මට තියෙන ලොකුම වාසිය ඇයට මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තිබීමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයෙන් ජනක රංචාගොඩ නිෂ්පාදනයට දායක වූ නිහඬ සෙවනැලි සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙනවා. සැබෑ ජීවිතයේදී සැමියා සහ බිරිඳ වූ ශිල්පීන් එකම නිර්මාණයකට දායකවීම අපට දැකගත හැකි වන්නේ කලාතුරකිනි. ‘පුබුදු සහ මාෂි’ එලෙසින් මෙම නිහඬ සෙවනැලි චිත්‍රපටය ඔස්සේ අපට හමුවන මොහොතක මේ කතාබහ ‘පුබුදු චතුරංග’ සමගයි. 

පුබුදු කොහොමද මේ දිනවල වැඩ කටයුතු? 

කොවිඩ් නිසා පසුගිය කාලයේ සම්පූර්ණයෙන්ම වැසී තිබුණු සිනමාව යළි ප්‍රේක්ෂකයන්ට විවෘත වෙලා. ඒ එක්කම වසර ගණනාවකට පසුව අපේ සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගෙන. ඒක සිනමා කර්මාන්තයේ නියැලී සිටින අපි හැමෝටම සුබ පණිවුඩයක්. පුද්ගලිකව කතා කළොත් මම රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට අටක් විතර තිරගත වීමට තියෙනවා. එකිනෙකට වෙනස් තේමා රැගත් එම චිත්‍රපට ඉක්මණටම ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ලැබේවි කියලා හිතනවා. ඊට අමතරව මේ දිනවල දායකත්වය ලබාදුන් නිර්මාණ ගැන කිව්වොත් ඉතාම දීර්ඝ කාලයකට කැප වෙමින් දැවැන්ත සිනමා නිර්මාණයකට පසුගිය කාලයේදී දායක වුණා. මාස තුනක පමණ රංගන වැඩමුළු සහ පෙර අභ්‍යාස සියල්ලට මුහුණ දෙමින් තමයි අපි මෙම දැවැන්ත සිනමා නිර්මාණය වන ජැක්සන් ඇන්තනී මහතාගේ ‘දේවි සම්බුලා’ වෙනුවෙන් දායක වුණේ. ලංකාවේ ලස්සනම තැන් තියෙන්නෙ ඉතා දුෂ්කර පළාත්වල. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් එවැනි ලස්සන දුෂ්කර තැන්වලට පවා යන්න ලැබුණා. ජැක්සන් ඇන්තනි වැනි සිනමාකරුවකු මගේ ජීවිතයට ලැබීම නිසා රංගනය ගැන අලුතින් යමක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම වාසනාවක්. භාග්‍යයක්. 

වෘත්තීය ජීවිතයෙන් එහාට ගිහින් ඔබගෙ ගෙදර ජීවිතය ගැන කතා කළොත්? කොහොමද  සැබෑ ජීවිත රංගනය? 

වෘත්තීය රංගන ජීවිතය සහ ගෙදර ජීවිතය කියන්නේ චරිත දෙකක්. ඇක්ෂන් කිව්වට පස්සේ මම ඉන්නේ නිර්මාණයකට අදාල චරිතයෙ. ඇත්ත චරිතය ගත්තොත් පුබුදු චතුරංග කියන්නේ වෙනස් කෙනෙක්. ඒ චරිතය දකින්න ලැබෙන්නෙ මගේ බිරිඳට සහ මගෙ  ජීවිතය වටා සිටින සමීපතමයින්ට. ඊට හොඳම සාක්ෂිකාරයා මගේ බිරිඳයි. ඉතින් ඇයගෙයි මගෙයි ආදරය ඉතාම සුන්දරව ගලා ගෙන යන කතාවක්. ඒ වගේ බිරිඳක් ලැබීම මගේ වාසනාවක්. මාව හරියටම තේරුම් ගන්න සහ අපි දෙදෙනාට ජීවිතයේ ඕනෑම දෙයක් බැලන්ස් කර ගන්න පුළුවනි. අපි දෙන්නා ජීවත් වෙන්නෙ අපේ ජීවිත ඇතුළෙ හරිම සරලව. ඒ නිසා අපි සතුටින් ඉන්නෙ. ජීවිතේ සැබෑ අවබෝධය අපි දෙන්නාටම තියෙනවා. ගෙවී යන ජීවිතයේ සෑම තත්ත්පරක්ම අපි රස විඳින්නට ඕනෑ. ඒ වගේම ජීවිතය ගැන සැබෑ අවබෝධය තිබෙන්නත් ඕනෑ. අපි හැකි විදියට මිනිස්සුන්ටත් උදවු කරනවා. 

ඒ විදියට ‘පුබුදු - මාෂි’ ජීවිතය ලස්සන කරගෙන අරුත්බර කරගෙන තිබෙන්නේ. ඔබ දෙදෙනාට කැමති විදියට ජීවත් වන නිසාද? නැතිනම් සමාජය කියන විදියට ජීවත්වීමට හුරු වීමක්ද? කොහොමද එය දකින්නෙ? 

බොහෝ වෙලාවට සමාජයේ බලපෑම ජීවිතවලට ලැබෙනවා. ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය නොවුවත් ඒ ඒ කෙනාගේ සමාජයට සාපේක්ෂව ඒ බලපෑම වෙනවා. මොකද සමාජයෙන් ඇත්වෙලා අපට ජීවත් වෙන්න බැහැනේ. අපේ සිනැගිවලට අනුව ගත්තොත් මම සහ මට අවශ්‍ය දේ කුමක්ද කියා තේරුම් ගැනීම වැදගත්. අපේ සිහිනය කුමක්ද කියා වටහා ගැනීම වැදගත්. ඒ සිහිනය කරා යද්දී සමාජයෙන් ලොකු බලපෑම් එන්න පුළුවන්. ඒ බලපෑම් සියල්ල තමන්ගේ සිහිනයට යාමේ පඩිපෙළක්, ශක්තියක් කරගෙන ඒ සියලු විරුද්ධතා  ප්‍රතිවිරෝධතා වලින් ශක්තිය ජනනය කර ගන්න මම උත්සාහ ගන්නවා. විවේචන එල්ල වූවා නම් මෙම ක්ෂේත්‍රයට පැමිණිදා සිට මම ඒවා ශක්තියක් කර ගත්තා. ඉදිරියටත් එහෙමයි. 

බොහෝ වෙලාවට කලාකරුවන් කියන දෙයක් තමයි මට බිරිඳගෙන් ලැබෙන නිදහස නිසා තමයි මට මේ හැම දෙයක්ම සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. ඒක ටිකක් ආත්මාර්ථකාමී සිතිවිල්ලක් නේද? පුබුදු ඒ විදියට බිරිඳගෙන් නිදහස බලාපොරොත්තු වන කෙනෙක්ද? 

එකිනෙකා නිදහස් වෙන්න ඕනෑ. ඇය මට නිදහස ලබා දෙනවා වගේම මාත් ඒ නිදහස ඇයට ලබාදීම වැදගත්. එහෙම නොවුවොත් තමයි ප්‍රශ්නය. පිරිමියා විතරක් නිදහස අපේක්ෂා කරලා බිරිඳට ඒ නිදහසට තහංචි දැම්මොත් තමයි ලොකු ප්‍රශ්න ඇති වන්නෙ. කාන්තාවකට නිදහස අවශ්‍යයි. විශේෂයෙන්ම විවාහ වූ පසුව කාන්තාවක් සැමියා විසින් හදන්න බැහැ. විවාහයට පෙර එයා ගෙදරින් හැදිලා ආ යුතු කෙනෙක් විය යුතුයි. ඇයට සැමියකුව හදන්න බැහැනේ. මොකද ඇයව උපද්දලා තියෙන්නේ ඇයගෙ මව්පියන්. ඒ නිසා සැමියා බිරිඳ දෙදෙනාම යම් යම් තැන්වලදී එකඟ වෙන්න සිද්ධ වෙනවා. සියයට සීයයක්ම නිදහස ලබා ගන්න කාටවත් බැහැනේ. එහෙම නම් ඉතිං ගිහිගෙය අත්හැර යන්න ඕනෑ. පවුල් ජීවිතය ඇතුලෙ ඉන්නවා නම් එකිනෙකා කතා කරලා නිදහස ගත යුතු තැන් ගැන කතා කරලා ඒ විදියට ජීවිත ගත කිරීම වැදගත්. සමාන නිදහසක් දෙදෙනාම බුක්ති විඳින්න ඕනෑය කියන තැන තමයි මම ඉන්නේ. 

‘නිහඬ සෙවනැලි’ ගැන කතා කරමු. එහි ඔබ සහ බිරිඳ මාෂි දෙදෙනාම රඟපානවා. ඒ අත්දැකීම මොන වගේද? 

මට තියෙන ලොකුම වාසිය ඇයට මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තිබීමයි. මීට පෙර මම ඇයට චිත්‍රපටයක් ලියලා තිබුණා. ඒකෙ රූගත කිරීම් පවා බොහෝ දුරට නිම කරලා තියෙන්නේ. ඒකෙ නම ‘ආදර හීනය’ මේ කොරෝනා ප්‍රශ්නය නිසා එහි සම්පූර්ණ වැඩ ඉවර කරන්න තාම බැරිවුණා. අපි දෙදෙනා එකට එක්ව මුලින්ම රඟපෑවේ ඒ චිත්‍රපටයෙ. මාෂි තනියම රඟපෑව ‘නිව්ස් පේපර්’ චිත්‍රපටය තිරගත කෙරුණා. මෙහි තිර පිටපත අරගෙන අධ්‍යක්ෂවරයා ආවාම දෙවතාවකදී විතර එය වෙනස් කරන්න කියලා මම කිව්වා. අපි කීප වතාකදීම හමු වුණා. සාකච්ඡා කළා. ඒ අවස්ථාවකදී තමයි අධ්‍යක්ෂවරයා මාෂිට මේ චරිතයට කතා කළේ. ඒක මගේ වුවමනාවට වෙච්ච දෙයක් නොවෙයි. කොහොමටත් මම මාෂිට කිසිවකට බලපෑම් කරන්නෙ නැහැ. ඇය කැමති නිසා මේ චරිතය බාර ගත්තා. ඇය කරන්නේ පෙම්වතියගේ චරිතයයි. හිරිපොද වැස්සේ ඉඳලා මා එක්ක හිටපු මගේ පරණ මිතුරා රොෂාන් රණවන මෙහි රඟපානවා. තාරුකා ඉන්නවා. මේ ඔක්කොම හොඳ සමූහිකව කළ නිර්මාණයක්. විශේෂයෙන්ම සුනිල් ප්‍රේමරත්න නමැති හරිම නිහතමානී අධ්‍යක්ෂවරයෙක්. ඔහු වගේ අවංක මිනිසෙකුට සේවයක් ලබා දෙන්න අපට වුවමනාව තිබුණා. කොහොම වුණත් මාෂි සහ මම එකට රඟපෑම අලුත් අත්දැකීමක් ගෙන දුන්නෙ. මෙතෙක් චිත්‍රපටයක මම පෙම්වතා ලෙස රඟපෑවේ නම් ඒක ඒ නිර්මාණයට විතරනෙ. ඒත් මේ අත්දැකීම වෙනස්. කොහොම වුණත් වෘත්තීය භාවය රැකෙගෙන අපි ඒ නිර්මාණයට දායක වූ බව කියන්න පුළුවනි. 

සාමාන්‍ය චරිත දෙකක් විදියට ගත්තොත් ඔබ කවුද? ඇය කවුද? ඔබට එය දැනේනෙ මොන විදියටද? 

‘මට මා සොයාගත හැකි වූ දිනෙක ඔබට මා හමු නොවනු ඇත’ මම මේ ක්ෂේත්‍රයට ආ මුල් කාලයේදීම මගෙන් ඇහුවාම මා ගැන මම කිව්වෙ ඒ විදියටයි. මම කවුද කියන එක තමයි මගේ ජීවිතය පුරාවට මම හොයන්නේ. ඒක මට හමුවූ දිනෙක එදාට මම කියන කෙනා  වෙනවා. අන්න එය සොයමින් යන ක්‍රියාවලියක් තමයි මේ. 

ඇය මගේ ජීවිතයට ලැබුණු මාත් සමග සොයා යා හැකි මාත් සමග අතින් අල්ලා ගෙන ජීවිතය නමැති ගවේෂණයෙහි යෙදෙන තවත් එක් ගවේෂිකාවක කිව්වොත් හරි. මට ඇයව දැනෙන්නේ ඒ විදියටයි. 

විවාහක යුවළක හැටියට ජීවිතය මේ විදියට නැවුම්ව තියා ගන්න අලුත් කර ගන්න අනුගමනය කළ යුතු මැජික් එක මොකක්ද? 

මම  හිතන්නෙ විවාහ ජීවිතයක් සාර්ථක කර ගන්න රැකගත යුතු පළවෙනිම දේ නම් විශාඛාවට කියා දුන්න උපදෙස් පිළිපදින්න ඕනැ. ඇතුළත ගිනි පිටතට නොදෙන්න. පිටත ගිනි ඇතුළට නොගන්න. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ