මේ පාලනය එළවන්න තරුණයෝ පාරට බැස්ස එක ඇත්තටම හොඳ දෙයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක් සේම පැජන්ට් ජයග්‍රාහිකාවක් තමයි ලක්මාලි මලදුගල කියන්නේ. රටේ ඇතිවී තිබෙන අර්බුද සහ වාතාවරණයන් පිළිබඳව ඇයගේ අදහස් සාරවිට සමග පවසා සිටියේ මෙලෙසින්.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

ලංකාවේ තිබෙන අර්බුදය හැම ක්ෂේත්‍රයටම බලපාලානේ තියෙන්නේ. අපේ ක්ෂේත්‍රයටත් ඒක බලපාලා තිබෙනවා. වැඩ කටයුතු ගොඩක් කල් ගිහින් තිබෙනවා. ඒ වගේම බජට් ප්‍රශ්නත් බලපානවානේ මේ අර්බුදය නිසා.

මිනිස්සු පාරට ඇවිත් කරන අරගලය ගැන මොකද හිතෙන්නේ?

මේ ආණ්ඩුව පත් කරන්නත් ගොඩක් මුල් වුණේ තරුණ අයනේ. මොකද ඔවුන් ලොකු බලාපොරොත්තුවක් ඇතුව ගෙනාවේ. මේ පාලකයෝ ඇවිත් ඒ තරුණයන්ගේ බලාපොරොත්තු නැති කරලාම දැම්මා. අපිත් බලාපොරොත්තු වුණා ලංකාව ඇතුළේ ලොකු වෙනසක් සිද්ධ වෙයි කියලා. අන්තිමට සිද්ධ වෙච්ච වෙනස තමයි මේ. මේ පාලනය එළවන්න තරුණයෝ පාරට බැස්ස එක ඇත්තටම හොඳ දෙයක්. ඉස්සර වගේ කට වහගෙන ඉන්න, දේශපාලකයන්ට බලයට යට වෙලා ඉන්න තැනක නෙවෙයි දැන් තරුණයෝ ඉන්නේ.

ගෝඨාගෝගමට යන්න ලැබුණාද?

ගියා. හැමදාම යන්න ලැබුණේ නැහැ. දවස් කිහිපයක් අපි ගියා. රටේ කලාකරුවන් සම්බන්ධ වුණු වැඩසටහන්වලටත් ගියා. පුළුවන් හැම දවසේම අරගලභූමියට යනවා.

ජනාධිපතියි අගමැතියි ඉවත් වුණාම හරි යයි කියලා හිතනවාද?

මම හිතන්නේ අපි 225ම ගෙදර යැව්වත් වැඩක් නැහැ ඉන් පස්සේ පත් වෙන්නේ හරි රට කරන්නේ කවුද හරි කියලා දන්නැතුව. මේ වෙලාවේ සුදුසු කෙනෙක් පේන්නත් නැහැ. මේ ඉන්න කට්ටියගෙන්ම කාවහරි තමයි අපිට පත්කරගන්න වෙන්නේ අකමැත්තෙන් හෝ. මොකද අපි වගේ අයට ගිහින් කරන්න බැහැනේ. මේ අවස්ථාවේදී අන්තර්වාර පාලනයකට වගේ යනවා නම් මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා.

මේ පාලකයන්ට මිනිස්සු විඳින දුක දැනෙන්නේ නැත්තේ ඇයි?

ආසියාතික රටවල තිබෙන ගතියක් ඕක. පාලකයනුත් එහෙමයි සාමාන්‍ය මිනිස්සුත් එහෙමයි. අපේ වගකීම අපි කරන්නේ නැති නිසා අපි හැමතිස්සේම පුරුදු වෙලා තියෙන්නේ අනිත් කෙනාට දොස් කියන එක. අපි අපෙන් පල්ලෙහා මිනිස්සු ගැන හිතනවාද?. ඒක අසියානු රටවල මිනිස්සුන්ගේ හැටියක්. පාලකයෝ බලන්නේ තමන්ගේ අවශ්‍යතාවය ගැන විතරයි. අපිත් එහෙමයි. අපි අපේ පවුල ගැන බලනවා මිසක් අනිත් අය ගැන බලන්නේ නැහැනේ. ඒකයි ගැටළුව. ඒ වගේම අපේ මිනිස්සුත් තමන්ගේ පල්ලෙහා ඉන්න මිනිස්සු ගැන හිතන්න ඕනේ. ඒක අපේ සංස්කෘතියේ අවුලක්.

ඒ කියන්නේ පාලකයන් වෙනස් කරනවා වගේම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නත් ඕනේ නේද?

අනිවාර්යෙන්. ලෝකේ රටවල් වෙනස් වුණේ එහෙමයි. කොරියාව වෙනස් වුණේ ඒ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුණේ එහෙමයි. අරගල කරද්දි එයාලා ෆෝකස් කළා එයාගේ අරමුණ මොකද්ද කියලා. ලංකාවේ අපි අරගල කළාට අපේ ෆෝකස් එකක් නැහැ. අපිට ෆෝකස් එකක් නැතිකම තමයි ලංකාව මේ තැනට වැටෙන්නත් ලොකුම හේතුව.

මේ අරගලය නිසා ජාති ආගම් බේද නැතුව මිනිස්සු එකතු වුණා. ඒක හොඳ දෙයක් නේද?

ඔව්. හැබැයි ඒක දිගටම තියෙන්න ඕනේ. එක අවස්ථාවකට විතරක් එකතු නොවී, අපේ අනාගතය ගැන හිතලා දිගටම මේ හැමෝම එකතු වෙලා ඉන්නවා නම් හොඳයි.

කැළුම් දේවින්ද