සුනිල යාමය එල්.පී. තැටි යුගලයකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ ගී ඇතුළත් එල්.පී. තැටි යුගලයක් ඉකුත් දා නිකුත් විය. තැටිය කැසට් පටය සී.ඩී. පටයෙන් අනතුරුව යළිත් පැමිණි එල්.පී. තැටිය පිළිබඳව විමසන්නට ම සුනිලුන්ට කතා කළෙමි. 

සුනිල් අයියා, මොකක්ද මේ එල්.පී. තැටි කියන්නේ?

එල්.පී. කියන්නේ ලෝන්ග් ප්ලේ කියන එක ඉස්සරම කාලේ තිබුණේ ග්‍රැමර්පෝන් තැටි. මේත් ඒ තැටිමයි. හැබැයි මේ අලුත් එල්.පී. තැටි වාදනය කරන්න වෙනම යන්ත්‍ර වර්ගයක් තියෙනවා. ඒ යන්ත්‍රය හඳුන්වන්නෙ වයනර් කියලා. අනික් කාරෙණේ මේ තැටි සී.ඩී. තැටිය වගේ නෙමෙයි. බොහොම කල් සුරක්ෂිතව පවතිනවා. අවුරුදු සීයක් විතර කාලයක් සුරැකිව පවතිනවා. ඒ  වගේම  තමයි මේ තැටියකින් ගීතයක් අහනකොට කනට හරිම මිහිරියි. ඉතාම සියුම් හඬවල් පවා අපූරුවට ඇහෙනවා. ඒ නිසා සංගීත ලෝලීන් මේ එල්.පී. තැටි මිලට ගන්නට පුරුදු වෙලා ඉන්නවා. 

නමුත් තවමත් මේ එල්.පී. තැටිය ලංකාවෙ ජනප්‍රිය නැහැ නේද?

මං හිතනවා, ඉදිරියේදී අදට වඩා වැඩියෙන් මේ තැටි ජනප්‍රිය වෙයි කියලා. මොකද අද සංගීත ලෝලීන් ඉන්නවා ඉතා සියුම් විදිහට ගී ශ්‍රවණය කරන. අනිත් දේ මේ වෙද්දි ප්‍රසංග නැවතිලා. ඒකත් මේ තැටිවලට ඉල්ලුමක් ඇතිවෙන්න හේතුවක් විදිහට මම දකිනවා.
මේ තැටි නිෂ්පාදනය කිරීම වියදම් සහිත වැඩක් වෙන්නැති.
අපොයි ඔව් මේ තැටි දෙකක වටිනාකම රුපියල් පහළොස් දහසක් විතර වෙනවා. ඒ නිසා මේ තැටි වලින් මම නම් කිසිම ලාභයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් අවුරුදු පනහක්  පිරුණු සංගීත ජීවිතයේ සුවිශේෂ සිහිවටනයක් විදිහට මේ තැටි යුගලය මට බොහොම වටිනවා.

එතකොට මේ තැටි යුගලයට ගීත තෝරගත්තෙ කොහොමද? ගෙවුණු පනස් වසර  තුළ ඔබ ගීත දහසකට වඩා ගයා අැති. ඒ අතරින් සියයකටත් වඩා අතිශයින්ම ජනප්‍රිය ගීතත් ඇති?

2019 මාර්තු 3 වෙනිදා කොළඹ බී.එම්.අයි.සී.එච්. එකේ පැවැත්වුවා සුනිල යාමය කියලා ප්‍රසංගයක්. මේ ප්‍රසංගයේ මම වගේම මගේ පුතා සංඛත් මගේ දුව සංඛනීත් ගී ගායනා කළා. එදා ඒ දෙන්නා ගායනා කළෙත් මා පෙර ගැයූ ගී... ඒ වගේම මේ ගී අතර කෙටි සංවාද එහෙමත් ඇතුළත් වුණා. වෙනස්ම වින්දනයක් එක්ක ගලාගිය ප්‍රසංගයක්... මෙන්න මේ ප්‍රසංගය තමයි මේ එල්.පී. තැටි දෙකේ ඇතුළත් වෙන්නෙ. ඒ වගේ හුඟක් ප්‍රසංග සී.ඩී. වලට ඩී.වී.ඩී. වලට නගල රසිකයන්ට ලබා දෙනවනෙ. මේකත් ඒ වගේ වැඩක් තමයි. හැබැයි ශ්‍රව්‍ය මාධ්‍යයන් විතරයි.

මේ තැටි යුගලයේ එන ගීයක් දෙකක් මතක් කළොත්?

නිදුකානනේ, දෙවෙනි බුදුන්, ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්, අලුත් වැස්සක්, ලෝකයක් නසන්නට, හිසේ ගිනි ඇවිලෙතේ, කඳුළු දෙන්න මට අඬන්න, කැලෑ මල් පිපේ... ඇතුළුව ජනප්‍රිය ගීත දහසයක්.

ශකුවි

20210419Sunil-1