මටත් වඩා මාව කලා ක්ෂේත්‍රයට යොමු කරන්න ආසාව තිබුණේ මගේ තාත්තාට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දක්ෂ නර්තන ශිල්පිනියක් වන දසුනි සෙනිත්මා මේ දිනවල වඩාත් ජනප්‍රියව ඇත්තේ රංගන ශිල්පිනියක් විදිහටය. හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘මහවිරු පණ්ඩු’ හා ‘රැල්ල වෙරළට ආදරේයි’ ටෙලි නාට්‍යවල දකින්නට ලැබෙන ඇය ඉදිරියේදී දේශිය සිනමාවටද පිවිස සිටින බව සඳහන් වෙයි.

මේ දිනවල අපි ඔබව ටෙලි නිර්මාණ කිහිපයකින්ම දකිනවා?

සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණය කළ ‘මහවිරු පණ්ඩු’ හා නිවන්ත ප්‍රසාරගේ අධ්‍යක්ෂණය කළ ‘රැල්ල වෙරළට ආදරේයි’ කියන ටෙලි නාට්‍යය දෙක තුළින් මාව අද වෙන කොට ප්‍රේක්ෂයෝ දකිනවා. ‘රැල්ල වෙරළට ආදරේයි’ ටෙලි නාට්‍යයේ මම පෙනි ඉන්නේ යෙනුකි විදිහට, ‘මහවිරු පණ්ඩු’ ටෙලි නාට්‍යයේ භූමි කුමරිය විදිහටත් මම රංගනයෙන් දායක වෙනවා.

ඔබව වැඩිපුර මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ මොන චරිතය හරහාද?

විශේෂයක් නැහැ. මිනිස්සු ඒ චරිත දෙකටම අද වෙන කොට ගොඩක් ආදරේ කරනවා. ඒ නිසා චරිත දෙකටම එක හා සමානව රසික ප්‍රතිචාර මට ලැබෙනවා හා ලැබෙමින් පවතිනවා.

දසුනි කියන්නේ දක්ෂ නර්තන ශීල්පිණියක්?

ඔව්, කුඩා කාලේ ඉඳලා මම නර්තන තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා. අවුරුදු තුනේදි මම දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට සහභාගි වුණා. ඒ වගේම 2017 වසරේ හිරු නාළිකාවෙන් පැවැත්වූ ‘හිරු සුපර් ඩාන්ස්’ තරගයට සහභාගි වෙලා එහි අවසන් වටයට දක්වා ආවා. ගොඩ දෙනෙක් මාව අදුනගත්තේ ඒ තරගය හරහා කිව්වොත් හරි.

ඊට පස්සේ නේද ඔබට කලාවට සම්බන්ධ වෙන්න මාවත විවර වුණේ?

ඔව්, හිරු රූපවාහිනියේම විකාශය වුණ ‘සිද්ධාර්ත් ගෞතම’ ටෙලි නාට්‍යය සම්බන්ධ  අවස්ථාව ලැබුණා. අද වෙන කොට ටෙලි නාට්‍යය, වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බෙහෝ ප්‍රමාණයකට වගේම සිනමාවටත් මම දැන් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඊට අමතරව නිරූපණයටත් අද වෙන කොට මම සම්බන්ධ වෙලා තියෙනවා. මේ වසරේ තිබුණ ‘හිරු මෙගා ස්ටාර්’ තරගයේදී මම සංජය මුරමුදලි අයියාගේ නර්තන සහිකාව විදිහටත් නර්තනයෙන් දායක වුණා.

සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කෙහොමද?

රජිත හිරාන් අයියා හරහා. ඔහු අධ්‍යක්ෂණය කරන ‘රයිඩර්’ චිත්‍රපටයේ තමයි මම රඟපාන්නේ. මාත් එක්ක රොෂන් රණවන අයියා තමයි ප්‍රධාන චරිතය කරන්නේ. අපි දෙන්නාට අමතරව සනත් ගුණතිලක, චිලි, අනෝජා විරසිංහ, රයන් ප්‍රවිණ නළුනිළීයන් රඟපානවා. මම හිතනවා මේ චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වේවි කියලා. ‘රයිඩර්’ චිත්‍රපටයට අමතරව තවත් චිත්‍රපටයක වැඩ කරන්නත් මට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා.

දසුනි තමත් පාසල් අධ්‍යාපනය ලබන කෙනෙක් නේද?

ඔව්, දැන් අ.පො.ස උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය හදාරන්නේ.

පාසලේ ඔබ කැපි පෙනෙන ශිෂ්‍යාවක්ද?

ඇත්තටම ඔව්, පාසලේ තියෙන හැම කලා කටයුත්තකටම වගේ මම දායක වෙනවා. පාසලේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට අදටත් මම කටයුතු කරනවා. සමස්ත ලංකා  තරගවලට පවා මම පාසල නියෝජනය කරමින් නර්තන තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා.

පවුලේ අය කැමතිද ඔබ කලාව පැත්තට යොමු වුණාට?

මම අද කලාවට සම්බන්ධ වෙල ඉන්නේ මගේ තාත්තගේ ආසාවට. මටත් වඩා මාව කලා ක්ෂේත්‍රයට යොමු කරන්න ආසාව තිබුණේ මගේ තාත්තාට. තාත්තා 2019දී නැතිවුණා. අද තාත්තා ජිවතුන් අතර හිටියා නම් ගොඩක් සතුටු වෙනවා. අම්මා තමයි අද මගේ පස්සෙන්ම ඉඳගෙන මගේ වැඩවලට උදව් කරන්නේ. මට තව අයියා කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. ඒ අයත් නර්තනයට ගොඩක් දක්ෂයි. අයියා නම් දැන් ඔස්ට්‍රේලියවේ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නවා. ඉතින් ඒ හැමෝම ගොඩක් මට උදව් කරනවා. 

බුද්ධික සේනාධීර