මම රඟපාන්න බලාගෙන නිරූපණයට ආවේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අචිනි හංසමාලි කියන්නේ නවක නිරූපණ ශිල්පිනියක්. නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකදී නිරූපණය හදාරන්න්නට පටන්ගත් ඇය රෑම්ප් මොඩ්ලින්වලට විශේෂ කැමැත්තක් දක්වනවා. එමෙන්ම ඇය වෘත්තීමය නිරූපණ ශිල්පිනියක් ලෙස මේ වනවිට ගමන් ආරම්භ කර තිබෙනවා. අචිනි හංසමාලි සාරවිට කතාබහකට මුල පිරුවේ මේ විදිහටයි.

අචිනි මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

පසුගිය කාලෙත් එක්ක ඇත්තටම ෆොටෝෂූට්, මොඩ්ල් ෂූට් එහෙම අඩු වෙලා තිබෙනවා. දැන් නම් ඒ තත්ත්වය ටික ටික හරි යාගෙන එන්නේ. මේ දවස්වල නම් ෆොටෝෂූට් වගයක් කළා. ගිය මාසේ බ්‍රයිඩ්ල් ෂෝ එකක් තිබුණා. ඉස්සරහටත් ෆොටෝෂූට් වගයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවාත් කරගෙන ඉන්නවා.

අළුතෙන් දායක වුණු නිර්මාණ මොනවාද?

රංගනය පැත්තෙන් නම් ආරාධනා කිහිපයක් ඇවිත් තිබෙනවා. ඉස්සරහදී ඉන් එකකට දායක වෙන්න හැකි වෙයි කියලා මම හිතනවා.

ඔබ නිරූපණය ඉගෙනගෙන තිබෙනවා නේද?

ඔව්. මම දැන් නිරූපණය හදාරලා තිබෙනවා. මම ඉගෙනගත්තේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ. මම නිරූපණය ඉගෙනගෙන පසුගිය ජනවාරිවලදී graduate වුණා.

අද දකින නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මෙහෙමයි. දැන් සෝෂල් මීඩියාවල මොඩ්ල් කියලා කියාගන්න ගොඩක් අය ඉන්නවා. ඉස්සර නම් මොඩ්ල් කෙනෙක් කිව්වාම අපිට මැවෙන රූපයක් තිබ්බානේ. ඇත්තටම දැන් එහෙම අය නැහැ. ගොඩක් අඩුයි. දැන් ඉන්න ගොඩක් අය ෆොටෝ ෂූට් එකක් කළාම මොඩ්ල් කෙනෙක් කියලා හඳුන්වාගන්නවා. එයාලාගෙන් මොඩ්ලින් ඉගෙනගත්තේ කොහෙන්ද කියලා ඇහුවාම මොඩ්ලින් ඉගෙනගන්නත් ඕනේද කියලා අහනවා. අනිත් එක දැන් ගොඩක් අය මොඩ්ලින් කරන්නේ රඟපාන්න බලාගෙන. ඉස්සර ඉඳලා හිටපු Top Modelලා බලන්නකෝ එයාලා තාමත් ඒ විදිහටම ඉන්නවානේ. එයාලා දැක්කාමනේ අපිටත් ෆීල්ඩ් එකට එන්න ආසාවක් ඇතිවුණේ. මේ විදිහට ගියොත් අපෙන් පස්සේ ෆීල්ඩ් එකට මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ.

නිරූපණය ඉගෙනගනිද්දි ඒ අත්දැකීම කොහොමද දැණුනේ?

නිරූපණය ඉගෙනගන්න කලින් දැකපු නැති දේවල් ගොඩක් ඒක හදාරද්දි දැනෙන්න ගත්තා. ඒක මතුපිටින් පේන දේට වඩා වෙනස්. මොඩ්ල් කෙනෙක් වෙන්න කොච්චර කැපකිරීම් කරන්න ඕනේද කියලා දකින්න මොඩ්ලින් ඉගෙනගන්න ඕනේ. අපිටම කියලා ඩයට් ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. නිරන්තරයෙන් ව්‍යායාම කරන්න ඕනේ. අපි මේන්ටේන් වෙලා හිටියොත් තමයි අපිට ෆීල්ඩ් එකේ ඉන්න පුළුවන් වෙන්නේ. ෆීල්ඩ් එකට වගේම ජීවිතයට ගන්න පුළුවන් ගොඩක් දේවලුත් මට ඉගෙනගන්න ලැබුණා. ඒක ඉතාම වටිනා කාලයක්.

ඔබට නිරූපණය හරහා රංගනයට එකතු වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

රංගනයට මගේ අකමැත්තක් නැහැ. ඒත් මම රඟපාන්න බලාගෙන නිරූපණයට ආවේ නැහැ. මම ආවේම මෙතෙන්ට. මම කැමතිම රෑම්ප් මොඩ්ලින්වලට. ඒකයි මම ඉගෙනගත්තෙත්. මගේ හැකියාව පෙන්වන්න අවස්ථාවක්, හොඳ චාන්ස් එකක් ලැබුණොත් බාරගන්නවා. එහෙම නැතුව රඟපාන්න ඕනකමට නිරූපණයට ආවේ නැහැ.

අචිනි පෞද්ගලික ජීවිතයේදී විලාසිතාවන් කරනවාද?

ෆැෂන් එක එක කාලේට වෙනස් වෙනවානේ. නිරූපණ ශිල්පිනියක් වුණා කියලා පෞද්ගලික ජීවිතයේදීත් ෆැෂන් කළ යුතුමයි කියලා එකක් නැහැ. වෘත්තීමය අවස්ථාවේදී ඒ ඇඳුම් පැළඳුම් අඳින එක වෘත්තීයේ කාර්යයක්. නමුත් පෞද්ගලික ජීවිතයේදීත් එහෙම වෙන්න ඕනේ නැහැ. මම පෞද්ගලික ජීවිතයේදී ගොඩක් කතාබහට ලක්වෙන විදිහේ විලාසිතාවන් කරන්නේ නැහැ. මම සරල විදිහට ඉන්න කැමති කෙනෙක්. අනික හැම ෆැෂන් එකක්ම හැම කෙනෙක්ටම ගැලපෙන්නෙත් නැහැනේ.

ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?

ෆැෂන් ෂෝ කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. පසුගිය කාලේදි නැවතුණු ගොඩක් දේවල් දැන් නැවත ආරම්භ වෙමින් තිබෙනවානේ. ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත් මම කැමතියි මේ ෆීල්ඩ් එකේ ඉස්සරහටම ගිහින් කාලයක් රැඳී ඉන්න කැමැතියි. ඒ වගේම රංගන ක්ෂේත්‍රයටත් එකතු වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

උදව් කරපු අය ගැනත් කියමු?

විශේෂයෙන්ම මගේ අම්මා, තාත්තා, මගේ මාමා සහ රොසෑන් ඩයස් මහත්මියව මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ යාළුවෝත් ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද