ලොකු ලොකු හීන හිතේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“පාර දිගේ නාට්‍යයේ මම රඟාපන්නෙ රුවිනි අලුවිහාරේ නමින්. එයා රෙහාන් අලුවිහාරගෙ නංගි. අයියා හොරෙන් කරපු කසාද අල්ලා ගන්න අම්මයි මමයි උත්සාහ ගන්නවා. මේ චරිතය මට ලබා දුන්න පාර දිගේ නාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම, අධ්‍යක්ෂ සිවගුරුනාදන්, රචක සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා ඇතුළු පාර දිගේ කණ්ඩායමට මගේ ස්තුතිය පුද කරන්න කැමැතියි. පාර දිගේ නාට්‍යයට අමතරව මම රඟපාන්නේ සියත ටී.වී. එකේ විකාශය කෙරෙන රේස් නාට්‍යයේ. ඒකෙ මම රඟාපන්නේ ආයුර්වේද වෙද නෝනා කෙනකුගේ චරිතයක්. ඒ චරිතය මට අලුත්ම අත්දැකීමක්. ඒ වෙනුවෙන් මාව තෝරාගත්ත නිෂ්පාදක ගීතාංජන ද කොස්තා, තිර රචක උදය කංකානම්ගේ සහ අධ්‍යක්ෂ ධනුෂ්ක රේමන් යන මහත්වරුන්ට මගේ ස්තුතිය පුද කරන්න කැමැතියි.” 

“අයියෙ ඔයා කැමැති කවුරු හරි ඉන්නවා නම් ඒක මට හරි කියන්න. අපි ඒ ළමයා ගැන හොයලා බලලා කසාද බන්දලා දෙන්නම්.” පාර දිගේ නාට්‍යයේ ඒ විදිහට කියන රුවිනිගෙ සැබෑ නම මොකක් ද? 

“රන්චාගොඩ ආරච්චිගේ නිත්‍යා දේවින්දි. 

නිත්‍යා කියන්න ද? දේවින්දි කියන්න ද? 

“නිත්‍යා කියන්න. හැමෝම වගේ කතා කරන්නෙ මට නිත්‍යා කියලයි.” 

කවුද මේ නිත්‍යා?

“නිත්‍යා කියන්නෙ බොහොම සාමාන්‍ය, හරි සන්තෝෂයෙන් ඉන්න කැමැති කෙනෙක්.” 

නිත්‍යා කාගේ කවුද? 

“අපෙ අම්මගෙ දෙවැනි දුව. අම්මා ගෘහණියක්. අම්මගෙ නම නෙලිකා දේවින්දි. තාත්තාගෙ නම ලලිත් කුමාර. තාත්තා ජීවතුන් අතර නැහැ. පවුලේ අයියයි, නංගියි, මමයි විතරයි.” 

කලා අංශයට ආවේ කොතැනින් ද? 

“2019 දී දෙරණ අවුරුදු කුමරා සහ කුමරිය තරගයට ඉදිරිපත් වුණා. අන්තිම 12 අතරට ඇවිත් ඒ ඔස්සේ කලා අංශයට එන්න අවස්ථාව හිමි වුණා.” 

නිත්‍යාගෙ ගම? 

“ගාල්ලෙ අහංගම.”

ඉගෙන ගත්තෙ? 

“ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ අහංගම ශ්‍රී ධර්මාරාම විද්‍යාලයෙන්. පසුව උසස් පෙළට ගියේ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයට.”

ගමේ විස්තර, මතකයන් එහෙම මොනවා ද? 

“ලොකුවට කියන්න තරම් දේ නැහැ. ගමේදි එළියට බැහැලා යාළුවෝ ආශ්‍රය කළ චරිතයක් නෙවෙයි. අදත් බොහෝ විට එහෙමයි. ඒ කියන්නේ නිතර කෝල් කරමින්, මැසේජ් කරමින්, ඇවිදින යාළුවෝ සෙට් එකක් මට නැහැ. මගේ වැඩේ කරලා ඉක්මනට ගෙදර ඇවිත් ගෙදරට වෙලා වැඩිපුර කාලය ගත කරන්න කැමැතියි.” 

ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණක් ඇතිව ද? 

“ඒ කාලයේදී මගේ මූලික අරමුණ වුණේ නීතිඥවරියක වීමටයි. ඊට පසුව තාත්තාගෙ වියෝව එක්ක ඒ ගමන නතර වුණා. පසුව පවුලේ අයගේ උනන්දු කරවීම එක්ක තමයි අවුරුදු කුමරිය තරගයට ගියේ.”

අද නිත්‍යාගෙ වෘත්තිය? 

“රංගනය අද මගේ වෘත්තිය වෙලා. ඒත් එහෙමයි කියලා මම මහා වැඩ ගොඩක් එක්ක බිසී වෙච්ච කෙනෙක් නෙවෙයි. කොහොම වුණත් ඒ කාලයේ ඉඳලාම රඟපෑම කියන දේට ආසා කළ කෙනෙක්. ලැබෙන නිර්මාණවලට උපරිම දායකත්වය දෙන අතරේ වැඩ ගොඩක් එකට බදාගන්නත් මම කැමැති නැහැ. මුලින්ම රඟපෑවේ ‘මුතු ලෙන්දොර’ නාට්‍යයේ. මං රංගනයේ ගමන පටන් ගත්තෙ එතැතින්. එයින් පසුව යම්කිසි අස්ථාවර බවක් එක්ක ටික කාලයක් ගත කරන්න සිද්ධ වුණා. සෑම අඳුරු වළාවකම රිදී රේඛාවක් පායනවා වගේ නැවත මගේ රංගන ජීවිතය අලුත් වුණේ පාර දිගේ නාට්‍යය එක්ක. ඊට අමතරව සියතේ රේස් නාට්‍යයේ රඟපාන්න ලැබුණා. මේ දිනවල මේ චරිත දෙක එක්ක ජීවිතය හොඳින් ගත කරන බව කියන්න පුළුවන්.” 

පාර දිගේ රුවිනි අලුවිහාරේට ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද? 

“වෙලාවකට ප්‍රේක්ෂකයන් බණිනවා ඇයි රෙහාන් අලුවිහාරේගෙ ජීවිතේ බොහෝ දේට ඕනෑවට වඩා ඇඟිලි ගහන්නෙ කියලා.” 

නිත්‍යාගේ පුද්ගලික ජීවිතේ ගැන කිව්වොත්, දැන් ආදරවන්තියක් ද? 

“ඔව්. මම ආදරවන්තියක්.” 

ආදරේ දැනෙන විදිහ ගැනත් කියමු? 

“ආදරේ නැතුව ජීවිතේ ගලා යන්නෙ නැහැ. අවංකවම ආදරේ කරනවා නම් ආදරය හරිම සුන්දරයි. ඒත් බැලූ බැල්මට හතර වටේ පෙනෙන්නෙ දකින්නෙ ආදරය කියලා මිනිස්සු මවා ගත්ත දේවල්. ඒ ස්වභාවය එක්ක ඇත්ත වූ සැබෑ ආදරය සොයා ගන්න පුළුවනි. මම යම් කිසි දෙයක් පටන් ගත්තොත් ඊට අවංකවම කැප වෙලා, අවංකවම කරන කෙනෙක්. ආදරයේදීත් එහෙමයි. අවංකවම ආදරය කරනවා. මටත් අවංකවම ආදරය ලැබෙනවා. ඒ නිසා සතුටින් ඉන්නෙ.” 

නිත්‍යාට නිත්‍යා ගැන හිතෙන්නෙ කොහොම ද? 

“මට හිතෙන විදිහට මම හරි සරලයි. සමහරු නම් කියන්නෙ මම සරල වැඩියි කියලයි. අතට අහු වෙන දේ ඇඳ පැළඳ ගෙන හිටපු කෙනෙක් මම. ඕනෑවට වඩා විලාසිතා ගැන වද වූ කෙනෙක් නෙවෙයි. දැන් වුණත් එහෙමයි. ලොකු වෙනසක් වෙලා නැහැ. ලොකු ලොකු හීන මවාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි.” 

නිත්‍යා මියුසික්වලටත් දක්ෂයි නේද? 

“මුලින්ම මම පටන් ගත්තෙ මියුසික්වලින්. මට ගයන්න පුළුවනි. බොහෝ විට ගායනයට සම්බන්ධ වී කටයුතු කරනවා. රඟපෑමට ආවේ එක්තරා විදිහක අහම්බයකින්. රංගනය පාසලේදී එක්තරා විදිහක අහඹු ලෙස පටන් ගත්ත ගමනක් කිව්වොත් හරි.” 

ගායිකාවක් වීමේ සිහිනය ද තිබුණෙ? 

“ගායනයට දක්ෂ බව ගෙදර අය දැනගෙන සිටි නිසා එයාලා නිතරම මාව උනන්දු කෙළේ රියැලිටි ෂෝ වගේ අවස්ථාවලට සහභාගි වෙන්න කියලයි. ඒත් අන්තිමට පටන් ගත්තෙ අවුරුදු කුමරා කුමරිය තරගයෙන්. ඉන් පසුව මේ ගමන පටන් ගන්න ලැබුණෙ රංගනයෙන්.”

මේ හැර නිත්‍යා වඩා දක්ෂ? 

“ගෙදරදි මම වඩා දක්ෂ ප්‍රශ්න විසඳන්න. ගෙවල්වල පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවනේ. ඒ වගේ අවස්ථාවලදී ප්‍රශ්න විසඳන්න මම දක්ෂයි කියලා තමයි ගෙදර අය කියන්නේ. තාත්තා ලෙඩ වීම සහ පසුව නැති වීම එක්ක අපි බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. අද අපි සිටින තැනට එන්න අපි ඔක්කෝමලා ලොකු කැපවීමකින් කටයුතු කළා. මට, අයියාට හොඳට දරා ගැනීමේ ශක්තිය තියෙනවා. නංගි තවම පොඩියි. අපෙ අම්මා අපි හැමෝටම වඩා දරා ගැනීමේ ශක්තිය වැඩි චරිතයක්. මොන දේ හෝ වේවා ප්‍රශ්න විසඳීමේ හැකියාව මට තියෙනවා. ගෙදර දොර වැඩත් කරගන්න පුළුවන්. ඉවුම් පිහුම් කලාවේදී මගේම සිස්ටම් එකක් තියෙනවා. මම හදන මෂ්රූම් (හතු) ව්‍යංජනයට ගෙදර අය ආසයි.” 

නිත්‍යාගේ ජීවිතේ ස්පෙෂල් වූ තවත් දේ තියෙනවා ද? 

“මම හිතන විදිහට අපි එකිනෙකාට එකිනෙකාගේ දක්ෂතා තියෙනවා. මටත් මටම විශේෂ වූ ගති ස්වභාවයන් ඇති. මට මාව කොහොමටත් විශේෂයි. සෑම කෙනකුටම මුලින්ම තම-තමුන්ට තමුන්ව විශේෂ කරගන්න ඕනෑ. තමුන්ට ආදරය කරන්න ඕනෑ. එවිට සමාජයටත් ආදරය කරන චරිතයක් වේවි.”

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ