හිටු කියලා වතුරට බැස්සොත් මළගෙයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රොඩ්නි.. මොනවද මේ දවස්වල  තොරතුරු?

මේ දවස්වල ජාතික රූපවාහිනියේ බයිලා සාදය කියලා වැඩසටහනක් කරනවා. ඊට අමතරව ගීත කිහිපයක් පටිගත කිරීම් කරන ගමන් තමයි මේ දවස්වල ඉන්නෙ. මොකද වේදිකා නාට්‍ය එහෙම මේ දවස්වල කරන්න බැහැනෙ කොරෝනා ප්‍රශ්න නිසා.

රොඩ්නි.. Travel කරන එක ඔබ පුරුද්දක් විදිහට කරනවද?

මෙහෙමයි. ඒක මට මගේ තාත්තාගෙන් හුරුවෙච්ච පුරුද්දක්. අපි පුංචි කාලේ අපේ තාත්තා මාවයි මල්ලිවයි ඇවිදින්න එක්ක යනවා. අපේ තාත්තා රජයේ රුකියාව කරපු නිසා තාත්තාට දුම්රිය ගමන්වලට එහෙම පාස් තිබුණා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට travel කරනවා. ඒ විතරක් නෙවෙයි.. මම පුංචි කාලේ මුල්ම වතාවට තාත්තා අපිව ගුවන් සංචාරයකුත් එක්කගෙන ගියා. අපිව රත්මලානේ ඉඳන් උහුන ගුවන් තොටුපොළට ගිහිල්ලා අම්පාරේ එක්කගෙන ගියා. මම හිතන්නේ එතකොට මම පාසලේ පස්වැනි පන්තියෙද කොහෙද.. එදා අපේ තාත්තාගෙන් හුරුවෙච්ච ඒ පුරුද්ද අදටත් අපි ගොඩක් වෙලාවට පුරුද්දක් විදිහට කරනවා.

ඔබ ඒ ඇවිදින්න ගිය තැන්වලින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවද?

මම ලෝකෙන්ම ගිය වටිනා ගමනක් හැටියට කියන්න පුළුවන් ගමනක් තියෙනවා. ඒ තමයි කොළඹ ඉඳලා බදුල්ලට යන දුම්රිය ගමන. 

ඇයි ඔබ එච්චරටම කොළඹ ඉඳන් බදුල්ලට යන ගමනට ආසාවක් දක්වන්නෙ?

ඒකට හේතුව තමයි අඹ ගෙඩියක් වගේ පුංචි රට ඇතුළේ කොළඹින් දුම්රියට නැග්ගාම බදුල්ලට යන ඒ ගමන අතරතුර පරිසරය පුදුම අලංකාරයි. ඒ අලංකාරය මට කියලා නිම කරන්න බැහැ. මොකද මම විදෙස් සංචාරත් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පිටරටත් දුම්රිය ගමන් ගිහිල්ලා තියෙනවා. ඒවා ලස්සනයි. හැබැයි ඒ සියල්ලම පරදිනවා මේ ලංකාවේ තියෙන බදුල්ලට යන ගමන. හැබැයි මේ ගමන දුම්රියෙන් යන තරමට තමයි ලස්සන තියෙන්නෙ. මේ ගමන මගේ හිතට දැනෙන්න තවත් හේතුවක් තමයි මේ පුංචි රට ඇතුළේ දේශගුණ කලාප කීයක් අපිට මේ ගමනෙදි පහුකරන්න පුළුවන්ද.. ඒ වගේම විවිධ පරිසර පද්ධති කීයක් පහුකරන්න පුළුවන්ද.. කොළඹ ඉඳන් ගම්පහට එක දේශගුණයක්, ගම්පහ ඉඳන් පොල්ගහවෙලට තව එකක්, පොල්ගහවෙල ඉඳන් ගම්පොළ දිහාට තව එකක්. ඉතින් ඔය වගේ හේතු ගොඩක් තියෙන නිසා තමයි මම කොළඹ ඉඳන් බදුල්ලට දුම්රියේ යන ගමනට එච්චර ආසා කරන්නෙ. ඒ විතරක් නෙවෙයි.. දියඇලි, කඳුගැටි, බිංගෙවල් කොච්චර තියෙනවද? හරියටම මුළු විශ්වයම එක පාර පේනවා වගේ මේ ගමනේදි මට හිතෙන්නෙ.

මේ වගේ ගමනක් යෑමට පෙර ඔබ කොහොමද සැලසුම් කරන්නෙ?

මගේ පළවෙනි සැලසුම තමයි ගමන යෑමට පෙර දුම්රිය වෙන්කරවා ගැනීම. ඒකට මට උදව් කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන මගේ හිතවතුන් කිහිප දෙනෙක් ඉන්නවා. අපි මේ ගමන යද්දි බොහෝ වෙලාවට නැරඹුම් මැදිරිය තමයි වෙන්කරවා ගන්නෙ. මොකද.. නැරඹුම් මැදිරියේ යනකොට තමයි මේ ගමනේ සුන්දරත්වය හොඳටම තියෙන්නෙ. තව දෙයක් තමයි අපිට බදුල්ලේ ගිහින් නවතින්න තැනක් හොයාගන්න එක. ඒකත් මම ගමන යන්න කලින් වෙන්කරවා ගන්නවා. සමහර වෙලාවට අපිව අඳුරන නිසාද දන්නෙ නෑ.. වෙන අයට නොලැබෙන අවස්ථා අපිට හම්බවෙනවා. දුම්රියේ එන්ජින් එකේ යන්න.. තව ගාඩ් මහත්වරු සහ රියැදුරු මහත්වරු සමඟ දැනුම බෙදාගන්න වගේ දේවලුත් අපිට ලැබෙනවා. ඔය විදිහට තමයි මේ ගමන යෑමට පෙර මම ලෑස්ති වෙන්නෙ.

රොඩ්නි... ඔබ බදුල්ල වගේ ගමනක් යන්න වැඩිපුර කැමති කා සමඟද?

මම පළමුවටම කැමති මගේ බිරිඳයි දරුවන් එක්ක යන්නයි. හුඟාක් වෙලාවට අපිට හිතවත් සමීප පවුල් දෙක තුනක් එකතු කරගෙන තමයි මේ ගමන යන්නෙ.

ඔබ දැකලා ඇති සමහර මිනිස්සු මේ වගේ ගමනක් යනකොට ඒ ගමන ඇස් දෙකෙන් විඳින්නෙ නැතිව ඡායාරූපවලින් විතරක් විඳිනවා. ඔබ ඒ ක්‍රියාවලිය දකින්නෙ කොහොමද?

අද කාලේ තාක්ෂණය කියන එක හරි දියුණුයි. කැමරාව කියන එක තමන්ගේ සාක්කුවෙනෙ තියෙන්නෙ. එතකොට ඒ යන ගමනේ මතක සටහන් විදිහට ඡායාරෑප ගන්න එක නරක දෙයක් නෙවෙයි. සමහරු එයාලා යන තැන ගැන කිසිම දැනුමක් ගන්නෙ නැතිව ඡායාරූප විතරක් අරගෙන එන අය ඉන්නවා. එහෙම කරන්නෙ නැතිව අපි යන තැන ඇස් දෙකෙන් විඳලා දැනුමක් අරගෙන ඡායාරෑපයක් ගත්තාට කමක් නෑ කියන එකයි මම කියන්නෙ. තව දෙයක් තමයි ලංකාවේ පුරුද්දක් හැටියට travel කිරීම ලොකු දෙයක් වෙලා නෑ. ජීවිතේ වෙනසකට වගේ කොහේ හරි ගිහිල්ලා දවස් දෙක තුනක් ගත කරලා එන එකයි කරන්නේ. ගමන අවසානයේ බලනකොට වැඩිපුර ඉඳලා තියෙන්නේ බස් එකේමයි. බලපු තැන් බොහොම ටිකයි. මම කියන්නම ඕනෙ දෙයක් තියෙනවා.. අපේ මිනිසුන්ට ගමනක් යනකොට වතුර වළක් පේන්න බැහැ.. නාන්නමයි බලන්නෙ. නෑවට කමක් නෑ පරිස්සම් තැනකින්. නැත්නම් වෙන්නෙ අපි විනෝදෙන් යන ගමන මළගෙයක් වෙන එකයි. මේ ළඟදි අපි පවුලේ කට්ටිය පින්නවල ගියා. අලි බලලා අපි කට්ටියම නාන්න ගියා. මම කිව්වා ඔක්කොටම කලින් ඔහොම ඉන්න මම බැහැලා බලන්නම් කියලා. මොනවා හරි දෙයක් වුණොත් මටනෙ. ඊටපස්සෙ මම බැහැලා ටිකක් වතුරේ ඇවිදිනකොට වතුර යට බෝතල් කටු. වතුර පුරාම ඒවා නිකම් කඩු කිනිසි වගේ. මගේ වෙලාවට මට කිසිම තුවාලයක් වුණේ නෑ. බැරි වෙලාවත් අපේ දරුපැටව් ටික බැහැලා නාන්න ගියානම් අපිට වෙන්නෙ නාන්න නෙවෙයි ළඟම තියෙන රෝහලට යන්නයි. ඉතින් මෙන්න මේ වගේ අපිට තියෙන ලස්සන තැන් කුරිරු විදිහට විනාශ කරලා කාලකන්නි සතුටක් ලබන තරුණ පිරිස් සහ වැඩිහිටියොත් ඉන්නවා. අන්න ඒ වගේ දේවලුත් නොකර යන තැන ගැන හොඳ දැනුමක් ඇතිව travel කරනවානම් හොඳයි කියලයි මම සියලු දෙනාටම කියන්නෙ.

රොඩ්නි.. අනාගතයේදී ඔබ යන්න ආසා කරන තැනක් තියෙනවද?

ලංකාවේ ගොඩක් තැන් තියෙනවා මම ඇහැටවත් දැකලා නැති. ඒ අතරින් මම ආසා කරන පැත්තක් තියෙනවා. ඒ තමයි අම්පාර, මොණරාගල පැත්ත. විශේෂයෙන් මොණරාගල පැත්තේ බැලිය යුතු තැන් ගොඩක් තියෙනවා. අන්න ඒ තැන් බලන්න යන්න තමයි මම ආසා කරන්නෙ.

Travel කරනවා කියන දේ ඔබ දකින්නෙ කොහොමද?

සංචාරය කරනවා කියන්නේ ඇත්තටම ලෝකය ගැන දැනගැනීමයි. අපිට ලැබිලා තියෙන මේ භූමිය ඉතා විශාලයි. අපි ජීවත්වෙන කාලය තුරාවට වැඩිපුර ලෝකය දැකගන්න පුළුවන්නම් ඒක කොච්චර වටිනවද.. ඒකට හොඳම දේ තමයි සංචාරය කියන දේ. හැබැයි ඒක අපිට අපේ උරුමයෙන්ම හිමිවුණු දෙයක් නෙවෙයි. අපි හුඟාක් වෙලාවට ගෙදරට වෙලා ගෙම්බෝ වගේ කෑවා බීවා, නිදාගත්තා, රැකියාවට ගියා. පල්ලියට පන්සලට ගියා. ගෙදර හිටියා. එච්චරයිනෙ. එහෙම නැතිව අපි මෙතනින් එළියට ගියොත් අපි සංචාරය කරන තරමටම ලැබෙන දැනුම අපිව පොහොසත් කරනවා. අනිත් මිනිස්සුත් එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්න. ඒකට හොඳම උදාහරණය තමයි විදේශිකයන් ලංකාවට ආවාම ඒගොල්ලො අපිත් එක්ක කොයි තරම් ඇල්මක් දක්වන්න කැමතිද.. අන්න ඒ නිසයි මම කියන්නෙ travel කරන එකෙන් අපිට හොඳ දැනුමක් සහිත පොහොසත් මිනිස්සු කරනවා කියලා.

 

සේයාරූ I සුමුදු හේවාපතිරණ

 

20210405Rodny-1