නිවේදිකාවක් වෙන හීනයක් පොඩි කාලේ මට තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දශකයකට අධික කාලයක් තිස්සේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන මහර්ගා සිතුමිණි සමගින් අද ‘සාරවිට’ තරු කතාබහ අපි දිග හරින්නට මෙළෙස සූදානම් වුණේමු. මේ වනවිට සියත රූපවාහිනි නාළිකාව ඇතුළු නාළිකා කිහිපයකම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරන ඇය සිය අලුත්ම කලා තොරතුරු අපිට පැවසුවේ මෙළෙසිනි.

ඔබ නිවේදිකාවක් වුණේ කොහොමද?

නිවේදිකාවක් වෙන්න මට අවස්ථාව ලැබෙන්නේ 2011 වසරේදී. ඒ එෆ්.එම් නිවේදිකාවක් විදිහට ‘මැක්ස්’ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා. ඉතාම කෙටි කාලයක් තුළදී මම මේ ආයතනය හරහා පුහුණුවිමක් ලබනවා නිවේදිකාවක් විදිහට වැඩ කරන්නේ කෙහොමද කියලා. මාස කිහිපයකින් පස්සේ මට ලැබෙනවා ‘මැක්ස්’ රූපවාහිනි නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට වැඩ කරන්න. මම හිතන්නේ එක තමයි මගේ නිවේදන වෘත්තියේ මගේ හැරවුම් ලක්ෂය විදිහට මා දකින්නේ. මොකද, හැමෝටම ලැබෙන්නේ නැහැ වැඩසටහනක් සජිවිව ඉදිරිපත් කරන්න. බොහෝ අයට මුල්ම අවස්ථාව ලැබෙන්නේ ගොඩක් වෙලාවට පටිගත කරන වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න. ඒ අතින් මම වාසනාවන්ත වුණා මගේ පළමු වැඩසටහනම සජිවිව ඉදිරිපත් කරන්න.

හීනයක් තිබුණද නිවේදන වෘත්තියට එන්න?

නිවේදිකාවක් වෙන්න මට අවස්ථාව ලැබෙන්නේ අහම්බෙන්. නිවේදිකාවක් වෙන හීනයක් පොඩි කාලේ මට තිබුණා. පොඩි කාලේ ඉතින් පුංචි අයගේ වැඩසටහන් බලලා ඒ විදිහට අනුකරණය කරනවා මම. වයස අවුරුදු 18ක් විතර වෙන කොට මට එක්තරා වෙළෙඳ දැන්විමකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඔය අතරේ තමයි මට තුමිදු නුවන්ප්‍රිය ඩයස් අයියාව මුණ ගැහෙන්නේ. ඔහු මට යෝජනාවක් කරනවා නිවේදිකාවක් විදහට වැඩ කරන්න අවස්ථාවක් තියෙනවා ඇවිල්ලා තිර පරික්ෂණයකට මුහුණ දෙන්න කියලා. මම ඒකට සහභාගි වෙනවා. සම්මුඛ පරික්ෂණයේදී මට මුලින්ම මුණ ගැහෙන්නෙත් ඔහු. ඔහු තමයි මාව තෝරගන්නේ ‘මැක්ස්’ ආයතනයට. ඒ විදිහට තමයි නිවේදන වෘත්තියට මුලින්ම අත්පොත් තබන්නේ.

මොනවද දැනට ඔබ කරන වැඩසටහන්?

අද වෙන කොට මම වැඩසටහන් ගණනාවක් කරලා තියෙනවා දැන් මම සියත TV නාළිකාවේ වැඩ කරන්නේ. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ මම සජිවි වැඩසටහන් ඉදිරිපත් කරනවා. ‘ගුඩ් මොර්නින්ග් ශ්‍රී ලංකා’, ‘සුන්දර ඉරිදා’, ‘සුන්දර ශනිදා’ කියන වැඩසටහන් දෙක. අසංක හා තරංග අයියලා දෙන්නත් එක්ක මම තමයි ඒ වැඩසටහන් කරන්නේ. ඒ අතර චැනල් වන් නාළිකාවේ ‘වාස්තු විද්‍යාව’ සම්බන්ධ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. තව බොලිවුඩ් චිත්‍රපට ගැන වැඩසටහනක් කරනවා. ජයමග රූපවාහිනි නාළිකාවෙත් ‘සෙනෙහස් ගඟුල’, ‘ප්‍රභාතය’ හා  ‘දිනන මඟ’ ඇතුළු සජිවි වැඩසටහනක් හා පටිගත කරපු වැඩසටහන් කිහිපයකුත් මම කරනවා. ඒ එක්කම ‘හරිත’ TV ඇතුළු නාළිකා කිහිපයකත් මම දැනට වැඩ කරමින් සිටිනවා. 

ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න හැදෑරිමක් අත්‍යවශ්‍යයි?

ඇත්තටම ඔව්, ‘මැක්ස් TV’ නාළිකාවේ වැඩ කරන කොට ඇත්තටම මම මුලික සිද්ධාන්ත ටිකවත් අඩුම තරමේ දැනගෙන හිටියේ නැහැ. හැබැයි පසුකාලීනව මම හිතුවා මම නිවේදන වෘත්තිය දිගින් දිගටම තෝර ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ක්ෂේත්‍රය ගැන හැදැරිමක් කළ යුතුයි කියලා. ඒ නිසාම මම මාධ්‍යය ක්ෂේත්‍රය ගැන පුළුල් අවබෝධයක් තියෙන මාධ්‍යය ගුරුවරයෙක් වූ හරින්ද්‍ර ජයලාල් මහත්මයාගේ ‘බේස්ට් ඔෆ් වොයිස්’ ආයතනය සමග මම සම්බන්ධ වෙලා ඒ පිළිබඳව හැදැරිම් කළා. ඇත්තටම මම ඔහු යටතේ නිවේදන වෘත්තිය කියන දේ මුල සිට අගටම ඉගෙන ගත්තා.

ඉදිරි සැලසුම් මොනවද?

මැතකදි මම යූ ටියුබ් නාලිකාවක් පටන් ගත්තා. නම තමයි ‘මහර්ගා ව්ලොග්’ කියලා. දිර්ඝ කාලයක් තිබ්බේ මගේ හිතේ තිබුණ අදහසක් මේක. පසුගිය ජුලි මාසයේදී තමයි මම මේක ආරම්භ කළේ. ඉතාම ඉක්මණින් මේක මිනිස්සු අතරට අද වෙන කොට ගිහිල්ලා තියෙනවා. මිනිස්සුට අවශ්‍ය දේ වටහා ගනිමින් ඔවුන්ට අවශ්‍ය දේ ලබා දෙමින් මේ යූ ටියුබ් නාලිකාව අද වෙන ගොඩක් දුරට සාර්ථක වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.පසුගිය කාලේ රටේ තිබුණ තත්ත්වයත් එක්ක මෙහි වැඩ කටයුතු ටික්ක අතපසු වුණා. නමුත්, දැන් නැවතත් එය සුපුරුදු පරිදි කරගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඉදිරි සැළසුම් අතර මේක තවත් හොඳට කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ අතර මගේ නිවේදන වෘත්තිය හොඳින් හා සාර්ථකව කරගෙන යන්නත් මගේ අදහසක් තියෙනවා.

නිවේදිකාවක් නොවුණා නම් ඔබ?

එහෙනම් මම අට, පහ රජයේ රැකියාවක් කරයි කියලා හිතනවා. මම නිවේදන වෘත්තියට එන්න කලින් අධිකරණ අමාත්‍යංශයේ රැකියාවක නිරත වුණා. නමුත්, හිත තිබුණේ කලාව පැත්තට යන්න. ඒ රැකියාව කරන අතරේ පවා හිතුවේ නිදහස් මාධ්‍යවේදිනියක් විදිහටවත් කටයුතු කරනවා කියන අදහස. කොහොම හරි අද මගේ හිතේ තිබුණ ආසාව, හිනය මේ හැම දෙයක්ම නිවේදන වත්තියට යොමුවීමත් එක්ක සඵල වෙලා තියෙනවා.

උදව් කළ අය?

උදව් කරපු අය නම් ගොඩක් ඉන්නවා. නම් වශයෙන් කියන්න ගත්තොත් ලොකු පිරිසක්. නම් නොකිවත් ඒ හැම දෙනාවම මේ අවස්ථාවේදී ඉතාම ආදරයෙන් මතක් කරනව. ඒ අතර මගේ සැමියා හා මගේ පවුලේ අය වගේම සැමියාගේ පවුලේ අය ගොඩක් මට උදව් කරනවා. විශේෂයෙන්ම අද මම මේ ක්ෂේත්‍රවලින් යම් තැනක සිටිනවා නම් ඒ තැනට එන්න මගේ සැමියා ගොඩක් මට උදව් කළා. ඒ ගැනවිශේෂයෙන්ම මතක් කරන්න ඕනා.

බුද්ධික සේනාධීර