යුද්ධයෙන් බැට කෑ 'මාවිල් ආරු අමුණ'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200421mavilaru-2

‘මාවිල් ආරු අමුණ’ නම ඇහෙනවිටම කාලයාගේ ඇවෑමෙන් අප සිත යට සැඟවී තිබෙන භයංකාර මතකයන් රැසක් මතුවනවා. ඒ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් 2006 වසරේදී මාවිල් ආරු අමුණ වසා දමා ඉන් ගොවිතැන් කළ ගොවීන්ව මහත් අපහසුතාවයකට පත් කරමින් යුද්ධය ඇරඹූ සැටියි. යුද්ධය නිමා වී දැනට වසර එකොළහකට ආසන්නයි. ඉතින් වසර එකොළහකට පසු මාවිල් ආරු අමුණ බලන්නට පසුගිය දිනෙක අප ගියා.

අපේ ඡායාරූප ශිල්පියා වන සුපුන් උදයංගගේ ගම වන්නේ සේරුනුවර. ඉතින් ඔහුට යුද්ධයේ භයංකාර අත්දැකීම් රැසක් තිබෙනවා. පසුගිය දිනෙක අප ඔවුන්ගේ ගමට ගියේ මාවිල් ආරු අමුණ ගැනත් ඔයාලාට විස්තර රැසක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන්. ත්‍රිකුණාමලය සංචාරයක නිරත වනවා නම් කන්තලෙන් හැරිලා සේරුනුවර පාරේ ආවාම මාවිල් ආරු අමුණට සමීප වෙන්න පුළුවන්.

මේ පළාතේ ගම්මාන රැසකම ගම්මුන්ගේ ප්‍රධාන වෘත්තීය වන්නේ කෘෂිකර්මාන්තයයි. බොහෝ දෙනෙකු මෙහි වී වගාව මහා පරිමාණයෙන් සිදු කරන නිසා ලංකාවේ ආර්ථිකයට සහල් විශාල ප්‍රමාණයක් ලබාදෙන්නේ ත්‍රිකුණාමලය ගොවීන්. එම නිසා මාවිල් ආරු අමුණ කියන්නේ මෙම ගොවීන්ගේ ප්‍රධාන ජල මාර්ගයයි. මාවිල් ආරු අමුණෙන් කුඹුරු අක්කර 28000කට යල මහ දෙකන්නයේදීම අවශ්‍ය කරන ජලය ගොවිතැන් සඳහා ලබාදෙනවා. මූතූර් ප්‍රදේශයේ පටන් සේරුනුවර, සේරුවාවිල, සූරියපුර ඇතුළු ප්‍රදේශ රැසක ගොවියෝ මාවිල් ආරු අමුණෙන් ලැබෙන ජලයෙන් තමයි ගොවිතැන් කරන්නේ. මෙම අක්කර 28000ම සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජාතීන්වල ගොවීන් සහයෝගයෙන් ගොවිතැන් කරනවා. ගොවිතැනට අවශ්‍ය ජලය වගේම මාවිල් ආරුවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයටද විශාල දායකත්වයක් ලබා දෙනවා.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මාවිල් ආරු අමුණ වසා දමා සියතට එහි පාලන බලය ලබා ගැනීමත් සමඟම වර්ගවාදයකින් තොරව ගොවීන් සියළු දෙනාම මහත් දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. යුද්ධයට දොර විවෘත වීමත් සමඟ නිසංසල මාවිල් ආරු අමුණ යුද්ධයේ රුදුරු වෙඩි හඬින් පිරී යනවා. කෙසේ වෙතත් දීර්ඝ සහ දරුණු යුධ මෙහෙයුමකින් අනතුරුව මාවිල් ආරු අමුණ සියතට ගැනීමට යුධ හමුදාව සමත් වන අතර ඉන්පසුව ගොවීන්ට ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගැනීමට හැකිවනවා.

මාවිල් ආරු අමුණ වටපිටාවේ ගම්මාන එකල මායිම් ගම්මාන හෙවත් එල්.ටී.ටී.ඊ පාලනය යටතේ තිබුණු ගම්මාන ලෙසයි වර්ග කර තිබෙන්නේ. යුද්ධයේ අහිමිරි නීරස අත්දැකීම් ඇති තරුණ වැඩිහිටියන් අදටත් ඒ පිළිබඳව කතා කරන්නේ අතිවිශාල දුකකින්. එකල ඔවුන් විඳි දුක්ගැහැට, භය, සැක සංකා ඇති කතා රැසක් ඔවුන් සතුව තිබෙනවා.

අමුණ වටා ඇති හරිත වර්ණ ප්‍රදේශවල විවිධ කුරුළු විශේෂ රැසක් වාසය කරනවා. ඒ වගේම නිදහසේ සැරිසරන ගවයන්, අලි ඇතුන් මාවිල් ආරුව හැඩකරන්නේ ඕනෑම අයෙකුගේ සිතේ නොමැකෙන චිත්‍රයක් නිර්මාණය කරමින්. මේ වනවිට අමුණේ විශාල සංවර්ධන කටයුතු රැසක් සිදුවෙමින් පවතිනවා. එම සංවර්ධන කටයුතු එහි සුන්දරත්වයට, පරිසර පද්ධතීන්ට, සත්ත්වයින්ට හානිදායක නොවන ආකාරයට සිදුවීමත් කිව යුතු කාරණයක්. ඔබ ත්‍රිකාණාමලයේ සංචාරයක යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම යා යුතු ස්ථානයක් විදිහට මාවිල් ආරු අමුණ හඳුන්වන්න පුළුවන්.

කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

20200421mavilaru-1 20200421mavilaru-3 20200421mavilaru-4 20200421mavilaru-5 20200421mavilaru-6 20200421mavilaru-7 20200421mavilaru-8 20200421mavilaru-9 20200421mavilaru-10 20200421mavilaru-11