එයාටත් කේන්ති යනවා මටත් කේන්ති යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිත හිරිකඩ පහසේ 
හිත හීනියට පිපුණා 
හේතුවක් නැති  මොහොතේ 
ඔබ හාදුවක් එව්වා 
පොදු -2 නාට්‍යයේ ඒ ලස්සන ගීතය අපට අහන්නට ලැබෙන්නෙ ඒ විදියටයි. මෙම ආදරණීය ගීතයේ රූපමය ජවනිකා වලට වගේම පොදු -2 නාට්‍යයේ චරිතයක් රඟපාන ඇය බැලූ බැල්මට ඉන්දීය රංගන ශිල්පිනියක වගෙයි. අයිශ්චර්යා එස් වර්මන්, ඇයගේ නාමයයි. පොදු - 2 වැඩ කරන තරු ඇස් ඇති මේ අයිශ්චර්යා වර්මන් කවුද? අද සැඳැල්ල කතාබහ ඇය එක්ක. 

අයිශ්චර්යා කියන්නකො අපට ඔබ ගැන? 

මම රංගන ශිල්පිනියක්. 

කොතැනින්ද? කොහොමද රඟපෑමට ආවෙ? 

පිළිගැනීමේ නිලධාරිනියක විදියට එක දවසක් මම ආයතනයක කටයුතු කරමින් හිටියෙ. ඒක නිත්‍ය රස්සාවක් නෙවෙයි. එක් දිනකට විතරයි ගියේ. ඉතින් එහෙම ගිහින් ඉන්න කොට එතැනදි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු හමුවුණා. එතුමා එදා මගෙන් රඟපාන්න කැමතිද කියලා ඇහුවා. ඒක වෙබ් එකට කරන්න යන නාට්‍යයක් කීවා. එතකොට මට කැමරා එක්ස්පීරියන්ස් මොනවත්ම නැහැ. රඟපාන්න පුළුවන්ද කියලා ඇහුවාම නෑ මම දන්නෙ නෑ කියලා කිව්වා. පස්සෙ තිර පරීක්ෂණයට ගියාම මාව තෝරා ගත්තා. ඉස්සෙල්ලාම රඟපෑමට ආවේ ඒ විදියටයි. 

අයිශ්චර්යාගෙ ගම? 

කොළඹ, මට්ටක්කුලිය. 

ගෙදර විස්තර මොන වගේද? 

අපේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, නංගිලා හතර දෙනයි. 

ගැහැණු ළමුන්ම පස් දෙනෙකි. 

ඔව්. ලස්සනයි ඉතිං. 

පාසල් ගියේ? 

ශාන්ත ජෝශප් විදුහල කොලොන්නාව සහ බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමයෙන්. 

පවුලෙ අයත් කලාවට සම්බන්ධ අයද? 

අනේ නැහැ. අපි බොහොම සාමාන්‍ය පවුලක්. පුංචිම පුංචි පවුලකට අයත් මම තමයි ඉස්සෙල්ලාම කලාවට ආවේ. 

අයිශ්චර්යාගෙ අරමුණු මොනවද? 

මගේ අරමුණ වුනේ කතිකාචාර්යවරියක් වෙන්න. ඒත් දුර යන්න තරම් අධ්‍යාපනය කරන්න බැරි වුණේ. මගදි අධ්‍යාපනය නතර කළ නිසයි. උසස් පෙළට පස්සෙ, මම මොඩලින් කළා. නිදහස් විදියට පිළිගැනීමේ නිලධාරිනි වගේ ඒවාට ගියා කොමර්ෂල් ෆොටෝෂූට් වලට ගියා. අද මගේ ප්‍රධාන වෘත්තිය රඟපෑම. 

අයිශ්චර්යා පොදු - 2 රඟපාන්න කළින් රඟපෑවෙ? 

ගෞතම් දමිළ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒ වෙනුවෙන් 2019 දී හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මානය පවා ලැබුවා. ඒ ටෙලි නාට්‍ය විකාශය වුනේ නේත්‍රා ටී. වී. එකේ. ඒ ඔක්කෝටම පෙර පාසලේදී වේදිකා නාට්‍ය සහ ප්‍රසංගවලට ඉදිරිපත් වුණා. ඒ පුරුද්ද මට තිබුණත් රඟපාන්න ඕනෑය කියන අරමුණු තිබුණෙ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් ට්‍රයි කළෙත් නැහැ. ගෞතම් ටෙලිඩ්‍රාමා  එකට අමතරව අඩෝ (සිරසෙ විකාශය වූ) නාට්‍යයෙත් රඟපෑවා. තව චිත්‍රපටයකත් රඟපෑවා. ඒත් තවම ඒ ෆිල්ම් එක තිරගත වුණේ නැහැ. 

පොදු -2 නාට්‍යයේ ‘ප්‍රියා’ගෙ චරිතය ගැන කියමු? 

ප්‍රියා හරිම අහිංසක චරිතයක්. ඒක හරියට මගේ ඇත්ත ජීවිතේ මම වගේමයි. 

ඒ කියන්නේ අයිශ්චර්යා අහිංසකයි? 

ගොඩාක්..... ගොඩාක් අහිංසකයි. හැබැයි හරියට කේන්තිත් යනවා. 

ඇයි හරියට කේන්ති යන්නෙ? 

මම ගොඩක් ආදරය කරන කෙනෙක්ගෙන් මාත් ගොඩාක් ආදරය බලාපොරොත්තු වෙනවා. මම හරිම සංවේදියි. ඉතින් අනෙක්  පැත්තෙන්  එහෙම නොවුනාම මට කේන්ති යනවා. මගේ හොඳම යාළුවෝ මගෙත් එක්ක අමනාප වෙන්නෙ නැත්තෙ මගේ කේන්තියාම සාධාරණයි කියලා දන්න නිසයි.  

අයිශ්චර්යා ගොඩාක් ආදරය කරන කෙනෙක් කියලා කිව්වානෙ. කොහොමද ඉතින් අයිශ්චාර්යාගේ  ආදරය?

මගේ ආදරය ලස්සනට ගලා යනවා. එයා අපේ ඥාතිත් වෙනවා. එයා හරිම හොඳයි. මට හරිම ආදරෙයි. එයාටත් කේන්ති යනවා. ඒත් එයා මගේ ඉදිරියේ මොනම වෙලාවකදිවත් කේන්ති ගන්නෙ නැහැ. අනෙක මට අයියලා මල්ලිලා නැති එකේ පිරිමි කෙනෙක්ගෙන් වැඩි ආදරය බලාපොරොත්තු වන කෙනෙක් මම. ඒ ආදරය එයාගෙන් මට උපරිමයෙන් ලැබෙනවා. 

එයා කලා ක්ෂේත්‍රයේද? 

එයා සුපවේදියෙක්. 

එහෙනං රසට කෑම හදලා දෙනවා ඇති? 

කසාද බැන්දාම එහෙම කියලා​ දේවි රසට කැම හදන හැටි. 

පොදු -2 ප්‍රියා රූගත කිරීම්වලදී මුහුණදුන් සිදුවීම් තියෙනවද? 

එක දවසක් ෂූටිං පටන් ගත්තෙ උදේ අටට. එදා ෂුටිං පටන් ගන්න කලින් පාන්දර 5ට අපිව ගත්තා. එදා ඒ දර්ශනයෙ හැටියට වැස්ස රූගත කිරීම් කරන්න තිබුණෙ. ඒ නිසා කෘතිම වැස්සක් වස්සවන්න ඕනෑ වුණා. එදා උදේ 8ට පටන් ගත්ත ෂූටිං පහුවදා පාන්දර 3 වෙනකල් රූගත කළා. ඒ මුළු කාලයේදීම කෘතිම වැස්සෙ තෙමෙන්න සිද්ධ වුණා. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒක මට අමුතු වගේම අලුත් අත්දැකීමක්. වැස්සෙ තෙමෙනවා ඇඳුම් මාරු කරනවා, ආයෙත් වැස්ස තෙමුණා ආයෙත් ඇඳුම් මාරු කළා. පොදු -2 නාට්‍යයේ ලස්සන ගීනයක් තියෙනවා. ඒ වෙනුවෙන් රූගත කිරීම් කළේ කල්පිටියෙ. කල්පිටියෙ අව්ව හරියට  කාන්තාරයක වගෙයි. ඒ  අව්වට පිච්චුණා. අම්මෝ මතක් කරනකොටත් මාව පිච්චෙනවා වගේ. 

​ෙපාදු -2 ප්‍රියාගෙ චරිතයට තෝරා ගත්තෙ කොහොමද? 

මම දවසක් ටික් ටොක් වීඩියෝ එකක් දාලා තිබුණා. මම තමුසෙට ආදරෙයි මොඩියෙ කියලා ඒ වීඩියෝ ක්ලිප් එකේ තිබුණා. ඕකෙ ටෙලියක සර්ච් කරද්දි රඟපාලා තිබුණෙ රන්දික අයියා. මම එයාගෙ ඇක්ටින්වලට හරිම ආසයි. මම එයාට ෆේස්බුක් මැසේජ් එකක් දැම්මා. පස්සෙ එයා මා ගැන ශ්‍යාම් මැඩම්ට (ශර්මිලා ධර්මරාසා ප්‍රනාන්දු) කියලා තිබුණා. ඔඩිෂන් එකට මාව තෝරා ගත්තෙ ඒ විදියටයි. පොදු -2 නාට්‍යයට මම රඟපාන්න ගියේ පුදුම ආසාවකින්. ශ්‍යාම් මැඩම් මට සෑම දෙයක් ගැනම හොඳින් කියා දුන්නා. මම දර්ශන තලයට යන්නෙ අයිශ්චර්යා විදියට නෙවෙයි. ප්‍රියා විදියටයි. ඇත්තටම මේ නාට්‍ය බොහෝ පිරිසක් නරඹන බව පෙනෙනවා. මාස්ක් එක දාගෙන හිටියත් මිනිස්සු මාව හඳුනා ගන්නවා. ඒක මට හරි සතුටක්. 

අයිශ්චර්යා එස් වර්මන්, එස්? කියන්නේ? 

ශ්‍රී දේවි, අයිශ්චර්යා ශ්‍රීදේවි වර්මන්. අම්මා මට කතා කරන්නෙ ශ්‍රීදේවි කියලයි. 

ඒ කියන්නෙ බොලිවුඩයෙ සුපිරිම තාරකා දෙපළකගෙ නම් තියෙන්නේ? 

ඒක හැමෝම කියන දෙයක්. 

ශ්‍රීදේවිට අයිශ්චර්යාට වගේ හොඳට නටන්නත් පුළුවන්ද? 

පුළුවනි. නර්තනය වෙනුවෙන් පංති ගියා. දැන් රඟපෑම නිසා නතර කරළා තියෙන්නේ.  ආයෙත් පටන් ගන්න ඕනෑ. 

මොකද මේ තේ බොන්නෙ නැහැ කියලා තියෙන්නේ? 

ගෙදර තේ හදන්නෙ මම. ඒත් මම තේ බොන්නෙ නැහැ. තේවලට මට ආසා නෑ. 

වඩා කැමති අයිශ්චර්යාටද? ශ්‍රීදේවිටද?

අයිශ්චර්යාට. 

ලංකාවේ නිළි තරු අතරින්? 

පූජා උමාශංකර්ට.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ