වීරයෙක් හැදෙන්න දුෂ්ටයෙක් ඉන්නම ඕනෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයට අලුතින් එකතු වන මුහුණු අතර මේ දිනවල ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් මෙවර සඳැල්ලට එකතු කරගත්තා. ඔහු නමින් දිනේෂ් නිලංක. 

• මේ දිනවල රංගන කටයුතු සිද්ධ වෙන්නේ කොහොම ද? 

“මේ දිනවල නීල පබළු, ධරණි ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඊට අමතරව ධවල රාක්ෂ, කවඩි කියන නිර්මාණවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා සංජය නිර්මාල් අධ්‍යක්ෂවරයාගේ. එය තිරගත වීමට නියමිතයි. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ ඉන්දියානු නිෂ්පාදනයක් ඔස්සේ කරන නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙනුවෙන් ලබන මාසෙදි විදෙස්ගත වෙන්න සූදානමින් ඉන්නවා. අලුත් වැඩ කටයුතු කිහිපයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒවා තමයි මේ දිනවල නිරත වෙන කලා කටයුතු.” 

• ඉන්දියානු නිෂ්පාදන වැඩ කටයුත්තකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා කිව්වනේ? මොකක් ද ඒ? 

“ඇත්තටම ඒක මට ජීවිතේට ලැබුණු විශේෂ අවස්ථාවක්. මගේ යාළුවෙක් හරහා ලැබුණු දෙයක්. මේ දේ වෙනුවෙන් මමත් ගොඩක් උත්සාහ කළා. මට ඉන්දියානු නිෂ්පාදනයක රංගනයෙක් දායක වෙන්න තියෙන්නේ ප්‍රධාන චරිතයක් නෙමෙයි, ආධුනික චරිතයක්. තවම ලැබෙන චරිතය ගැන විස්තර දන්නේ නැහැ. චරිතය පොඩි වුණත් ඇත්තටම මේ මට ලැබුණෙ ලොකු අවස්ථාවක්. ඒ දේ ගොඩක් වටිනවා. අලුත්ම අත්දැකීමක්. රූගත කිරීම් කරන්න තිබුණෙ ඉන්දියාවේ. නමුත් නිෂ්පාදන කාර්ය මණ්ඩලය එය ඩුබායිවල සිදු කරන්න තීරණය කරලා තියෙනවා. ලබන මාසෙ මම ඒ වෙනුවෙන් සම්බන්ධ වෙනවා.” 

• දිනේෂ්ගේ අරමුණ වුණේ රංගන ශිල්පියෙක් වෙන්න ද? 

“පුංචි කාලේ ඉඳන් ඇත්තටම ආසාවක් තිබුණා. නමුත් මගේ පවුලේ කිසිම කෙනෙක් රංගනයටවත් කලා ක්ෂේත්‍රයටවත් සම්බන්ධ නැහැ. ඉතින් අපිට මේක අලුත්ම අත්දැකීමක්. මම කවදා හරි රංගන ශිල්පියෙක් වෙනවා කියන දේ හිතේ තිබුණා. මම 2010 වසරේ තමයි ගමෙන් කොළඹට එන්නේ. මගේ ගම ගම්පොළ, නුවරඑළිය ප්‍රදේශයේ. ඉතින් ඒ ආවෙ මුලින්ම ගුවන් සේවකයෙක් විදිහට ඉගෙන ගන්න. නමුත් කොළඹට ආවම මම මුලින්ම කළේ නිරූපණය හදාරන එක. ඒ තුළින් තමයි මම කොළඹ ජීවත් වෙන්න ආදායමක් හොයා ගත්තේ. ඇත්තටම ඒ නිරූපණය හැදෑරීම තුළින් පෞරුෂත්වයත් ගොඩනැගෙනවනෙ. ඒ හැමදේමත් එක්ක මම නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩ කළා. එතැනින් පසුව රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තක් තිබුණා. ඉතින් මම අධ්‍යක්ෂවරු, නිෂ්පාදන ආයතන හොයාගෙන ගියා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ විදිහට කට්ට කාගෙන ඉද්දි මට මුලින්ම අවස්ථාවක් ලැබෙනවා සංජය නිර්මාල් අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. මම තිර පරීක්ෂණයකට කතා කළාම, මම සම්බන්ධ වුණත් මගේ දිහා බලලා මට යන්න කියනවා මාස 6කින් දැනුම් දීමක් කරන්නම් කියලා. නමුත් මාස 6ක් යනතුරුත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. 
ඉන් ටික කාලයකට පසුව ඔහු මට කතා කරලා කියනවා නාට්‍යයක් තියෙනවා සම්බන්ධ වෙන්න කියලා. ඒ තමයි ‘ප්‍රාණ’. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණේ 2017 වසරේ. ඒ තමයි මගේ පළමු රංගන අත්දැකීම.” 

• ඒ චරිතය ගැන කිව්වොත්? 

“නිර්මාන් කියලා චරිතයක්. ඔහු ගමින් කොළඹට ඇවිල්ලා බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙන්නෙ. කළු චරිතයක්. ඒ චරිතය කළාට පසුව මට නැවත කිසිම නාට්‍යයක් ලැබුණේ නැහැ. ඒ නිසාම මම විදෙස්ගත වෙන්න තීරණය කළා. අවුරුද්දකින් පස්සේ මම නැවත නිවාඩුවට ලංකාවට ආවා. ඒ ආවාම මට දැනගන්න ලැබුණා මම රංගනයෙන් දායක වුණු පළමු නාට්‍යයෙන් මගේ නම නැගී එන නළුවාට නිර්දේශ වෙලා තියෙනවා කියලා. මට ඒ සම්මානය නොලැබුණත් ජයග්‍රහණයක්. ඉතින් මම ඒ සම්මාන උළෙලට සම්බන්ධ වුණාම උළෙල අවසාන සාදයේදී මට සද්ධාමංගල සූරියබණ්ඩාර අධ්‍යක්ෂවරයාව මුණගැහෙනවා. ඔහු මගේ රංගනය ගැනත් කතා කරලා මාව ඔහුගේ ‘කෝටිපතියෝ’ නිර්මාණයට සම්බන්ධ කරගන්නවා. ඒ අහිංසක චරිතයක්. ඒ රංගනයත් එක්ක තමයි දිනේෂ් කියන කෙනා එළියට එන්නේ. ඉන් පසුව ටිකෙන් ටික විවිධ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.” 

• දැන් නම් පුංචි තිරයේ දුෂ්ටයා වෙලා නේද? 

“ඔව්. ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් දුෂ්ටයා ඇතුළෙ රඟපාන්න දෙයක් තියෙනවා. වීරයෙක් හැදෙන්න නම් දුෂ්ටයෙක් ඉන්න ඕනෑ. දුෂ්ටයා ප්‍රබල වෙන්න වෙන්න තමයි වීරයෙක් හැදෙන්නේ. දුෂ්ටයෙක් විදිහට එළියට එන්න අමාරුයි. මම ඇත්තටම එළියට ආවේ දුෂ්ටයෙක් විදිහට. පාවෙලා වළාකුළේ, ධරණි වගේ නාට්‍යවල රංගනයට මිනිස්සු මට හරියට බැන්නා. 
පාර තොටේ යද්දිත් බැනපු අය හිටියා. ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර දැක්කම තේරෙනවා මිනිස්සු ඒ නාට්‍ය තුළ ජීවත් වෙනවා කියලා. මොකද මේ නාට්‍ය දෙකේම මම කාන්තාවන්ට දුෂ්ටකම් කරන අවස්ථා තියෙන්නේ. ඉතින් සමහර මිනිස්සු මට සාප කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් වරදක් විදියට මම දකින්නේ නැහැ. නමුත් මිනිස්සු මාව පෞද්ගලික තරහකාරයෙක් ගානට දාලා තියෙනවා. මගෙත් එක්ක කතා කළාම හඳුනා ගත්තම තමයි ඒ ප්‍රතිරූපය වෙනස් වෙන්නේ.” 

• මේ දවස්වල නම් කාන්තාවකගෙන් ගුටි කනවනේ. ඇත්ත ජීවිතේ එහෙම ගුටි කාලා නැද්ද? 

“ඒ වගේ සිද්ධි නම් වෙලා නැහැ. නමුත් මටම තේරෙන්නේ නැහැ ඒ නපුරුකම් මට රංගනයෙන් කොහෙන් එනවා ද කියලා. නමුත් ඒවා තුළ රඟපාන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා.”

• නපුරු චරිත දිනේෂ්ට ලැබෙනවා ඇත්තේ ඇයි? 

“ඒක ඇත්තටම මටත් ප්‍රශ්නයක්. සමහර විට මගේ පෙනුම නිසා වෙන්නත් ඇති. කතාබහ කරන, හැසිරෙන විදිහ අනුව වෙන්නත් ඇති. නපුරු චරිත ලැබුණට මම ඇත්තටම නපුරු නැහැ.” 

• ඇත්ත ජීවිතේ කොයි වගේ කෙනෙක් ද? 

“ඇත්ත ජීවිතේ මම ටිකක් ගුප්තයි. ගොඩක් දේවල් එළියට දෙන්නේ නැති කෙනෙක්. හැමදේම විවෘතව කියන්නේ නැහැ. නමුත් මවාගත්ත දෙයක් නැහැ. සරළව ජීවත් වෙනවා. මට පුළුවන් හැම වෙලාවකම කෙනකුට උදව් කරනවා. ඒ වගේ චරිතයක්. යාළුවෝ ආශ්‍රය කරන්න කැමැතියි. තරහකාරයොත් නැති තරම්. මම පාසල් යන කාලෙදිවත් රණ්ඩවුකට පැටලිලා නැහැ.” 

• රංගනයෙන් ඉදිරියට යන්න ද බලාපොරොත්තුව? 

“ඇත්තටම රංගනය කියන්නේ පූජනීය දෙයක්. ඒ දේ හැමෝටම ලැබෙන්නෙත් නැහැනේ. ඉතින් මම මේ ක්ෂේත්‍රයට ආදරෙයි, කැමැතියි. මාව මේ වෙනුවෙන් සම්බන්ධ කරගන්නාතුරු මට පුළුවන් කාලයක් මම රංගනයෙන් දායක වෙනවා.” 

• අද මේ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ? 

“ගොඩක් සතුටුයි. මේ ජීවිතේ නොහිතපු දෙයක්. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ මගේ අම්මා, තාත්තා දෙන්නම ජීවිතේ මට ඕනෑ දේ කරන්න නිදහස දුන්නා. මාව විශ්වාස කළා. 2010 මම කොළඹට එද්දි මූ මේ කොහෙද යන්නේ, මොකක්ද කරන්නේ කියන දේ හැමෝටම ප්‍රශ්නයක් වෙද්දි ඒක මගේ අම්මාට තාත්තාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒකත් මම ලබපු ලොකු ජයග්‍රහණයක්.”

• දිනේෂ්ට ගෙදර ඉන්නේ කවුද?

“මට ගෙදර ඉන්නේ අක්කයි, නංගියි. ඉතින් මට විවේකයක් ලැබුණ ගමන් ගෙදර අයව බලන්න ගෙදර යන්න තමයි කැමැති. දැන් නම් ගෙදර යන්න අවස්ථාවක් වැඩිපුර ලැබෙන්නේ නැහැ. නමුත් කොරෝනා කාලේ මට ගෙදර අයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න ලැබුණා. ඒ කාලය මාරම සුන්දරයි. මොකද මාස තුන හතරකට වගේ ගෙදරට යන්න ලැබුණු මට වැඩිපුර කාලයක් ගෙදර ඉන්න ලැබුණ නිසා. ඇත්තටම ඒ ව්‍යසනයක්. අපි ඒ වගේ දෙයක් කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් ඒ කාලය තුළ මිනිසුන්ට තමන්ගේ පවුලත් එක්ක එකට එකතු වෙලා, කාලා බීලා, දුක සැප බෙදාගෙන ළඟින් ඉන්න ලැබුණා. ඒ දේ වචනෙත් විස්තර කරන්න බැරි ශක්තිමත් බැඳීමක්. ඒ සුන්දරත්වය පසුගිය කාලේ මිනිස්සු අත්වින්දා.” 

ධනු විජේරත්න