සමහරු දැහැමිට වෛර කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගයාත්‍රි රාසිංගොල්ල, ඇයගේ නාමයයි. සුන්දර ගයාත්‍රි උපන්නේ ඓතිහාසික සෙංකඩගල හෙවත් මහනුවර නගරයේදීයි. නමුත් ඇය හැදී වැඩුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය. මූලික අධ්‍යාපනය පවා ඇය ලැබුවේ එහිදීය. ඉනික්බිතිව නැවත ලංකාවට ආ ඇය මහනුවර හිල්වුඩ් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය හමාර කොට, ඕස්ට්‍රේලියාවට ගොස් උසස් අධ්‍යාපනයේ නියැලී ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව Bolton සරසවියෙන් උපාධිය ද මනෝවිද්‍යාව පිළිබඳව Master of Science උපාධිය Roehampton සරසවියෙන් ලබාගත්තාය. රුව ගුණ නැණ ඇති මේ ගයාත්‍රි මානසික සෞඛ්‍ය අංශයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන අතරේ රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නීය. ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ සකූගේ ලෝකය ටෙලිමාලාවේ දැහැමිගේ චරිතයට දායකව සිටින්නේ ඇයයි. රුව ගුණ නැණ පිරි ගයාත්‍රි එක්ක අපි ලස්සන පිළිසඳරක යෙදෙමු.

ගයාත්‍රි ලංකාවේ ඉපදිලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගියේ මොන වයසේදීද?

එතකොට මගේ වයස මාස 8 ක් කියලා අම්මා කිව්වා. අපෙ අප්පච්චියි අම්මයි සේවය කළේ එහේ. ඒ නිසා මගේ පාසල් ගමන පටන්ගන්න වුණෙත් එහිදී. හය වසරෙන් පසුව නැවත ලංකාවට ඇවිත් හිල්වුඩ් බාලිකාවෙන් ඉගෙන ගත්තෙ. ඉන්පස්සෙ ආයෙමත් අධ්‍යාපන කටයුතුවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගියා. පසුව ඕස්ට්‍රේලියාවට ගිහින් සරසවි අධ්‍යාපනයේ නියැලුණා.

ළමාවියේ UAE (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ) ගත කළ විදිය ගැන සිහිපත් කළොත්?

එහේ හරියට මට මගේ ගෙදර වගෙයි. මොකද බහ තේරෙන වියේ ඉඳලා හිටියෙ එහෙනෙ. ජීවිතේ මෙතෙක් වැඩිපුර කාලයක් ගත කළේ එහේ. මගේ පාසල් ගමන පටන්ගත්තෙ එහේ. මට මුලින්ම යාළුවෝ හමුවුණේ එහිදී. විවිධ රටවල විවිධ යාළුවො හිටියා. ඇත්තටම එහි ගතකළ ජීවිතය හරිම සුන්දරයි.

ඉගෙනීම් කරද්දි මොනවගේ අරමුණක්ද තිබුණෙ?

O/L සහ A/L කළේ වානිජ අංශයෙන්. අරමුණ වුණේ බැංකු ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට. හැබැයි ඊට පස්සෙ උපාධිය අරගෙන රැකියාවකට ගියා. ඒ රැකියාව කරන අතරතුරේදි මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි තමයි මිනිස්සුන්ගෙ ප්‍රශ්න එක්ක ඒවාට විසඳුම් ලබාදෙන එක ඊට වඩා හොඳයි කියලා හිතුවෙ. එහෙම හිතලා මනෝවිද්‍යාව අංශයෙන් මාස්ටර්ස් එක කළා.

පවුලේ ගයාත්‍රි විතරද?

ඔව්, මම එකම දරුවා. 

ගයාත්‍රිගෙ අම්මයි අප්පච්චියි මොනවද කරන්නෙ?

අම්මා ටීචර් කෙනෙක්. අප්පච්චි ටෙලිකොම් අංශයේ. ඉංජිනේරු අංශයේ සේවය කළේ. දැන් දෙන්නම විශ්‍රාමිකයි.

වෙනම අංශයක් ගැන හිතපු ගයාත්‍රි කොහොමද කලාවට එන්නෙ?

ළමා කාලයේ ඉඳලාම බටහිර සංගීතය ඉගෙන ගත්තා. පාසල් සමයේදි නාට්‍ය, නර්තනය, ක්‍රීඩා ඇතුළු බොහෝ දේට දායක වුණා. කලාවට සමීප දේ කුඩා කාලයේ ඉඳලම තිබූ දෙයක්. රඟපෑමට හිත ගියේ ගිය අවුරුද්ද දක්වා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටියදීයි. උපාධිය ලබාගෙන එහි සරසවියක සේවය කරන අතරේදි, රංගනය පිළිබඳව වැඩමුළුවකට සහභාගි වුණා. රඟපෑම ගැන ලොකු උනන්දුවක් ඇතිවුණේ එතැනදි. ලංකාවට ආවට පස්සෙ සකූගේ ලෝකයට අලුත් ළමයෙක් සොයන බව දැනගත්තාම බඳවා ගැනීමේ පරීක්ෂණයට මාත් සහභාගි වුණා. මට පුළුවන් විදියට එදා ඉදිරිපත් කිරීම කළා. පසුව ප්‍රියන්ත කොළඹගේ සර් සහ අජිත් ලොකුගේ සර් කතා කරලා මාව තෝරාගත්තා කියලා කිව්වා.

ඊට කලින් රඟපාලා තිබුණෙ නැද්ද?

පාසලේදී නාට්‍ය සහ කලා අංශයේ ඉසව්වලට දායකවෙලා තිබුණා. ටෙලිවිෂන් මාධ්‍යයේ ඉඳලා නැහැ. අම්මයි අප්පච්චියි මගේ කරන කියන දේවලට උදව් කරනවා.

සකූගේ ලෝකයේ දැහැමි හරිම නපුරුයි. කොහොමද ඔච්චර නපුරු වුණේ?

ඒ නපුරුකම ගන්න මට ගොඩක් අමාරු වුණා. මොකද සැබෑ ජීවිතයේදී මම එහෙම කෙනෙක් නෙවෙයි. වෘත්තීය වශයෙන් මම අද නියැලී සිටින්නෙ මානසික සෞඛ්‍ය අංශයේ. උපදේශනය කරන්නෙ. නපුරු චරිතයක් කරන්න ලැබීම අභියෝගයක්. ඒ චරිතය කරන්නට මට මගේ වෘත්තියේදී හමුවූ එක් එක් මිනිසුන් වෙතින් දුටු ස්වභාවයත් ඉවහල් වුණා.

නම දැහැමි වුණාට කරන වැඩ දැහැමි නැහැ?

ඔව්, කතාව ඇතුළෙත් ඒ ගැන කියැවෙනවා.

කොහොමද දැහැමිට ලැබෙන ප්‍රතිචාර?

සමහරු මේක චරිතයක් විතරයි කියලා දැනගෙන රංගනය හොඳයි කියන ප්‍රතිචාර ලබාදෙනවා. තව කොටසක් හිතන්නෙ ඒක මගේ පුද්ගලික ජීවිතය කියලයි. ඒ නිසා වෛර කරනවාත් ඇති.

ඒ විදියට හොඳට සහ නරකට හිතන හැමෝටම දැනගන්න සැබෑ ජීවිතයේදී ගයාත්‍රි මොන වගේ කෙනක්ද කියලා කියමු?

මම බොහොම සංවේදී කෙනෙක්. ඒක මගේ ස්වභාවය. යම්කිසි දෙයක් වුණොත් මුලින්ම මම බලන්නෙ මගෙන් සිදුවූ වැරැද්ද මොකද්ද, අඩුපාඩුව මොකක්ද කියලයි. බුද්ධ ධර්මය, මානසික විද්‍යාව ගැන හිතන්න කතා කරන්න කැමති කෙනෙක්. බාහිරව දකින පෙනෙන දේ ගැන කතා කරන්න එච්චර කැමති නැහැ. ඒ වගේ අවස්ථාවලදී මම නිහඬව ඉන්නෙ මට කතා කරන්න දෙයක් නැති නිසයි.

දැහැමි වෙච්ච ගයාත්‍රිගෙ ආදරේ මොනවගේද? ආදරය ගැන හිතන්නෙ මොන විදියටද?

බොහෝ වෙලාවට බොහෝදෙනා හිතන්නෙ ආදරය කියන්නෙ මගේ තමන්ගෙ වෙන කාටවත් අයිති නැහැ, ඒ නිසා මටම අයිතිකර ගන්නවා වගේ දෙයක්. ඔයා මගේ නම් මම ඔයාගෙ නම් අපි මෙහෙම ඉමු කියලා දෙන්නාට දෙන්නා වාරණ දාගෙන එක රාමුවක හිරවෙනවා. මම ආදරය ගැන හිතන්නෙ ඒ විදියට නෙවෙයි. දෙදෙනාට දෙදෙනා තේරුම් අරගෙන අනෙකාට යායුතු දුර, කරන කියන දේ වෙනුවෙන් උදවු වෙන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. එහෙම නැතුව එක් රාමුවකට කොටු වෙන්න ඕනෑ නැහැ. යශෝධරාවගෙ ආදරය වගේ දෙයක් තමයි මම සැබෑ ආදරය ලෙස දකින්නෙ.

විවාහය කියන්නෙ?

ඒකත් එක එක්කෙනාට සාපේක්ෂයි. එහිදීත් බොහෝවිට වෙන්නෙ අපට කියාදීපු, සම්ප්‍රදායිකව හෝ එන ක්‍රමවේදයකට නතුව සිස්ටම් එකකට යටත්ව ජීවත්වීමයි. ඇයි අපි විවාහ වෙන්නෙ? කියලා ඇහුවොත් මම හිතන්නෙ ඒකට බොහෝදෙනා ළඟ උත්තර නැහැ. විවාහවීම නොවීම හෝ මහණ වෙනවාද හෝ වෙන දෙයක් කරනවාද යන්න තමාගේම ආධ්‍යාත්මයෙන් ආ යුතු දෙයක්. අනෙක් අයට හානියක් නොවී තමන්ට ඕනෑ විදියට ජීවත්වීම හොඳ බවයි මගේ හැඟීම.

රඟපෑම ගැන අද ගයාත්‍රිට දැනෙන්නෙ කොහොමද?

එක දවසක් එක් සීන් එකක රඟපාන්න එක ඔෆිස් එකක දින තුනක් වැඩ කළා හා සමානයි. ඒ වගේ වෙහෙසක් දැනෙන්නෙ. රඟපාන කෙනාට විතරක් නෙවෙයි නිර්මාණයකට සම්බන්ධ මුළු කණ්ඩායමටම ඒ වෙහෙස දැනෙනවා. ඒ නිසා ඒ මහන්සිය සහ කැපවීම දරාගෙන රඟපෑම කරන්න නම් ඒකට ලොකු කැපවීමක් කරන්නම වෙනවා.

මෙතැන් සිට ගයාත්‍රිගෙ අරමුණ දිගටම රඟපෑමද?

සකූගේ ලෝකයට අමතරව තවත් වැඩ දෙක තුනකට ආරාධනා ලැබී තිබෙනවා. ඒ අතරේ මගේ වෘත්තියට අදාළව කටයුතුත් කරනවා. රඟපෑමෙන් මට තෘප්තියක් තියෙනවා වගේම, උපදේශනය වෙතින් මිනිසුන්ට යමක් වටහලා දීලා සේවයක් වෙනවා කියලා මම හිතනවා.

ගයාත්‍රි උපන් රටට හැමෝම කැමතියි, ඒ හැර එක්සත් අරාබි එමීර් රාජ්‍යයටද කැමති, ඕස්ට්‍රේලියාවටද කැමති? ඒත් නැතිනම් සංචාරය කළ වෙනත් රටකටද කැමති?

මගේ රට, UAE වලට සහ ඕස්ට්‍රේලියාව යන රටවල් තුනම මට විශේෂයි. ඒ අතරින් ප්‍රාථමික ළමාවිය ගතකළ UAE (එක්සත් අරාබි එමීර් රාජ්‍යයට) මම වැඩිපුර කැමතියි. අපි හිටියෙ UAE වල අල්ෆුජෙයිරාවල. එහේ හරිම ලස්සනයි. අල්ෆුජෙයිරාවල මම නොදන්නා තැනක් නැති තරම්. මගේ යාළුවෝ,  මම හැදී වැඩුණු තැන නිසා එතැනට වඩා ආසයි. ඒ වගේම ඕස්ට්‍රේලියාව මිනිසුන්ගෙ සමාජ රටාවට, එනම් අනෙක් අයට කරදරයක් නැතුව තමන් ජීවත්වන විදියටත් මම ආසයි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ