මේක ගොඩාක් වගකීම් සහගත රැකියාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සියෙත් රූපවාහිනි නාළිකා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරන ලක්ෂි ප්‍රනාන්දු සමගින් මෙවර අපි කතා බහා කළේමු. මේ වනවිට ඇය නිවේදිකාවකට අමතරව ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කරමින් සිටියි. මේ දිග හැරෙන්නේ අපි ලක්ෂි සමගින් කළ කතා බහයි..

ඔබ නිවේදිකාවක් වුණේ කොහොමද?

මම නිවේදිකාවක් වෙනවා කියන හීනය පුංචි කාලේ ඉඳන් තිබුණ දෙයක්. ඒකත් ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවා කියන එක. මම ගොඩක් අසාවෙන් හිතපු රැකියාව. ඒකට එන්න මට පාර හැදුවේ මගේ අම්මා. අම්මටත් ලොකු කැමැත්තක් තිබුණා මාව රූපවාහිනී තිරයේ දකින්න. ඉතින් අම්මයි, තාත්තායි දෙන්නම එකතු වෙලා මාව නිවේදිකාවක් වෙන්න උනන්ඳු කළා. හැබැයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ ගමනට ලොකුම පන්නරය ලැබුණේ ලංකාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි වගේම පුවත්පත් මාධ්‍යවේදීන් රැසක් බිහි කල NITT ආයතනය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ගුරු පියාණන් තමයි මගේ මුල්ම මාධ්‍ය ගුරුවරයා. එතැනින් තමයි මම මාධ්‍ය ගමන ආරම්භ කරන්නේ නිවේදිකාවක් විදිහට.

දැනට ඔබ කරන වැඩසටහන් මොනවද?

දැනට මම සියත රූපවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක්, ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක්, කාර්ය භාර සංස්කාරවරියක් වගේම ක්‍රීඩා පුවත් වාර්තාකාරිණියක් විදියට සේවය කරනවා. ඒ වගේම සියත පත්තරේ ඒ කියන්නෙ සියත කතුවැකිය ඉදිරිපත් කරන නිවේදිකාවන් අතරින් කෙනෙක් මම.

ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නේ තරමක් බැරැරුම් වෘත්තියක් නේද?

මෙය තරමක් බැරෑරුම් වෘත්තීයක් නෙවෙයි. ඉතා බැරෑරුම් වෘත්තීයක්. හරි පරිස්සමින් හැමදේම කරන්න ඕනා. මාධ්‍යවේදීන්ට වරදින්න බැහැ ඒක හරි ඉක්මනට මිනිස්සු අතරට යනවා. ඒ නිසා නිවැරැදිව හැම තොරතුරක්ම ජනතාවට දැන ගන්න ඉදිරිපත් කරන්න ඕනා. මේක ගොඩාක් වගකීම් සහගත රැකියාවක් කිව්වොත් නිවැරදියි.

දැනට කොපමණ කාලයක සිට ඔබ නිවේදිකාවක් විදිහට වැඩ කරනවාද?

සියත රූපවාහිනී නාලිකාවක තුළ වසර 6කට අධික කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. මම දැනට වෙනත් නාලිකාවල වැඩ කරලා නැහැ. පළමු සම්බන්ධ වුණේ මේ නාලිකාවට. අද වෙනකම් ඒ නාලිකව තුළ වැඩ කරමින් ඉන්නවා. ඉදිරියටත් එය එසේමයි.

මේ වෘත්තිය තුළ දැන් ඔබ ස්ථාවරද?

මම හිතනවා දැනට මගේ වයසත් එක්ක බලනකොට මම මගේ ජීවිතයේ සතුටු වෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉන්නවා කියලා. තවත් මේ වෘත්තිය ගැන ඉගෙන ගන්න බොහෝ දේ ඉතුරු වෙලා තියනවා.  ඕනැම කෙනෙක්ගෙන් මම දෙයක් අහලා දැන ගන්න කැමති. අද වෙන කොට මම මගේ ගමන ගැන ගොඩක්ම තෘප්තිමත් කිව්වොත් හරි.

ඉදිරිය කොහොමද?

ඉදිරියටත් මම ගොඩාක් දුරට මේ ෂේත්‍රය තුළම රැඳිලා ඉඳියි. මට විතරක් නෙමෙයි හැමෝටම දවසක මේ දේවල් අත්හැර යන්න වෙනවනේ. එතකන් පුළුවන් කාලයක් මම මේ රැකියාව තුළ නියැළෙනවා. වෙන ක්ෂේත්‍රයකට සමහර විට මම යොමු වෙන්නත් ඉඩ තියෙනවා.

උදව් කළ අය?

මුලින්ම මගේ අම්මා තාත්තා තමයි මට මතක් කරන්න ඕනා. ඒ වගේමයි මගේ මුල්ම මාධ්‍ය ගුරුපියණන් වන සියත ප්‍රවෘත්ති අංශයේ උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ සර් තාමත් දෙන සහයෝගය මතක් කරන්නම ඕන. අනිත් ගුරු පියාණන් සියත ප්‍රවෘත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ කලමණාකරු උදයශාන් ඉඩමගෙදර සර් කවදාවත් අත නොහැර මාගේ අඩුපාඩු හැදුවා තාමත් ඒ ගුරුහරුකම් මැද ඉන්නෙ මම ඉතින් සර්ලා දෙන්නටම පිං. ප්‍රවෘත්ති අංශයේ සහෝදර සහෝදරියන්වත් මතක් කරන්න ඕන. සියත සභාපතිතුමා ඇතුළු ඉහල කළමනාකාරිත්වය මතක් කරනවා ආදරයෙන්. වචනෙන් හරි උදව් කළ අයට ගොඩාක් ස්තුතියි.

බුද්ධීක සේනාධීර