රඟපාන්න නම් ගොඩක් ආරාධනා ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රය තුළ අංශ කිහිපයක් නියෝජනය කරන යෞවනියක් ලෙස කාංචනා සත්‍යාංගනි හැඳින්විය හැකිය. ගායිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට අවතිර්ණව වර්තමානය වනවිට නිරූපිකාවක් ලෙසද ඇය කටයුතු කරමින් සිටියි. අද සාරවිට තරු කතා බහා දිග හැරෙන්නේ ඇය සමගිනි.

ඔබ කවුද කතා බහා පටන්ගමු ඒ ගැන කියලා?

මම ගායිකාවක්. හැබැයි මේ ක්ෂේත්‍රයට තාම අලුත් කෙනෙක්. ඊට අමතරව මම නිරූපණ ක්ෂේත්‍රයටත් දැන් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒත්, ඒක මම ඒක කරන්නේ නම් විනෝදාංශයක් විදිහට.

ගායිකාවක් වුණේ කොහොමද ඔබ?

පාසල් කාලේ ඉඳලාම මම ගොඩක් සංගිතය පැත්තට ආස කරපු කෙනෙක්. විෂයක් විදිහට පාසල් කාලේ මම සංගීතය හදාරලා තියෙනවා. අද වෙන කොට මම සංගීතය පැත්තෙන් විශාරදවරියක්. දැනට ගොඩක් කවර් සෝන්ග් කරලා තියෙනවා. ඊට අමතරව මගේම කියලා ගිත කිහිපයකුත් දැන් කරගෙන යනවා.

ඔබ හඬ දුන් ගීත ගැන කියමු?

මා කලින් කිව්වා වගේ මම ගොඩක් කරලා තියෙන්නේ කවර් සෝන්ග් හා මැෂප් ගීත. මගේ කියලා අලුත් ගීතයක් තව නොබෝ දවසකින් නිකුත් වෙන්න තියෙනවා. විශේෂත්වය කියන්නේ ඒ ගිතයේ ගී පද රචනය කළෙත් මම. බොහෝම ඉක්මණින් ඒ ගීතය ප්‍රේක්ෂක ඔබට අහන්න බලන්න පුළුවන් වේවි.

එතකොට කොහොමද නිරූපණයට සම්බන්ධ වුණේ?

ගීත ගායනයට සමානව මම නිරූපණයටත් තෙරේන කාලේ ඉඳලා ආස කරපු කෙනෙක්. නිරූපණයට සම්බන්ධ වෙන්න කළින් අඳුනන ඡායාරූප ශිල්පින් කිහිප දෙනෙකුගේ පොටෝ ෂුට්වලට හිටියා. ඒවා දැකලා මට ආරාධනා ලැබුණා වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනාවලට පෙනි ඉන්න. මේක මම විනෝදාංශයක් විදිහට කරන නිසා ගොඩක් වැඩ පස්සේ දුවන්නේ නැහැ. කතා කළොත් ඒ වැඩේ බාරගෙන කරනවා. එච්චරයි.

වඩා කැමති ඔබ ගායනයටද නැත්නම් නිරූපණයටද?

මම ගොඩක් කැමති සංගීතය හා ගායනය පැත්තෙන් ඉදිරියට යන්න.

නිරූපණ වැඩ කරද්දි රඟපාන්න ආරාධනා ලැබුණේ නැද්ද?

ඔව්, ආරාධනා කිහිපයක් නම් ලැබිලා තියෙනවා. බලමු ඉදිරියට. ඔය ලැබුණා ආරාධනා අතරින් හොඳ නිර්මාණයකට මම ඉදිරියේදී සම්බන්ධ වෙයි කියලා හිතනවා.

ඔබ ආස කරන ගීතයක් තියෙනවාද?

රයිනා චාරුකාගේ ගීතවලට මම ගොඩක් ආසයි. ඇයගේ ගීත වලින් කළුවරට හිත බය හින්දා.. කියන ගීතයට මම ගොඩක් ආසයි. ඒකේ පද රචනය ගි තනුව ඒ හැම එකටම මම ආසයි. අදටත් මම ඒ ගීතය ගොඩක් ආසාවෙන් මම රසවිඳිනවා.

ගොඩක් අය ජනප්‍රිය පුද්ගලයෝ අනුකරණය කරනවා, ඔබත් එහෙමද?

නැහැ. මේ මම ගායනා කරන ශෛලයයි මටම ආවේණික වු එකක්. කට හඬත් එහෙමයි. එහෙම කෙනෙක්ගේ ගායන විලාශය අනුකරණය කරන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය මටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගාගන්න එක.

ඔබ ගායනා කරන්න වඩාත් කැමති ආදරය විරහාව සම්බන්ධව ලියැවුණ ගීතද?

එහෙම වෙනසක් නැහැ. ඒ දෙකටම මම කැමතියි. ගොඩක්ම ආදර ගීත ගායනා කරන්න කැමතියි. ඒ අතරම විරාහ ගිතත් ගායනා කරනවා. මොකද, ආදරය හා විරහාව කියන්නේ එකටම යන ගීත වර්ග නිසා.

ඒ රාමුවෙන් පිට වෙනත් විදිහේ ගීත තෝරගන්න අදහසක් නැද්ද?

ඒක කාලෙන් කාලේට වෙනස් වෙනවා. ආදරය හා විරහාව සම්බන්ධව ලියැවුණ ගීත පමණක් ගායනා කරන්න මගේ අදහසක් නැහැ. අපි ගීත කියන්න ඕනා මිනිස්සු අහන්න කැමති ඒවා. අපි කැමති ඒවා කිව්වාට වැඩක් නැහැ. කාලෙන් කාලේට එන රැළිවලට අදාල ගීත අපි තෝරගෙන ගායනා කරනවා.

පවුලේ අය කැමති ඔබ මොන ක්ෂේත්‍රය තුළ වැඩ කරනවටද?

මගේ අම්මා නම් ඒ ක්ෂේත්‍ර දෙකේම වැඩ කරනවට කැමතියි. ගොඩක් මට උදව් කරනවත් එක්ක. තාත්තා නම් ගොඩක් ආස මම සංගීතය පැත්තෙන් ඉදිරියට යනවට.