මම ක්ෂේත්‍රයට ආවේ හඬකැවිම් ශීල්පිනියක් විදිහට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අතිශය ජනප්‍රිය වූ ‘සූරිය කුසුම’ කොරියානු කතා මාලාවේ එන ෂි හේ කුමාරියට හඬදුන් තිළිණි කෞශල්‍ය සමරසේන මෙවර සාරවිට තරු කතාබහට අප සමග මෙළෙස එක්විය. වර්තමානය වනවිට රංගනයට මෙන්ම නිවේදනයටද යොමුව ඇති ඇය සිය ඉදිරි කලා කටයුතු පිළීබඳව තොරතුරු අපට මෙසේ පැවසුවා.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ හඬකැවිම් ශිල්පිනියක් විදිහට කිව්වොත් හරි?

ඔව්, මම ක්ෂේත්‍රයට එන්නෙ හඬකැවීම් ශිල්පිනියක් විදිහට. ‘සූරිය කුසුම’ කතාමාලාවේ පුංචි කුමරිය ෂිංහේගේ චරිතයට හඬකැවිමෙන් තමා ගොඩක් අය මාව අඳුනගත්තේ. ලංකාවේ කොරියානු කතා නරඹන අය අතර ෂිංහේ කියලා තමා මාව කවුරුත් දන්නේ. ඒවගේම හිරු ටිවී ‘සිත් අහසේ ආදරෙන්’ කතාමාලාවේ ගින්නි චරිතයත් නරඹන්නන් අතර මතක හිටිය චරිතයක්. දෙරණ නාලිකාවේ විකාශය වුණ ‘හාර්ඩි බෝයිස්’ කතාමාලාවේ එළිසබෙත් චරිතයත්, මේ දිනවල විකාශය වෙන ‘චංගුමී’ කාටූනයේ අගබිසවගේ චරිතයත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනු චරිත බවට පත්වෙලා තියෙනවා. ඒ හැම චරිතයකටම හඬදුන්නේ මම. මීට අමතරව තවත් බොහෝ හඬකැවීම් කටයුතුවලට මම දායක වෙලා තියෙනවා.

දැනට ඔබ ක්ෂේත්‍ර කිහිපයකම කටයුතු කරන කෙනෙක්?

ඔව් හඬකැවීම් වලට අමතරව මම වෘත්තියෙන් නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. තව නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයේ තුළත් මම දැනට වැඩ කරමින් ඉන්නවා. මේ දිනවල ඉම්පාස් ආයතනයේ රංගනය හදාරනවා. උසස් අධ්‍යාපන කටයුතුත් සමඟම සමබරව කලා කටයුතුත් කරනවා.

ඉදිරි කාලයේදී ඔබව දකින්න පුළුවන් නිර්මාණ මොනවද?

අලුතෙන් ආරම්භ වුනු ත්‍රිවිධ ටිවී නාලිකාවේ උදෑසන ගීතාගාරය වැඩසටහන, උතුම්ලිය වැඩසටහන් වලින් මාව දැක බලාගන්න පුළුවන්. සතියේ දවස් පහම මේ වැඩසටහන් විකාශය වෙනවා. ඒ වගේම ඉදිරියේදී මම රංගනයෙන් දායක වුනු නිරෝෂා විරාජිනි මහත්මියගේ අලුත්ම ගීතයේ රූපරචනය තුළිනුත් මව දකින්න පුළුවන්.

කලාවට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම, මම කලාවට සම්බන්ධ වෙන්න හීන දැක්ක කෙනෙක් නෙවේ. ඒත් අතුල රන්සිරිලාල් මගේ ගුරුතුමා හරහා තමා මම හඬකැවීම් නිවේදන කලාවට එන්නෙ. හැම කලා ක්ෂේත්‍රයකටම මම සම්බන්ධ වුණේ ඒ පිළිබඳ හැදැරීමක් කරලා. කලාවට එන්න ලැබුණු එක පුංචි වයසකින් පුංචි ගමනක් එක්ක හැමෝගෙම ආදරය ලබාගන්න පුළුවන් වුණ එක මට ලැබුණු ආශිර්වාදයක් කියලයි මම හිතන්නේ.

පාසල් කාලේ ඔබට මතකද?

මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලය. දහම් පාසල තමා මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි. පාසල් කාලයේ මම නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසත්, ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම් සාමාජිකාවක් ලෙසත් කටයුතු කරල තියෙනවා. ඒවගේම උසස් පෙල ඉහළින් සමත් වෙලා විශ්වවිද්‍යාලය වරම් ලබාගන්න මට පුළුවන් වුණා. විවාද තරග වලින් සමස්ත ලංකා ප්‍රථම ස්ථාන ඇතුළු ජයග්‍රහණ රාශියක් දිනාගන්න මට හැකි වුණා. තව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙසත් සංගම්වල නිලතලත් මම දැරුවා.

කලාව කියන්නේ ඔබේ වෘත්තියද?

ඔව්, මම කැමති කලාව වෘත්තියක් කරගන්න. හැබැයි එක අංශයකට පමණක් සිමා නොවී මට තියෙන හැම හැකියාවකින්ම උපරිම ප්‍රොයෝජනය අරගෙන ලෙකු ගමනක් මේ ක්ෂේත්‍ර තුළින් යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍ර සඳහා යෙමු වෙන්න අතදිනු හැම අයෙකුටම අනේක වාරයක් තුති පුදන්නත් මේක අවස්ථාවක් කරගනනවා.

ඉදිරි ඉලක්ක මෙනවද ඔබගේ?

මගේ හීනය රංගන ක්ෂේත්‍රයේ තුළ දිගු ගමනක්‍ යන්න. ඒවගේම නිවේදන කටයුතු වලටත් ඉදිරියේදි වැඩිපුර අවධානය දෙන්න මම බලපෙරොත්තුවෙන් ඉන්නව. ත්‍රිවිධ නාලිකාවේ නිවේදිකාවක් ලෙස ඔවුන්ටත් මගේ හැකියාව තුළ උපරිම දෙයක් කරන්න සැළසුම් කරමින් ඉන්නවා. අනාගතයේ දක්ෂ නිවේදිකාවක්, රංගන ශිල්පිණියක් වෙන එක තමයි දැනට තියෙන ලොකුම ඉලක්කය.

උදව් කළ අය?

මුලින්ම අම්මා තාත්තා අයියා ආදරෙන් මතක් කරනවා.විශේෂයෙන් අම්මා. අම්මා නැත්නම් මම මේ කලා ගමන එන්නෑ. රැකියාවක් කරත් ඇය අම්මා කෙනෙක් ලෙස මගේ හයියට ඉන්නවා. ඒවගේම මගේ ගුරුවරු කලාවට මාව ගෙනාපු අතුල රන්සිරිලාල් ගුරුතුමා විශේෂයෙන් මතක් කරනවා. ඒවගේම හිරු ටිවී, දෙරණ ටීවී, සිරස ටීවී ආයතන වල සියලුම හඬකැවීම් අධ්‍යක්ෂකවරුන්ට ගොඩක් ස්තූතියි. අවසාන වශයෙන් බෞද්ධ්‍යා නාලිකාවටත් දැන් නිවේදන කටයුතු කරන ත්‍රිවිධ ටීවී නාලිකාවේ සභාපතිතුමා, නිෂ්පාදන අධ්‍යක්ෂ තුමා, ඉහළ කළමනාකාරිත්වය, වැඩසටහන් අධ්‍යක්ෂතුමා ඒවගේම මම නිවේදන කටයුතු කරන වැඩසටහන් වල නිෂ්පාදකතුමිය ඇතුළු ත්‍රිවිධ පවුලම ආදරෙන් මතක් කරනවා. ස්තූති මට උදව් කරන හැමෝටම.

 බුද්ධීක සේනාධීර