‘සකළගුරු’ ටෙලි නාට්‍යයේ ‘පුෂ්පා’ විදිහට තමයි කවුරුත් මාව දන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජාතික රූපවාහිනියේ මේ දිනවල විකාශය වෙන ‘සකළ ගුරු’ ටෙලි නාට්‍යය දෙවැනි කොටස තුළින්ද ‘පුෂ්පා’  ලෙස ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගැනීමට සමත්ව තිබෙන දිල්හානි විරසිංහ ‘සාරවිට’ අප සමගින් මෙවර තරු කතාබහට එක් වුණේමු.

පළමු කොටසට වඩා ‘පුෂ්පා’ චරිතය දෙවැනි කොටසේ ජනප්‍රියද?

ඔව් රසික ප්‍රතිචාර නම් ‘පුෂ්පා’ චරිතයට අඩුවක් නැතුව ලැබෙනවා. කොහොම වුණත් ‘පුෂ්පා’ කියන චරිතය ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තේ ‘සකළගුරු’ පළමු කොටසෙන්. ඒ ආදරය දෙවැනි කොටස හරහාත් මට ලැබුණා කිව්වොත් හරි.

මේ දිනවල දිල්හානි ‘සකළගුරු’ එක්කෙ විතරද වැඩ?

ටෙලි නාට්‍යයේ බොහෝ දර්ශන රූපගත කරලා දැන් ඉවරයි. දැනට මම ‘පානම් පාරේ’ කියලා තවත් ටෙලියක වැඩ කරනවා. එහි මම ‘අමන්දි’ කියන චරිතය තමයි නිරූපණය කරන්නේ. මගේ රංගන දිවියේ මට ලැබුණ තවත් හොඳ චරිතයක් කියලා කියන්න පුළුවන්.

ඔබ චිත්‍රපට කිහිපයකත් රඟපෑවා නේද?

ඔව්, චිත්‍රපට කිහිපයකම රඟපෑවා මම. ‘රජ මාලු’ හා ‘රූකඩ පැංචි’ ඒ අතරින් කිහිපයක්. ඉදිරියේදී මා දායක වුණ තවත් චිත්‍රපට හතක් විතර ප්‍රදර්ශනය වෙන්න තියෙනවා.

ඔබ ප්‍රේක්ෂකයින් අතරට ගියේ ‘පුෂ්පා’ චරිතය හරහා පමණද?

ගොඩක් මට ආදරේ කරන්නේ ගත්තේ ‘සකළගුරු’ විකාශය වුණාට පස්සේ. නමුත්, මම ‘හුස්මක් තරමට’, ‘අහස් මාලිගා’, ‘ළබැදියේ’, ‘සුජාතා’ හ ‘සුසුමක ඉම’ කියන ටෙලි නාට්‍යයවලත් රඟපෑවා.

රංගනයට සම්බන්ධ නොවුණා නම්?

මම දැනට කරන රජයේ රැකියාවට යොමු වෙලා ඉඳියි කියලා මම හිතනවා. පොඩි කාලේ නම් මගේ හිනේ වුණේ නර්තන ගුරුවරියක් වෙන්න. මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රංගනය, නර්තනය මේ හැම දෙයක්ම හදාරලා තියෙනවා.

ටෙලි නාට්‍යය හා චිත්‍රපට රංගනයට විතරද ඔබ යොමු වෙලා තියෙන්නේ?

නැහැ. රූපවාහිනි වෙළෙඳ දැන්විම් ගොඩකට දායක වෙලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා වගේ දේවලුත් කරලා තියෙනවා. රංගනයට අමතරව මම නිරූපණ කටයුතුවලටත් යොමු වෙලා තියෙනවා. දැනට නම් මනාලියක් විදිහට 500කට වඩා වැඩි වතාවන් ප්‍රමාණයක් මම සැරසිලා තියෙනවා.

කලාවට ආපු හැටි මතකද?

මගේ ගම අනුරාධපුරය. කලාවට සම්බන්ධ වුණේ මගේ මතකයේ හැටියට 2014 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණාට පස්සේ. රංගනයට නර්තනයට මම පොඩි කාලේ ඉඳලා ආසයි. ජිවිතේ කොහේදෝ තිබුණ වාසනවකට මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. අද වන විට යම් පිරිසක් මාව රංගන ශිල්පිනියක් විදිහට අඳුනගෙන තියෙනවා. ගොඩක් සතුටුයි ඉතින්.

බුද්ධික සේනධීර