මට පුළුවන් ප්‍රමාණයට විතරයි මම වැඩ බාර ගන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතය හරහා ආලින්දයට එන්නේ සචින්තනී කෞෂල්‍යායි. හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසෙන සචින්තනී නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනයක් සහ නර්තන ශිල්පිනියක්ද වනවා. මෙවර සාරවිට කතාබහ සඳහා ඉඩ වෙන් කළේ සචින්තනීටයි.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක තමයි ඉන්නේ. ඊටඅමතරව කැම්පස් එකේ වැඩ ටික නම් ඉවර වුණා. එක්සෑම් එකට සූදානම් වෙනවා.

කියාදෙන්න ආදරේ තරම්’ හි ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර නම් ඇත්තටම ගොඩක් හොඳයි. මොකද සචින්තනී කියලා කෙනෙක් හිටියට මිනිස්සු අතරට යන්නේ ‘දිගැසි’ විදිහටයි. දිගැසිගේ චරිතයට ගොඩක් දෙනෙක් ආදරෙයි. පොඩි අයගේ ඉඳලා වැඩිහිටියා දක්වාම ගොඩ දෙනෙක් ආදරය කරනවා. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඊට අමතරව පහුගිය කාලේදී දායක වුණු නිර්මාණ මොනවාද?

මම මුලින්ම රඟපෑවේ උප ප්‍රධාන චරිතයක්. ඊටපස්සේ කොරොනා කාලේදී ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ ටෙලි නාට්‍යකට රංගනයෙන් සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. ඊටපස්සේ තමයි කියාදෙන්න ආදරේ තරම් නාට්‍යට සම්බන්ධ වෙන්නේ. තවත් ආරාධනා ලැබෙමින් තිබෙනවා. අධ්‍යාපන වැඩකටයුතුත් සමබරව කරගෙන යන්න ඕනේ නිසා තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වෙනවා.

ශලනි, සචින්, සචින්තනී මිත්‍රත්තවය ඇතිවෙන්නේ කොහොමද?

සචින් අයියාව මට හමුවෙන්නේ 2019 හිරු අවුරුදු කුමරා කුමරිය තරඟයේදී. එතකොට තමයි සචින් අයියාව දැනගන්නේ. හැබැයි දැන් තරම් ලොකු බැඳීමක් එතකොට තිබුණේ නැහැ. යාළුවෙක් විදිහට හඳුනාගත්තා. හැබැයි කියාදෙන්න ආදරේ තරම් නාට්‍යත් සමගම තමයි ලොකු දැන හැඳුනුම්කමක් එක්ක ලොකු මිත්‍රතත්වයක් ඇතිවෙන්නේ. ශලනි අක්කාව නාට්‍යයේදී හමුවෙන්නත් පෙර ඉඳලාම මම එයාගේ ලොකු රසිකාවියක්. එයා සමගත් මම එක එක වැඩවලදී කතාබහ කරලා තිබෙනවා. හැබැයි හොඳම යාළුවෙක් විදිහට සමීප වෙන්නේ මේ නාට්‍යයත් එක්කයි.

ශලනිගෙන් ඔබට ලැබෙන සහයෝගය මොන වගේද?

ශලනි අක්කා කියන්නේ ප්‍රවීණ කෙනෙක්. එයාගෙන් ගොඩක් හොඳ උදව් ලැබෙනවා. විශේෂයෙන් වැඩ කටයුතු තෝරා බේරා ගනිද්දි, රූගත කිරීම්වලට සහභාගී වෙනකොට හැදෙන්න ඕනේ අඩුපාඩු මොනවාද වගේ හැමදේම හොඳින් කියලා දෙනවා. මම දැකපු නිහතමානීම චරිතයක් ශලනි අක්කා. මට ලැබුණු ලොකු වාසනාවක් ඇය වගේ කෙනෙක් සමග වැඩ කරන්න ලැබීම.

අධ්‍යාපන කටයුතුත් එක්ක රංගනයට ඉඩක් වෙන් කරගන්නේ කොහොමද?

මම පොඩි කාලේ ඉඳලාම බාහිර වැඩ කටයුතුත් එක්ක පාසැලේ වැඩ කරපු කෙනෙක්. ඒ නිසා ඉගෙනගැනීමට අමතරව ක්‍රීඩාව, කලාව වගේ දේවලත් නිරත වුණා. දැනුත් ඒ දේවල් ඒ විදිහටම කරනවා. ඒ ලැබුණු අත්දැකීම් නිසාත් වෙන්න ඇති කාලය කළමණාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. මට පුළුවන් ප්‍රමාණයට විතරයි මම වැඩ බාර ගන්නේ. කොහොමත් මූලිකත්වය දීලා තියෙන්නේ අධ්‍යාපනයට.

ඔබ වෘත්තීමය වශයෙන් රංගනයට සම්බන්ධ වෙනවාද?

මම කොහොමත් උදේ අට පහ රස්සාවකට පොඩි කාලේ ඉඳලාම කැමති නැති කෙනෙක්. මම කලාව කියන දේ රසවිඳිනවා සහ මගේ ආත්ම තෘප්තියට තමයි කලාවට සම්බන්ධ වෙන්නේ. වෘත්තීය රංගන ශිල්පිනියක් වනවාද නැත්නම් අධ්‍යපානය පැත්තෙන් වෘත්තීයක් තෝරාගන්නවාද කියලා තවම තීරණය කරලා නැහැ. දෙපැත්තම සමබරව කරගෙන යන්න පුළුවන් තරම් උත්සාහ කරනවා.

කියාදෙන්න ආදරේ තරම්’ හරහා ඔබට ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

මම හිතන්නේ ඕනේම කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හොඳට සහ නරකට දෙවිදිහටම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නැහැ. මගේ ගුරුවරයෙක් කියන කතාවක් තමයි අවුරුද්දට නාට්‍ය දහයක හිටියත් වැඩක් නැහැ මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වුණේ නැත්නම් කියලා. මම මිනිස්සු අතරට ආව දිගැසි චරිතයත් එක්ක මමත් මිනිස්සුන්ට මතක සහ ආදරණීය චරිතයක් වුණා කියලා මම විශ්වාස කරනවා. මගෙත් තව අඩුපාඩු ගොඩක් තිබෙනවා. මිනිස්සුන්ගේ ආදරය ලබනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්. ඒ ජනප්‍රියත්වය හොඳ එකක්.

කලාවට එද්දි හිතුවද මේ තරම් ඉක්මනට ජනප්‍රිය වෙයි කියලා?

නැහැ. මම වසර ගණනාවක්ම නිරූපණයට සහ රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කාලයේදී මට විවිධ ආරාධනා ලැබිලා තියෙනවා රඟපාන්න. ඒත් මගේ තෝරා බේරා ගැනීම් එක්ක මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට හොඳ විදිහට ජනප්‍රිය වෙයි කියලා. මගේ පැත්තෙනුත් මම සාධාරණයක් කර තිබෙන නිසානේ මම ජනප්‍රිය වී තිබෙන්නේ. ගොඩක් සතුටුයි එහෙම චරිතයක් විදිහට මිනිස්සු අතරට යන්න ලැබීම.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම මනෝ උපදේශිකාවක් විදිහට වැඩ කරගෙන යනවා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතුත් රංගන කටයුතුත් දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වනවා.

සාකච්ඡා - කැළුම් දේවින්ද