ආදරේ කරද්දි අනික් කෙනාගෙ අඩුපාඩු පේනවා අඩුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රස්සාවක් නම් හොයා ගන්න පුළුවන්. ඒත් ආදරේ හොයා ගන්න බෑනේ. ආදරේ කරද්දී අනිත් කෙනාගේ අඩුපාඩු පේනවා අඩුයි. මගේ තමන්ගේ මුළු ජීවිතේ එයා කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ විදිහට කියන්නේ රහයි ජීවිතේ නාට්‍යයේ කෞෂල්‍යා ගේ චරිතය රඟපාන මාෂි චතුරිකා දිල්හානියි. රවීන්ද්‍ර විජේරත්නගේ විධායක නිෂ්පාදනයෙන්, තරංග දිසානායකගේ නිෂ්පාදනයෙන් සහ සුපුන් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් රස වූ රහයි ජීවිතේ හැඩකරන මේ මාෂි එක්කයි අද අපේ කතා බහ. 

මාෂි චතුරිකා දිල්හානි? කවුද මේ?

වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක ලෙස මුලින්ම කලා ක්ෂේත්‍රයට ආවේ. 

රහයි ජීවිතේ චරිතය ගැන කියමු. 

කෞෂල්‍යගේ චරිතයට පණ පොවන්නේ මම. දුෂේනිගේ (මිහිරි) හොඳම යාළුවා කෞෂල්‍යා. 

ඊට පෙර රඟපෑ චරිත මොනවාද?

ගයාන් මහගලගේ අයියාගේ වෙස්ගත්තෝ, ජී. නන්දසේන මහතාගේ හිතුවක්කාරී, ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සුසුම් රස්තියාදුව, සුනිල් ප්‍රේමරත්න මහතාගේ ‘21’ නාට්‍යවල රඟපෑවා. ඊට අමතරව කෙටි චිත්‍රපට සහ මියුසික් වීඩියෝවලටත් ටී.වී දැන්වීම්වලටත් දායක වෙලා තියෙනවා. 

මාෂි විදියටද ජනප්‍රිය? චතුරිකා කියලද? නැත්නම් දිල්හානි කියලද?

මාෂි කියලා තමයි වැඩි දෙනෙක් මාව දන්නේ.

මාෂි කිව්වාම?

මාෂි බොහෝම සුහදශීලි චරිතයක්. හරිම සරලයි. 

මාෂිගේ ගම එහෙම?

මහනුවර දිගන. 

දිගන ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේ කොහෙද හිටියේ?

එතකොට මම හිටියේ පිටරට.

පිටරට මොනවද කළේ. 

රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස වෘත්තිය කළා.

කොයි රටේද? 

අන්තිමට හිටියේ දෝහා කටාර්වල. 

රටවල් කීයක වැඩ කරලා තියෙනවද?

රටවල් පහක විතර හිටියා. ඩුබායි, කටාර්, මලයාසියාව, සිංගප්පූරුව සහ ඉන්දියාව. 

මෙයින් ආසම රට?

දෝහා කටාර් වලට. 

හේතුව?

නීතිය, සහ ගැහැණු ළමයකුට තියෙන ආරක්ෂාව ඉහළයි. 

ඉතින් ඒ වගේ රටක් දාලා ආවේ ඇයි?

මම ලංකාවට ආවේ ඇත්තටම නැවත විදෙස් ගත වෙන්න බලාගෙන. ඒත් කොරෝනා නිසා තවම යන්න බැරි වුණා. 

ඒ කියන්නේ විදෙස් ගතවෙන්න පෙර සිටම රඟපෑම පටන් ගෙනද තිබුණේ?

විදේශගත වීමට පෙර නිරූපන ක්ෂේත්‍රයේ හිටියේ. ලංකාවට ආවාට පස්සේ තමයි රඟපෑම පටන් ගත්තේ. 

දෝහා කටාර්වල ලස්සනම ස්ථානය මොකක්ද?

මම නම් ආසම සිටි සෙන්ටර් (අල්මරා) එතැන හරිම නිදහස දැනෙන තැනක්. 

දෝහා කටාර්වල මුහුණු දුන් අමතකම නොවන සිදුවීම?

මුලින්ම වෘත්තිය කරන්න එහේ ගියාම භාෂාව තමයි. ඒ අරාබි භාෂාව මට තේරුණේ නැහැ. කාලයක් එක්ක ඒ දේවලට හුරු වුණා. 

ඒ කියන්නේ අරාබිත් පුළුවන්. 

ටිකක් පුළුවන්. 

මම ඔයාට ආදරෙයි කියලා අරාබි භාෂාවෙන් කියන්නේ කොහොමද?

Ana uhibuk

මාෂිගේ සැබෑ ආදරේ කොහොමද?

හොඳයි. සරලව සාමාන්‍ය විදියට සතුටින් ගලා යනවා. එයත් කලා ක්ෂේත්‍රයේ. 

දැන් කවද්ද විවාහ උත්සවය. 

ඉස්සරහට බලමු. 

මාෂිට ආදරේ දැනෙන්නේ කොහොමද?

ආදරේ කියන්නේ සතුට විරහව දුක ඔක්කෝම මුසු වූ දෙයක්. 

මාෂි අාදරේදී මොන වගේ කෙනෙක්ද?

හරිම පරිත්‍යාගශීලි කෙනෙක්. සමහර වෙලාවට ඉක්මනට හිත රිදෙන ඒත් එක්කම ආපස්සට ඒ ගැන හිතලා බලන කෙනෙක්. 

මාෂිගේ ගෙදර විස්තර කිව්වේ නැහැනේ.

අම්මා - තාත්තා සහ නංගියි විතරයි. මට ඉන්නේ.

කලා පවුලක්ද?

අම්මා හෙද සේවයේ. තාත්තා ව්‍යාපාරයක් කරනවා. නංගි LOLC එකේ කළමනාකාරවරියක්. 

මාෂි විතරක් කලාව තෝරා ගන්නේ?

ඊට පෙර මම රජයේ රස්සාවක් කළ කෙනෙක්. යුද හමුදා පොලිසියේ සේවයේ කළේ.  

ඇයි ඒ ගෞරවනීය සේවයෙන් ඉවත් වුණේ?

ඒ රස්සාව මට ගෞරවනීයයි. ඒත් ඊට වඩා මගේ හිත තිබුණේ කලාවට. කලාවට මම ආසයි. 

මාෂි වඩා දක්ෂ?

මට හිතෙන විදියට උයන්න. ගමේ ගොඩේ කෑම හදන්න.

‘මාෂි’ ස්පෙෂල් වට්ටෝරුව?

කිරිකොස් මාළුව, හාල් මැස්සන් තෙල් දාලා, මාළු ඇඹුල් තියල් හදන්න. තවත් එක එක දේ පුළුවන්. කොස් - පොළොස් හොඳට පුළුවනි. 

ඒ කියන්නේ කවදාහරි විවාහ කරගන්න සැමියා සැබෑ වාසනාවන්තයෙක්

කන්න හදලා දෙන එක නම් අන්ත එතැනදී එයා වාසනාවන්තයි. 

දුර්වල දේ?

ඉක්මනට කේන්ති යාම සහ ඉක්මනටම හිත උණුවීම. ආයෙත් කාටවත් උදවු කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා, ඒත් උදවු කරනවා. 

හොඳම ගුණාංගය?

වාසියක් නොබලා මට පුළුවන් විදියට වචනයකින් හරි තව කෙනෙකුට උදවු කිරීම. 

කොහොමද – රහයි ජීවිතේ කෞෂල්‍යාට ලැබෙන ප්‍රතිචාර?

අනේ හොඳයි. මගේ යාළුවෝ සහ අඳුරන අය මට කතා කරලා හොඳ කියනවා. 

ඉතින් ඒ කියන්නේ මාෂිගේ ජීවිතේ රහයි?

ඔව්. රහට ජීවිතේ ගෙවෙනවා. 

ඒ විදියට රහට ජීවිතේ ගෙවන මාෂිගේ ප්‍රියතම ආහාරය මොකක්ද?

පොල් සම්බෝලය සහ කරවල බැදලා. 

කෑම උයන්න වගේම කෑමටත් හරිම රුසියෙක් කියලයි ආරංචි? 

ඒක නම් ඇත්ත. කෑමක් දකින්න විතරයි ඕනෙ.

මාෂි ජීවිතේ ප්ලෑන් කරලා තියෙන්නේ කොහොමද?

මේ වෙලාවේ රංගන කටයුතු කරන අතරේ මගේම ව්‍යාපාරයක් කරන්න ආසයි. විලාසිතා අංශයේ. 

තවත් මොනවද කියන්න තියෙන්නේ මාෂිට?

මට මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට ගෙනාවේ ඉෂංකා සෙනෙවිරත්න අක්කා. කලා අංශයට එන්න උදවු කළේ චමිල් ශෂික. එයාලව ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. 

මාෂිගෙ ඉදිරි නිර්මාණ ගැනත් කියමු? 

චමින්ද ගුණතිලක මහතාගේ කුණු කොල්ලා චිත්‍රපටයේ, මාධ්‍යවේදිනියක ලෙසත්, ගිහාන් ප්‍රනාන්දු සර්ගේ Good News ටෙලි නිර්මාණයේ වාර්තාකාරිණියක ලෙසත් ඉදිරියේදී මම ඔබ හමුවට එනවා. 

සටහන/ඡායාරූපය: සඳුන් ගමගේ