මට වඩා අද මම ඉන්න තැන ගැන සතුටු වෙන්නේ මගේ දෙමව්පියෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙරණ නාළිකාවේ විකාශය වූ රාවනා ටෙලි නාට්‍යයේ ප්‍රධාන සෙන්පතිනියට පණ පෙවු ප්‍රාර්ථනා සෙව්වන්දි වර්තමානයේ සිටින නවක ජනප්‍රිය රංගන ශිල්පිණියකි. නුදුරේම තවත් කලා නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටින ඇයට අපි අද සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා.

මෑතකදී දායක වුණ නිර්මාණ මොනවද ඔබගේ?

දිලුක ප්‍රසාද් ගුණතිලක අයියා අධ්‍යක්ෂණය කළ ටෙලි චිත්‍රපට දෙකක වැඩ කළා පසුගිය ටිකේ. ඒ දෙකම විකාශය වෙන්න තියෙන්නේ දෙරණ රූපවාහිනි නාළිකාවේ. ඊට අමතරව අපේ ජනකතා මාලාවට සම්බන්ධ වෙලා වැඩ කළා. ඉදිරියේදී විකාශය වෙන්න තව ටෙලි නාට්‍යය දෙකක් තියෙනවා මගේ. ඒ සංජය තුසිත මොරගල හා සංක ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ සඳුළු සේයා  හා ප්‍රියන්ත ෆර්නැන්ඩු අධ්‍යක්ෂණය කළ සුසුම් රස්තියාදුවේ කියන ටෙලි නාට්‍යය දෙක. ඒ දේකම පළමු අදියරයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට අවසන් කරලා තියෙන්නේ.  

ඉදිරියට එන්න තව නිර්මාණ මොනවද ඔබගේ තියෙන්නේ?

තවත් අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරිම් ආරම්භ කරනවා මේ මාසේදී. ඊට අමතරව තව ටෙලි නාට්‍යයක් සාකච්ඡා මට්ටමින් තියෙනවා. බොහෝ විට ඒ ටෙලි නාට්‍යයෙත් වැඩ ළඟඳීම පටන් ගනියි කියලා හිතනවා. ගීත රූප රචනා නම් කාලයකින් කළේ නැහැ. ඒත්, වෙනස්ම විදිහේ වැඩකට කතා කළා ළඟදී මට. ඒ වැඩේටත් අවධානය යොමු කරන්න හිතාගෙන ඉන්නවා මම.

ඔබ ප්‍රේක්ෂකයින් අතරට ගිය මුල්ම චරිතය මතකද?

ඔව්, දෙරණ නාළිකාවේ විකාශය වුණ තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කළ රාවණා ටෙලි නාට්‍යය හරහා. එහි මා රංගනයෙන් දායක වුණේ ප්‍රධාන සෙන්පතිණිය විදිහට. ගොඩක් ප්‍රේක්ෂකයෝ ඒ චරිතයට ආදරය කළා. ඒ වගේම යම් පිරිසක් මාව මුලින්ම අඳුන ගත්තෙත් ඔය කියන චරිතය හරහා තමයි. මේ චරිතය මට මෙතෙක් හම්බ වුණ අභියෝගත්ම චරිතයක් කිව්වොත් හරි. ඇත්තටම මට අත්දැකිමක් තිබුණේම නැහැ ඒ වගේ චරිතයක් කරන්නේ කොහොමද කියලාවත්. නමුත්, හැමෝගේම සහය මැද ඒ චරිතයට මට උපරිම සාධාරණය කරන්න පුළුවන්කම ලැබුණා.

ඔබ අද ඉන්න නවක පිරිස අතරේ ජනප්‍රිය චරිතයක් නේද?

ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් ටික කාලයක් වෙනවා මම. නමුත්, මම හිතන්නේ නැහැ මම ගොඩක් ජනප්‍රියයි කියලා. මොකද, මට දිගටම මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න ලැබුණේ නැහැ ඇත්තටම. හේතුව මම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්න කෙනෙක් නෙමෙයි. තෝරාගත් වැඩ ටිකක් විතරයි මම කරන්නේ. ඒ වුණාට මට හිතෙනවා මාව දන්න යම් පිරිසක් අද මා වටා ඉන්නවා කියලා. ඒ අයගේ ආදරය නිබඳවම මට ලැබෙනවා. මා දායක වෙන හැම නිර්මාණයකට හොඳ රසික ප්‍රතිචාර  මට ලැබෙනවා. ඉතින් මම හිතනවා මා යම් ජනප්‍රියත්වයක් අද වෙන කොට ගොඩ නගාගෙන තියෙනවා කියලා.

කලා ක්ෂේත්‍රයට ඔබ එන්නේ නිරූපිකාවක් විදිහට?

ඔව් මුලින්ම කළේ මනාලියක් ලෙස හැඩ වෙන එක. 2017 තමයි මුලින්ම නිරූපණ වැඩවලට සම්බන්ධ වුණේ. රඟපාන්න ආවේ එතකොට 2019 වසරේ. මේ වසර දෙක තුන තුළ මම නිර්මාණ අතලොස්සකට පමණයි දායක වුණේ. ඒ හින්දා රංගනය පැත්තෙන් කිව්වොත් තවමත් මම මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙලා නැහැ. කොටින්ම කියනවා නම් රංගනයේ මුල් අදියරයේ ඉන්න කෙනෙක් මම.

ඕනැම ක්ෂේත්‍රයක ඉදිරියට යන්න පුළුවන් හැදැරීමක් මත නේද?

ඔව්, මගේ ඊළඟ අරමුණ වෙලා තියෙන්නේ රංගනය ගැන ඉගෙන ගන්න එක. රඟපාද්දි ප්‍රවිණයෝ සමග නිතරම අපි රංගනය ගැන කතා කරනවා. ඒ වගේම තමයි ඔවුන් අපිටත් ඔවුන්ගේ දැනුම දෙනවා. නමුත්, රංගනය කියන දේ අද ඉගෙන ගෙන හෙට ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදාම මෙහි යමක් තියෙනවා ඉගෙන ගන්න. ඒ නිසා මම රංගනය ඉගෙන ගන්න පුළුවන් පාසලකට නුදුරේම සම්බන්ධ වෙන්න අදහස් කරමින් ඉන්නවා.

ක්ෂේත්‍රය තුළ ඉදිරියට එන්න අතදිපු අය මතකද?

මම කරපු හැම නිර්මාණයකම අධ්‍යක්ෂවරුන්ව මුලින්ම මතක් කරන්න කැමතිය. මගේ පවුලේ අම්මා, තාත්තා දෙන්නා තමයි මගේ මුළු ලෝකයම. ඒ අය තමයි මට ගොඩක් උදව් කරන්නේ. මම අද යම් තැනක ඉන්නවා නම් මට වඩා ඒ ගැන සතුටු වෙන්නේ මගේ අම්මායි තාත්තායි දෙන්නා. ඒ වගේම මාත් එක්ක වැඩ කරපු හැම කෙනාවමත් මේ වෙලාවේදී ඉතාමත් ආදරයෙන් මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර