මම හිතන්නේ නැහැ කමෙන්ට් එකකට මාව වට්ටන්න, මගේ ගමන නවත්වන්න පුළුවන් වෙයි කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි සංගීතේ කියන්නේ. ඒ වගේම මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍ය අතරින් ඉහලින්ම තියෙන ටෙලිනාට්‍යක් තමයි සංගීතේ. මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන අසෙනිගේ චරිතයට පන පොවන්නේ ගීත්මා බණ්ඩාර විසින්. ගීත්මා බණ්ඩාර කියන්නේ නවක රංගන ශිල්පිනියක් ඇය කළා ක්‍ෂේත්‍රයට පය තබන්නේ හිරු අවුරුදු කුමරිය තරඟය ජය ගැනීමෙන් පසුවයි. එම තරඟයෙන් පසුව ඇය මෝස්‌තර නිරුපිකාවක සහ වෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළා. මේ වෙද්දී බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගෙන ඉන්න ගීත්මා බණ්ඩාර සාරවිට එක්ක මෙලෙස එක් වුණා.

මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල අපි සංගීතේ වැඩ කටයුතු කරගෙන යනවා. අළුත් වැඩ කිහිපයක් බාර ගත්තා. නමුත් කොරොනා හින්දා ටික දවසකට නැවතිලා තියෙනවා. ඉතින් ඉතුරු ගෙදරට වෙලා ඉන්නවා.

සංගීතේ ටෙලි නාට්‍යයේ ප්‍රතිචාර ගැන කතා කරමු?

ප්‍රතිචාර දවසින් දවස ඉහළ යනවා. බාල මහළු තරුණ හැමෝගේම වයස් භේදයකින් තොරව ආදරණීය ප්‍රතිචාර තමයි මට දවසින් දවස ලැබෙන්නේ.

ගීත්මා කියන බ්‍රෑන්ඩ් එක ක්ෂේත්‍රය තුළ නිර්මාණය කරන්න කොච්චර මහන්සි වුණාද?

ඇත්තටම මුල් කාලේ හැමෝටම අමාරුයි ඒ දේ. ඒක හැමෝටම පොදු දෙයක්. නැහැ කියන්න බැහැ. නමුත් ඉතින් ලොකු කැපකිරීමක් කරන්න වුණා. විශේෂයෙන් මගේ කාලය වැය කරන්න වුණා. අධ්‍යාපනය යම්තාක් දුරට කැප කළා. ඒ වගේම දිවා රෑ බලන්නේ නැතිව ගොඩක් වැඩ කරන්න වුණා ඒ වෙනුවෙන්. ඉතින් අද මම යම් ජනතා ආකර්ශනයක් ලබනවා නම් ඒ මේ කැපකිරීම්වල ප්‍රතිපල.

ඒ කැපකිරීම්වලින් ලැබුණු දේවල් ගැන තෘප්තිමත්ද?

අනිවාර්යෙන්ම. මම ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම පුංචි නිහතමානී ආඩම්බරයක් තිබෙනවා අද මම මෙතන ඉන්නවානේ කියලා.

අළුතෙන් දායක වුණු නිර්මාණ ගැන කතා කරමු?

ඔව්. නිතරම ආරාධනා ලැබෙනවා නිර්මාණවලට. නමුත් මම යම් තෝරාබේරා ගැනීමක් කරනවා. විශේෂයෙන් සංගීතේ නාට්‍යයට වැඩි ඉඩක් ලබාදෙනවා. මොකද ඒක මෙගා ටෙලි නාට්‍යයක්නේ. දැනට මෙගා ටෙලි නාට්‍ය බාරගෙන නැහැ. සීමිත කොටස් නාට්‍ය දෙකක් තමයි බාරගෙන තියෙන්නේ. මොකද වැඩ ගොඩක් එකපාරට කරන්න අමාරුයිනේ.

සිනමාවට අවස්ථාව ලැබුණේ නැද්ද?

සිනමාවට මේ වෙනතුරු විවිධ පිටපත් ලැබෙනවා. නමුත් මට ගැලපෙන චරිතයක් මේ වෙනතෙක් ලැබුණේ නැහැ. පුංචි පුංචි චරිත නැතුව ඉතාමත් හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයින් අතරට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට තවම කාලය හරි නැහැ කියලා හිතනවා.

වර්තමානයේදී කෝවිඩ් තත්ත්වය නිසා කලාවට ලොකු හානියක් වුණා. මේ ගැන කොහොමද දකින්නේ?

ඇත්තටම කලා ක්ෂේත්‍රයෙන් ගොඩ දෙනෙක් ජීවත් වෙනවා. කලාකරුවන් විතරක් නෙවෙයි විවිධ අංශවල වැඩ කරන හැම දෙනාටම ලොකු අභියෝගයක් වුණා මේ ගෙවුණ කාලය. බහුතරයකට වැඩ නැතිව ගෙදරට වෙලා ඉන්න සිදුවුණා. මම හිතනවා ඒකත් එක්ක ගොඩක් අය අළුත් අළුත් දේවල් පටන්ගන්න හිතුවා කියලා. මම ඒ වෙනස අත්දකිනවා. හැමෝටම ඉස්සරහට හොඳ කාලයක් එයි කියලා මම හිතනවා.

ඔබ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ දකින්න ලැබෙනවා. ලංකාවේ සමාජ මාධ්‍ය හැසිරීම ගැන මොකද හිතෙන්නේ?

සමාජ මාධ්‍ය කිව්වාම ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හැමෝම දන්නවානේ හොඳ වගේම නරකත් තියෙනවා කියලා. මම දකින විදිහට මගේ ප්‍රේක්ෂකයාට මට සෘජුවම කතා කරන්න පුළුවන් දෙයක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. එතනදි මම හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් විඳිනවා. විශේෂයෙන් කමෙන්ට්ස් එහෙම. හැබැයි මම හිතන්නේ නැහැ කමෙන්ට් එකකට මාව වට්ටන්න, මගේ ගමන නවත්වන්න පුළුවන් වෙයි කියලා. මගේ අළුත් දේවල් මගේ ප්‍රේක්ෂකයෝ එක්ක බෙදාහදා ගන්නවා. නමුත් මම ගොඩක්ම සමාජ මාධ්‍ය භාවිතා කරනවා අඩුයි. ඒකෙන්ම යැපෙන කෙනෙක් නෙවෙයි.

සමාජ මාධ්‍යයෙන් ලැබෙන දේවල් බාරගන්න ඕනේ නැහැ කියන මතයේද ඔබ ඉන්නේ?

අද සමාජයේ බහුතරයකගේ කැමැත්ත සහ අකමැත්ත තමයි සමාජ මාධ්‍ය හරහා එන්නේ. හැම මනුස්සයාම එක වගේ නැහැනේ. ඉරිසියාවක්, තරහාවක් වගේම පෞද්ගලික අමනාපකම් පවා ෆේක් එකවුන්ට් එකකින් හරි ඇවිත් ප්‍රකාශ කරලා යන්න පුළුවන්නේ. ජීවිතේට යම් බලපෑමක් කරනවා. මගේ පෞද්ගලික ජීවිතේට බලපෑමක් කරනවා. සමහර වෙලාවට මම මානසිකව වැටෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. නමුත් මම හිතනවා ඒ වගේ දේවලට කරදර වෙනවාට වඩා මට තවත් හිතන්න දේවල් තියෙනවා කියලා.

ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් නවකයින්ට ලබාදෙන සහයෝගය ගැන දකින්නේ කොහොමද?

බහුතරය දෙනා නවකයින්ට අත දෙනවා. මමත් මීට අවුරුදු කිහිපයකට කලින් ක්ෂේත්‍රයට එන්නේ නවකයෙක් විදිහට. ඉතින් ඒගොල්ලෝ මාව වාසනවාට වගේ ආදරයෙන් පිළිගත්තා. ඒක මට ලොකු හයියක් වුණා මගේ ගමනට. ඒ වගේම දැනටත් මට ලොකු හයියක් ලැබෙනවා. මම හිතන්නේ නැහැ හැමෝමටම ඒ වගේ අවස්ථා ලැබෙන්න පිං කරලා ඇති කියලා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් උපදෙස් අරගෙන තමන්ගේ ගමන යන්න. ඔවුන් හරි ආදරයෙන් මාව වැළඳගෙන තිබෙනවා. මට දරුවෙක්ට වගේ සලකනවා. විශේෂයෙන් දැනට විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ ඩග්ලස් අංකල්, ශ්‍රියන්ත අංකල්, දයාදේව අංකල් මාව තමන්ගේ දුවෙක් වගේ වැළඳගෙන තිබෙනවා. ඒ අයගේ උපදෙස් මැද, ආදරය මැද මගේ ගමන යන්න මම වාසනාවන්තයි.

මේ පැමිණි දුර ගැන මොකද හිතෙන්නේ?

විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ හයිය මගේ ප්‍රේක්ෂකයෝ. ඕනෑම කලාකරුවෙක් බැඳිලා ඉන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත. ප්‍රේක්ෂකයෝ මොන දේ වුණත් මාත් එක්ක ඉන්නවා. ඒ වගේම මම ආවේ හිරු අවුරුදු කුමරිය හරහා. ඔවුන් තමයි මට මුලින්ම රංගන අවස්ථාව ලබාදෙන්නේ. ඉතින් හිරු නාලිකාව සහ එහි හැමදෙනාටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙන්නේ, ප්‍රේක්ෂකයෝ මාව ආදරයෙන් වැළඳගන්නේ සංගීතේ ටෙලි නාට්‍ය හරහා. ඉතින් සංගීතේ ටෙලි නාට්‍යයේ සියළුම කාර්යමණ්ඩලයට ස්තූතියි කරනවා. තිරයෙන් පිටුපස ඉන්න හැමෝම මාව ආදරයෙන් බලාගන්නවා. ඒ හැමෝටමත් ස්තූතියි. ඒ වගේම දැනට කෙරෙන අනෙක් නිර්මාණවල ශිල්පීන්ට සහ ටී.වී. දෙරණ ආයතනයේ හැමෝටම ස්තූතියි කරනවා. එයාලා තමයි දැන් මගේ ජීවිතය. 

ඩිලාන් ක්‍රිෂාන්ත