සම්මාන ලැබෙන්නත් කලින් ඉඳලාම මම ආව ගමන ගැන සතුටුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දා පැවතුණු ‘Glorious Iconic Awards 2022’ සම්මාන උළෙලේදී වසරේ හොඳම නිරූපිකාව (Best Model Sri Lanka) ලෙස සම්මාන දිනාගනු ලැබුවේ ඩයනා කේ. හෙට්ටිආරච්චියි. ඩයනා වසර දහයක් පමණ නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන අතර ඇය වෘත්තීයෙන් ගුරුවරියකි. ඩයනා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව කතා කිරීමට ඇයව සාරවිට කතාබහකට අප එකතු කරගත්තේ මෙලෙසින්.

ලැබුණු ජයග්‍රහණය මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. නිරූපණ ක්ෂේත්‍රයට වඩා මම ගුරු වෘත්තීයේ ඉන්න කෙනෙක්නේ. ඒකත් එක්ක මේ වගේ ජයග්‍රහණයක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි.

ජයග්‍රහණයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර නම් හොඳයි.

ඩයනා නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම මේ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ අවුරුදු 10කට කලින්. 2012දි මම සහභාගි වුණු මගේ පලවෙනි මනාලියන් දැක්මෙදි අපිට ෆර්ට් ප්ලේස් එනවා. එතනින් පස්සේ දැන හැඳුනුම්කම් ඇතිවෙලා මට එක දිගට වැඩවලට ආරාධනා ලැබුණා. ඒ පටන්ගත්ත ගමන තමයි අදටත් මේ එන්නේ.

ගුරු වෘත්තියයි නිරූපණයි වෙන් කරගෙන වැඩ කරන්න පහසුයිද?

මම ප්‍රධාන දායකත්වයක් දෙන්නේ ගුරු වෘත්තීයට. මම බ්‍රයිඩ්ල්, වෙළඳ දැන්වීම් විතරයි කරන්නේ. එතනිනුත් වැඩි ඉඩක් දෙන්නේ බ්‍රයිඩ්ල්වලට. මට වෙළඳ දැන්වීමකට පවා ආරාධනා ලැබුණාම මම හොයලා බලනවා මගේ වෘත්තීයට ගැලපෙන විදිහේ චරිතයක්ද කියලා. නිවාඩු දවස්වලටයි සති අන්ත දවස්වලටයි තමයි නිරූපණයේ වැඩ දාගන්නේ.

පැජන්ට්වලට සහභාගී වෙලා නැද්ද?

පැජන්ට්වලට සම්බන්ධ වෙලා නැහැ. ටීවි කමර්ෂල් කරලා තිබෙනවා. ඒවායෙත් අම්මාගේ චරිතය, ගුරුවරියෙකුගේ චරිතවලට විතරයි මම දායක වෙලා තියෙන්නෙත්. මට ලැබෙන ආරාධනාත් මම තෝරලා බේරලා ගත්තේ. ලැබෙන හැම වැඩක්ම බාරගෙනත් නැහැ.

ආරම්භයේ ඉඳලා බැලුවාම අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මේ සම්මානය මට ලැබෙන්නත් කලින් ඉඳලාම මම ආව ගමන ගැන මට සතුටුයි. මට උදව් කරපු අය ගොඩක් හිටියා. ඩයනා කියලා කෙනෙක් ගැන අද ෆීල්ඩ් එකේ අය දන්නවා නම් මාව ෆොටෝගත්තු අය, මාව ඩ්‍රෙස් කරපු අය, ආටිකල් කරපු අය හැමෝම ඒ පිටිපස්සේ ඉන්නවා.

ඔබට රංගනයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම කැම්පස් යන කාලේ මගේ යාළුවෙක් කරපු චිත්‍රපටයකට තමයි මට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක පොඩි චරිතයක්. ඉන්පස්සේ 2015දි සුජාත පුත්‍ර කියන චිත්‍රපටයේ ගුරුවරියකගේ චරිතයකට ආරාධනා ලැබුණා. ඒක ප්‍රධාන චරිතයක්. දැන් නම් වෙළඳ දැන්වීම් විතරයි කරන්නේ මගේ ගුරු වෘත්තීය නිසා.

නිරූපණ ශිල්පිනියකට සමාජයේ කතා හැදෙන එක ගැන මොකද හිතන්නේ?

අද සමාජයේ නිරූපණ ශිල්පිනියක් කිව්වාම මිනිස්සුන්ට ඔළුවට එන ඉමේජ් එකක් තියෙනවා. ඒ අය ගොඩක් වෙලාවට බලන්නේ වපර ඇහෙන්. අද වෙනතුරු මම කතාවක් අහගන්නේ නැතුව මේ ගමන ඇවිත් තිබෙනවා. ඒ මම තෝරලා බේරලා නිර්මාණ බාර ගන්න නිසා සහ මම ප්‍රසිද්ධිය පස්සේ යන කෙනෙක් නෙවෙයි නිසා. මම මේ ගමන හෙමින් යන්නේ. ඉක්මන් කොටයි කියනවානේ. තමන්ට ගැලපෙන දේ තෝරාගෙන පාඩුවේ වැඩ කරනවා නම් මේ ෆීල්ඩ් එකේ කවුරුත් කතන්දර කියන එකක් නැහැ.

ලැබුණු ජයග්‍රහණයත් එක්ක ඔබට වගකීමක් තිබෙනවා කියලා හිතනවාද?

මම කොහොමත් ක්ෂේත්‍රය ගැන වගකීමක් තිබුණා. මොකද මගේ දිහා ගොඩක් අය බලාගෙන ඉන්නවා. ක්ෂේත්‍රයේ අය විතරක් නෙවෙයි මගේ දරුවෝ, එයලාගේ දෙමාපියෝ මගේ දිහා බලාගෙන ඉන්නවා. ඔවුන්ට මම වැරදි ආදර්ශයක් දෙන්න නරකයි. ඒ නිසා මම හැමතිස්සේම ඒක ඔළුවේ තියාගෙන වැඩ කරනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මට දැනට ඉලක්ක ගොඩක් තියෙන්නේ ගුරු වෘත්තීය පැත්තෙන්. ඒ එක්කම ලැබෙන ආරාධනා එක්ක නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යනවා.

උදව් කරපු අය ගැන මතක් කරමු?

මුලින්ම මගේ සැමියාව ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අවුරුදු දහයක් තිස්සේ මට උදව් කරපු හැම දෙනාවම, මගේ යාළුවෝ, පවුලේ අය, ඡායාරූප ශිල්පීන්, ඩ්‍රෙස් කරපු හැම කෙනෙක්වමත් මතක් කරනවා. ඒ වගේම මට ඉදිරියටත් උදව් කරන්න කියලා කියනවා.

සාකච්ඡා - කැළුම් දේවින්ද