරගෙන යනවා. ඊට අමතරව තමයි මම ආසාවෙන් කලාවට සම්බන්ධ වෙලා ඒ වැඩ කරන්නේ.

ඒ කියන්නේ කලාවත් එක්ක දිගටම රැඳෙන්නද අදහස?

ඔව්, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දිගටම වැඩ කරන්න ආසයි. ඉතින් මට පුළුවන් කාලයක් යනකම් මම මේ ක්ෂේත්‍රයත් එක්ක වැඩ කරන්න කැමතියි.

චලනිට උදව් කරපු අය?

ගොඩක් අය ඉන්නවා. පළමුවෙන්ම මතක් කරන්න ඕනා හංසනි විමලසිරි අක්කා. එයා තමා මාව මේ ක්ෂේත්‍රයට ගෙන ආවේ. සංසක ප්‍රබුද්ධ, පසිදු රැක්ෂාන්, ධරණි අධ්‍යක්ෂණය කරපු ශ්‍රියාන්ත ප්‍රසාද් අයියා විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඒ එක්කම කියන්න ඕනා මගේ රංගන ජිවිතේ මට අවස්ථාව ලබා දුන්න හැමෝම මේ වෙලාවේ ඉතාමත් ආදරයෙන් මතක් කර සිටිනවා. නම් වශයෙන් මතක් කරන්න ගියොත් විශාල පිරිසක් ඉන්න නිසා පොදුවේ හැමෝටම මේ වෙලාවේ මගේ ස්තුතිය පුද කර සිටිනවා.

බුද්ධික සේනාධීර