සෝබන චරිතවලට මං කැමති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“දුව, පවුලේ එකම දරුවා. එයා හරිම හොඳ දරුවෙක්. එදා දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණේ, මගේ පෙරැත්ත නිසයි. එහෙම නැතුව එයාට ඒ ගැන උනන්දුවක් තිබුණෙ නැහැ. අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කළොත් රඟපෑමට අවස්ථාවක් ලබා දෙනවාය කියලා ප්‍රචාරය වුණා. කලාවට මම ආසා කෙනෙක්. දුව රඟපානවා නම් හොඳයි කියලා හිතුණ නිසා තමයි එදා මම අවුරුදු කුමරිය තරගයට එයාගෙ අයදුම්පත යොමු කළේ. දුවගෙන් ඇහුවාම, අම්මා කැමති නම් දාන්න කිව්වා. ඒ විදියට තමයි එදා දෙරණ අවුරුදු කුමරිය වී, පසුව රඟපෑමට අවස්ථාව එයාට ලැබුණෙ. මේ දුව තමුන්ගෙ පාඩුවෙ ඉන්න අහිංසක දරුවෙක්. පාසල් කාලයේදී එයා ගැන කිසිම චෝදනාවක්, අවනඩුවක් ආවෙ නැහැ. ගුරුවරුන් එයාට ආදරෙයි. මෙයාගෙ හිත කොච්චර උණුවෙනවද කිව්වොත් පාරේ එහෙ - මෙහෙ අසරණ වෙලා ඉන්න පූස් පැටව්, බලු පැටව් දැක්කොත් ගෙදරට අරගෙන ඇවිත් ඒ සත්තුන්ට තුවාල නම්, ඒවාට බෙහෙත් කරලා ඒ සතුන්ව ආදරෙන් රැකබලා ගන්නවා. පාරෙ අසරණ මනුස්සයෙක් දැක්කොත් කෑම පැකට් එකක් අරන් දෙනවා. මනුස්සකම තියෙන හරිම හොඳ ළමයෙක්.” තමාගේ දියණිය වන ‘අවිශ්කා උමයංගි’ ගැන එයාගේ අම්මා ප්‍රියංගිකා දර්ශනී කියන්නෙ ඒ විදියටයි. මේ විදියට දරුවෙක්ගෙ හොඳ අහන්න කියන්න ලැබෙන එකත්, මව්පියන්ගෙ වාසනාවක්. ඒ වාසනාවන්ත මව්පියන්ට කීකරු දියණියක වූ අවිශ්කා මේ දිනවල අපට හමුවන්නෙ ‘හිතුවක්කාර’ නාට්‍යයේ ‘ගුවනි’ යන චරිතයෙනි. ඒ විදියට හමුවෙන ලස්සන – සුන්දර අවිශ්කා උමයංගි සඳැල්ල හැඩ කළේ මේ විදියටයි.

අවිශ්කා කියන්නද? උමයංගි කියන්නද?

‘අවිශ්කා’ කියන්න. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මට කතා කරන්නෙ නම් ‘අවි’ කියලයි.

අවි’ හරියට අවියක් වගේද?

අපෝ නැහැ. මම මගේ පාඩුවෙ ඉන්න කෙනෙක්.

‘අවි’ මුලින්ම රඟපෑවෙ?

2018 දෙරණ අවුරුදු කුමරිය වූ පසුව, ලක්සිරි සර් නිසා පෝය නාට්‍යයක රඟපෑමට අවස්ථාව ලැබුණා. ඒකෙ නම ‘ඉරණම්කාරි’. මගේ පළමු රංගනය එයයි. ඉන්පසුව තමයි ‘සංගීතේ’ නාට්‍යයේ ‘මහී’ගෙ චරිතයට දායක වුණේ.

එදා ‘ඉරණම්කාරි’ගෙන් පසුව අද ‘හිතුවක්කාර’ නාට්‍යයෙ රඟපාන අවිශ්කා, හැබෑවටත් හිතුවක්කාරද?

අනේ, මම කිව්වෙ මම හරි අහිංසකයි. මගේ පාඩුවෙ ඉන්න කෙනෙක්.

‘හිතුවක්කාරි’ චරිතෙ ගැන කියමු?

ඒ චරිතය, මගේ සැබෑ ජීවිතයට බොහෝම සමාන චරිතයක්. හැබැයි මේ නාට්‍යයේ එයා සම්බන්ධවෙලා ඉන්නෙ ‘හිතුවක්කාර’ කොල්ලෙක් එක්ක. ඒ චරිතය රඟපාන්නේ කේෂාන් ශෂීන්ද්‍ර අයියා. එයා මට මගේ චරිතය හදාගන්න සෑහෙන සපෝට් එකක් දෙනවා. ඒ ගැන කියන්නම ඕනෑ. දෙබස් හරියට කියන්න ඕනෑ විදිය, කැමරාව දිහා බලන්න ඕනෑ විදිය, ඒ ඔක්කොම එයා මට කියලා දෙනවා.

සැබෑ ජීවිතේ, අවිශ්කාට ළංවෙච්ච හිතුවක්කාරයෙක් ඉන්නවද?

දැන් නැහැ.

ආදරයේදි අවිශ්කා මොන වගේ අදහස් ඇති කෙනෙක්ද?

මට හිතෙන විදියට ආදරයේදි මම හොඳ ආදරවන්තියක්. මම ආදරය කරන කෙනා මොන ක්ෂේත්‍රයේද කියන එකට වඩා මට වැදගත් වෙන්නෙ එයාගෙ මනුස්සකමයි. බොරු සෝබන චරිතවලට මම කැමති නැහැ. පොළවෙ පය ගහපු, මනුස්සකම තියෙන කෙනකුට කවදාහරි මාත් ආදරය කරාවි.

අවිශ්කගෙ ගම?

ගම්පහ.

උපන් ගම ගම්පහ ද?

ඔව්, ගම්පහ විජය පාරෙ.

ඉගෙන ගත්තෙ?

ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයෙන්.

කොහොමද පාසල් ජීවිතයේ මතකයන්?

පාසලේදී මම එච්චර දඟලපු කෙනෙක් නෙවෙයි. බාහිර ක්‍රියාකාරකම් මොනවත් කළේ නැහැ. ඒ කාලයේ ඉඳලම මගේ අරමුණ වුණේ ගුවන් සේවිකාවක් වෙන්නයි. ඒ නිසාම ඒ/ලෙවල්වලට කළේ ‘භාෂා’ විෂයයන්. පෙනී සිටියේ කලා අංශයෙන්.

‘ගුවන් සේවිකා’ අරමුණද අදටත් තියෙන්නෙ?

ඒ/ලෙවල් කරලා, අවුරුද්දක් විතර නිදහසේ මට ගෙදරට වෙලා ඉන්න ඕනෑ වුණා. ඉන් පස්සෙ ගුවන් සේවිකා පළමු සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටියත් මාව තේරුණේ නැහැ. ඉන්පස්සෙ දෙවැනි පරීක්ෂණයට පෙනී සිටීමට සූදානමින් සිටිද්දී තමයි අම්ම දෙරණ අවුරුදු කුමරිය තරගයට මගේ අයදුම්පත්‍රය දාලා තිබුණේ. ඉන් පස්සේ ජයග්‍රහණය කළාම මගේ ගමන වෙනස් වුණා. එදා අවුරුදු කුමරිය තරගයට යද්දි දිනයි කියලා හිතුවෙ නැහැ. ඒත් දින්නාට පස්සේ ලොකු සතුටක් ඇතිවුණේ. රඟපෑමට ඒත් එක්කම අවස්ථාව ලැබුණාම ගුවන් සේවිකාවක වීමේ ‘සිහිනය’ අත්හැරලා දැම්මා.

දැන් කල්පනාව දිගටම රඟපෑමටද?

දැන් මම මේ ක්ෂේත්‍රයට හරිම ආසයි. රඟපෑම ගැන ඉගෙන ගනිමින්, අත්දැකීම් ලබමින් මේ ගමන යන්න උත්සාහ ගන්නවා. මට ගැලපෙන චරිත තෝරාගෙන රඟපෑම මගේ අරමුණයි.

‘හිතුවක්කාර’ නාට්‍යයට අමතරව තව වෙනත් රඟපෑම් මොනවද?

දමිළ චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබුණා. දැන් ඒ ගැන කතා කරගෙන යනවා.

අවිශ්කාගෙ වයස?

අවුරුදු 24 යි.

ගෙදර විස්තර කියමු?

මගේ තාත්තා සේවය කරන්නෙ විදෙස් රටක. අම්මයි, මමයි, ආච්චියි, සීයයි එක්ක සතුටින් දවස් ගෙවෙනවා. දිගටම රඟපෑවෙ නැත්නම් විදෙස්ගතවීමේ ආසාවකුත් තියෙනවා. ඒත් තවම මට ඒ ගැන හරියට කියන්න බැහැ. අපේ අම්මයි - මමයි අතර ලොකු බැඳීමක් තියෙන්නෙ. මම සෑම දෙයක් ගැනම අම්මට කියනවා. අපි දෙන්නා හරියට හොඳම යාළුවෝ දෙන්නෙක් වගෙයි.

අම්මා කැමති අවිශ්කා කවදාහරි සහකරුවා තෝරා ගැනීමේදී යෝජිත විවාහයක් කරන්න කියලද?

කොහෙත්ම එහෙම කියලා නැහැ. මම කැමති කෙනා තෝරා ගන්න නිදහස දීලා තියෙන්නෙ. අම්මා ඒ ගැන සොයා බලා ආශිර්වාද කරාවි. විවාහයකදි දෙදෙනා අතර අදහස් ගැලපීම වඩා අවශ්‍ය දෙයක්. එය ප්‍රේමයක් වෙතින් හොඳින් අවබෝධ කර ගන්න පුළුවනි.

අවිශ්කාට තවත් මොනවද කියන්න තියෙන්නෙ?

රංගනයට මට මාවත කියා දුන් දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුළු මේ දක්වා මට චරිත ලබාදුන් අධ්‍යක්ෂවරුන්ට සහ ප්‍රවීනයින්ට මගේ ගෞරවය හිමිවිය යුතු බව කියන්න ඕනෑ.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ