ඇවිදින මං තීරුවේ සුන්දර ගමනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පරිසරය සුවපත් වෙලා

මිනිස් ක්‍රියාකාරකම් අඩුවෙන තරමට පරිසරය සුවපත් වෙනවා.

පපුව පිරෙන්න පිරිසුදු ඔක්සිජන් ටිකක් ආශ්වාස කරනකොට ගතට දැනෙන්නේ සනීපයක්. ​ඔය සිපගෙන හමන සුළං රැල්ලක තියෙන්නේ පුදුමාකාර සනීපයක්.... මිහිරක්.

මම මේ ඇවිදගෙන යන්නේ ලංකාවේ පළමුවැනි සුවතා පෙත් මගේ. ඒ කියන්නේ ඇවිදින මං තීරුවේ. ඒත් කාගෙ කාගෙත් කටවල්වලට හුරු වචනෙ වෝකින් පාක්.

ගම්පහ ඔරුතොට ඌරුවල් ඔය බන්ට් එක දිගේ කිලෝමීටර් තුනක් දිගට හදපු මේ මං තීරුව අද වෙනදාට වැඩියෙන් සුන්දරයි. හේතුව මං තීරුව දෙපැත්තෙ හිටවල තිබුණු පස් අද අඩි විස්සක් තිහක් තරමට උස ගිහින් මං තීරුවට හෙවන ගෙන එන නිසා.

බක්මී මලක සුවඳක් නහයට දැනුණා පසුගිය සිංහල අවුරුද්දට දවස් දෙක තුනකට කලින් බක්මී ගස් මලින් පිරුණා. සුවඳ බඹ ගණනක් ඈතට දැනුණා. මී මැස්සෝ ගුම් ගුම් ගාගෙන බක් මී මල් වටේට කැරකුණු හැටි මට මතකයි.

බක් මී මල් මේ තරමටම සුවඳ කියලා මං එදා කල්පනා කළා. මුළු බක් මී ගහ කහ පාට බෝල බල්බ්වලින් සරසලා වගේ පෙනුණා.

වෙසක් එකටත් මේ වගේම මල් පිපෙයි.

මම එදා හිතුවා.

ඒත් වෙසක් පෝයට පිපිලා තියන්නේ බක් මී මල් දහයක් පහළොවක් විතර සුළු සංඛ්‍යාවක්.

ඔය පැත්තෙ උණ පඳුරු - කොළ උණ, කහ උණ, මේ උණ පඳුරුවල හීනි කොළ සුළඟෙ පොපියන කොට මතුවන්නෙ සර සර හඬක්. ඒක සංගීතයක් වගේ. පැත්තක බංකුවකින් වාඩිවෙලා මේ උණ කොළවල සර සරයට කන්දීගෙන ඉන්නකොට හිත පිරෙනවා.

මට කියන්න අමතක වුණා. ඇවිදින මං තිරුවෙ අනිත් පැත්තෙ තියෙන්නේ වෙල්යායක්. ඒ ඉවුර දිගටම එක එක වර්ගවල ගස්. වැඩියෙන්ම තියෙන්නෙ කුඹුක් ගස්.

පාර මැද්දෙ හිටිය කොරවක්කෙක් කුරුටු පුවක් ගාගෙන වෙලට පැන්නා. උසට උසේ හැදුණු බෙරු අතරෙ කොරවක්කන්ගෙ ගෙවල් ඇති. පුංචි පැටව් එහෙමත් ඇති. ඌ තවමත් කුරුටු පුවා....ක් කියනවා.

ඔය අයිනෙ විවේකය ගත කරපු කබරගොයා ඔයට පැන්නා. ඌ ඔය දිගේ පීනගෙන යන හැටි මම බලාගෙන උන්නා. කබර ගොයා කියන්නෙ උභය ජීවියෙක්. දිය ගොඩ දෙකේම ජීවත් වෙන්න පුළුවන්. පුංචි කාලෙ කියපු කතා පොතක තිබුණා කිඹුලගෙ මල්ලි කෙනෙක් කියලා.

අන්න ඇහැල ගහක්.

වෙසක් පෝයට කහ ඇඳගෙන මුළු ගහම මල්වලින් වැහිලා. මල් පොකුරු පොකුරු පහළට වැක්කෙරෙනවා. අලුතින් පිපෙන මල්වල තද කහ පැහැයක් තිබුණට ​මොකද දවසක් විතර පහුවෙනකොට මලේ කහ පාට අඩුවෙලා. වැස්සට හේදුනා වෙන්න බෑ. මොකද දවස් දෙක තුනකින් වැස්සෙ නෑ. එහෙම නම් අව්වට පිච්චෙන්න ඇති.

මලේ පාට නොසේදීම පුදුමයක් තමයි කියල කරුණාරත්න දිවුල්ගනේ කියන්නෙ බොරුද මන්දා. දවසක් පරණ වෙනකොට ඇහැල මල් කහපාට හේදිලා හෙට වෙනකොට ඒ මල් පෙති බිම තියේවි. ඊයෙ පෙරේදා පරවුණු මන් පෙති බිම වැටිලා කහ පලසක් වගේ.

ඒව පාගනවද නැද්ද කියල හිතන්න ගියේ නෑ.

ඒත් මට මතක් වුණේ කැලණිය විශ්වවිද්‍යාලෙ ලස්සන කළ ඇහැල මල්.

අරලිය, ඇහැල ගස්වල පිපුණු මල් අද පරවෙලා.

ශෂිකා නිසංසලාගෙ කැලණි සරසවි ප්‍රේම ගීතයෙ වචන මට මතක් වෙනවා.

ආයෙමත් හුළං රැල්ලක් හමාගෙන එන්නෙ ගතේ දාහය නිවාදාන්න වගේ.

මයිනෙක් පාර මැද්දෙ ඉඳලා ගහකට ඉගිලුණා. ඒ ළඟම හිටිය පුංචි පිළිහුඩු පැටියෙක් ඔය පැත්තට ඉගිලුණා. ඊළඟට ඌ වැහුවෙ ඔයට බරවෙලා තිබුණු මැයි ගහක අත්තක. ඒ අත්ත හැමදාමත් දියකාවුන්ගෙ නවාතැන්පලක්. උදේ නවයත් දහයත් අතරෙදි දියකාවො පස් හය දෙනෙක් මේ අත්තෙ ලැගුම් ගන්නවාමයි. මං හිතන්නෙ උදේ ආහාර වේලට මාළු හතර පස් දෙනෙක්  ගිලදාල ඉවරවෙලයි ඔය ගිමන් නිවන්නෙ. ටික වේලාවක් මේ දියකාවුන් දිහාවෙත් බලා ඉඳලා ආයෙමත් ඉස්සරහට ඇවිදගෙන ගියා.

ඔයෙත් දියකාවො වගයක් පීනන හැටි දැක්කෙ එතකොට. ඒ ගොල්ලො තවමත් උදේ ආහාර වේල අංගසම්පූර්ණ කරල නැහැ වගේ. අපි ඇවිදගෙන එනව දැකලද කොහෙද ඒ දියකාවො ඔය උඩට පැනලා වතුරෙ ගෑවී නොගැවී ඉස්සරහට ඉගිල්ලීගෙන ගියා. හැබැයි ටික දුරයි. ආයෙමත් වතුරට බැහැලා පාවි පාවී ඉන්නවා.

එක දියකාවෙක් එක පාරටම ඔයේ ගිලුනා. එතැන සුලියක් මතුවෙලා රවුමට රවුමට විසිරිලා ගියා. ගිලුණු දියකාවා මතුවෙනකන් මං බලාහිටියා. ඌ මාලුවෙක් අල්ලගෙන නම් සමහර විට හොටේ රඳවාගෙනත් ඇති.

මිනිත්තු කීපයක් ගෙවිල ගියා. දියකාවා නැහැ. ඌ ගිලුණු තැනට බඹ දහයකට විතර පහළින් එක පාරටම ඌ උඩට මතුවුණා.

දියකාවා කියන්නෙ නිකම්මයැ. ඌ දියකාගෙන වතුර යටත් කිමිදෙනවා.

එහා පැත්තෙ වෙලේ හැදුණු වතුර වළක කොක්කු දෙතුන් දෙනෙක්. සමහර විට ඒ වතුර වලේ මාලු ටිකක් ඇති. එක කොකෙක් සුදුම සුදු පාටයි. තව එකෙක් දුඹුරට හුරුයි. හරියට ඇඟේ මඩ ගෑවිලා වගේ. මං හිතන්නේ ඌ කණ කොකෙක්.

එකතැනක මම දැක්කෙ වලිගෙයි බෙල්ලයි කළු පාට ලොකු සුදු කොකෙක්. ඌ අර කොක්කුන්ට  වැඩියෙ සෑහෙන්න උසයි. ඌ ඔය ඉවුරට වෙලා ඔය දිහා බලාගෙන හිටියේ. සමහර විට පිටරටකින් ආපු සංචාරක කොකෙක්ද දන්නෙත් නෑ. මාළුවෙක් උඩ පැනලා ‘‘හායි’’ කියනකන්ද දන්නෙත් නෑ. හැබැයි මාලුවා හායි කිව්වොත් කොකා ‘‘බායි’’ කියයි.

එක ඉවුරක මල් පලසක්. කහ පාට මල් සිය ගණනක් ඔය ඉවුරෙ රැඳිලා.

හයටම වතුර භාජනයකට මල් දාලා තිබ්බ වගේ. මං තීරුවෙ ඇවිදින්න එන අය පිළිගන්න වගේ.

වැටෙකයා යායක් ඔය ඉවුරේ තියෙනවා. ඒ වැටෙකෙයා යාය අස්සෙන් එක පාරටම ඇහෙන්න වුණේ පුවක් වෙළෙඳපොළේ සද්දෙ. හැමෝම තරගෙට වගේ කුරුටු පුවා...ක් කු්ටු පුවා....ක් කියනවා. ​කොරවක්කො රෑනක්ම එක පාරටම කෑගහන්නෙ ඇයි මන්දා. මිනිස් රුවක් යන හින්ද වෙන්නත් පුළුවන්.

දියපර ගහක කහපාට මල් පිපිලා. මේ දියපර ගහ තියෙන්නේ වෙල පැත්තෙ. පඳුරක් වගේ යායට හැදුණු දියපර ගහේ මල කහපාටයි. අපි නිතර දකින රුක්අත්තන මලක් තරම්ම ලොකු ඇති. ගහේ කොළ ගොඩපර කොළ වගේමයි. සමහර විට ගොඩපරයි, දියපරයි එක පවුලේ ශාක වෙන්නත් පුළුවන්. කොළ එක වගේ වෙන්නෙ ඒ නිසානෙ.

මම මුලින්ම දියපර යායක් දැක්කෙ ඇල්පිටියෙ අඬාවැටෙන දොළ බලන්න ගිය ගමනේදි. එදා දියපර යායක්ම දැක්කා මතකයි. ඒත් මේ ඇවිදින මං තීරුවෙ නම් දියපර ගහකට තියෙන්නෙ මෙච්චරයි.

නා ගස් තාම තියෙන්නෙ පැල වයසෙ. ඒත් රතු පාට දලුත් ලා කොළ පාට දලුත් තද කොළ පාට කොළත් මේ නා පැලේ තියෙනවා. ඒ නිසා නාගහත් ලස්සනයි. තව අවුරුදු දෙකතුනකින් මේ නා පැලෙත් ලොකුවෙලා ලස්සන මල් පුබුදුකරනකොට සුවඳ දස අතේ හමාගෙන යාවි.

මොකක්දෝ සුවඳක්.

අපි නතර වෙලා වට පිට බැලුවෙ ඒ සුවඳ හිමි මල හොයාගන්න. ඒත් අහල පහල කිසි ගහක මල් පේන්න නම් නැහැ. සුළං රොදකට මුසු වුණු මොකක් හරි මල් සුවඳක් වෙන්න ඇති.

​වෙලේ හිටිය කොකෙක් කලබල වෙලා ඉඟිල්ලුණා. ඒත් ඌ ටික දුරක් ඉඟිල්ලිලා ගිහින් වැහුවෙ අපිට ඉස්සරහින් පාරෙ. ඌට තේරෙන්න ඇති වැරදුණා කියලා. ඒ නිසාද කොහෙද ඉක්මණටම ආපහු වෙලට පැනගත්තා.

කොකා කලබල වුණාට කොබෙයියා නම් කලබලයක් නැතුව අපිට යන්න ඉඩදීලා පාරෙ පැත්තකට වුණා. කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කොබෙයියා කියලා හිතාගෙන වෙන්න ඇති. අපිට මොකද? අපි අපේ පාඩුවෙ එතැනින් ගියා.

පාර පේන්නෙ ලස්සනට.

දෙපැත්තෙ ගස් උඩදි එකට එකතු වෙලා වියනක් හදලා. ඒ ගස් මේ ගස් වැළඳගෙන ආදරෙන් ඉන්න හැටි අපූරුයි. ගස් ආදරෙත් කොතැනක වුණත් එහෙමයි. අපි කාට හරි ආදරේ කරනව නම් ඒ ආදරෙන් හෙවන වැටෙන, ඒ හෙවනේ නිවෙන සැනසෙන්න ලැබෙන තවත් අය ඉන්නවා.

සොබාදහම මේ රහස් පෙන්නනවා විතරයි. කතා කරල කියන්නෙ නැහැ. ඒත් ඒ නොකියන දේවල් අපි තේරුම් ගන්න ඕනෑ. එහෙම තේරුම් ගන්න නම් පරිසරය දිහා ආදරෙන් සංවේදීව බලන්න ඕනෑ.

තවත් බක් මී මල් ගහක්. ඒ ගහ කලින් ගහට වැඩියෙ උසයි. මහතයි. ඒ වගේම මල් ගොඩයි. අවුරුද්දට පිපුණු බක් මී මල් පරවෙලා. දැන් තියෙන්නෙ කළුපාට ගෙඩි  විතරයි. අලුතින් පිපිලා තියෙන්නෙ මල් හත අටක් විතරයි.

ඔය ළඟ උණ පඳුරකට ගිනි තියලා. උණ ගස්වල අඩි හතරක් විතර උසට පිච්චුණු ලකුණු පේනවා. කවුරු ගිනි තිබ්බද දන්නෙ නෑ. වෙල ගිනි තිබ්බත් ඒ ගින්න ඔය ළඟට පැතිරෙන්න නම් ඉඩක් නැහැ. අනේ මන්දා. අත්තික්කා ගහක ගෙඩි පිරිලා. ඒ ගෙඩි පුංචියි. ඒත් එක ගොඩට හැදිලා තියෙන්නෙ හරියට මිදි පොකුරක් වගේ.

අපේ රටේ පරිසරයෙ හැදෙන විවිධාකාර ගස්වල එකතුවක් වගේ තියෙන මේ ඇවිදින මං තීරුව පරිසර නිකේතනයක් කියලයි මට හිතෙන්නේ. එක තැනක ලොකු වංගුවක් තියෙනවා. ඒ වංගුවෙන් ආවරණය වෙන කොටසෙත් කුඹුක් ගස් ගොඩාක් තියෙනවා. ඒ කොටසෙ වතුරත් එකතු වෙලා. එතැන හරිම අපූරු නිසංසල තැනක්. තව කාලෙකදි මේ ගස් ලොකුවුණාම එතැන තවත් සුන්දර වේවි.

මං තීරුව කෙළවර වෙන්නෙ තවත් ප්‍රධාන පාරකින්. ඒත් එතන තියෙන උස ගස් දෙකක් මුදුන් මල්වලින් නැහැවිලා. එක ගහක් කහ පාටයි. අනෙක් ගහ රතු පාටයි. ගස් දෙකේ අතු දෙපැත්තට ගිහින්. ඒ නිසා එකම තැන කහ පාටයි. රතුපාටයි. විසිරිලා වගේ. හරිම ලස්සනයි. මම ටික වෙලාවක් නැවතිලා මේ මල් වියන දිහාවෙ බලා හිටියා.

ගස් යටත් මල් වැටිලා

එතනත් මල් පලසක්

නවකතාවක් ලියනවා නම් ලස්සන ආදරණීය දෙබස් ලියන්න තිබුණා.

සාමාන්‍ය කාලෙක නම් කොහොමටත් උදේ දහයෙන් පස්සෙ මේ මං තීරුවට එන්නෙ පෙම්වත්තු. ඔවුන් නිදහසේ මුණගැහෙන්නෙ ඔහේ කියව කියවා ඉන්නෙ මේ මං තීරුවට ඇවිත්. තැන් තැන්වල තියෙන බංකුවක වාඩිවෙලා ඔහේ වල් පල් කියව කියවා ඉන්න වෙලාවක, මේ මල් පලස දැකලා කොල්ලයි කෙල්ලයි මෙහෙම කියෝගනීවි.

‘‘මල් පාගන්න එපා.... පව්’’

‘‘ඇයි ඔයා එහෙම කියන්නෙ. මේ මල් වැටිලා තියෙන්නෙ පරවෙලා. ඉතින් පරවුණු මල් පෑගුවට පව් සිද්ධ වෙන්නෙ කොහොමද?

පරවෙලා වැටුණත් ඕව මල්. මල් පිපෙන්නෙ පාගන්න නෙවෙයි. ලස්සන බලන්න.

‘ඔයාට හිතෙන්නෙ නැද්ද, මල් හරියට ආදරේ වගේ කියලා.

හරි ඉක්මනට පරවෙන හින්දද?

හරි නරකයි. ඇත්ත ආදරේ නම් ඉක්මනට පරවෙන්නෙ නෑ. ආදරේ කියලා බොරුවට පෙන්නන ආදරේ තමයි ඉක්මනට පරවෙන්නෙ.

මට නම් හිතෙන්නෙ මේ මල් ජීවිතේ වගේ කියලා. ලස්සනට පිපෙනවා. සුවඳ දෙනවා. පරවෙලා, මැලවිලා යනවා. අපි මල් පූජා කරන්නෙත් අන්න ඒ අනිත්‍යය මෙනෙහි කරන්නනෙ.

හරි කමක් නෑ. ජීවිතෙයි ආදරෙයි කියන්නෙත් දෙකක් නෙමෙයි, එකක්. අපි කෝකටත් මල් නොපාගා ඇවිදගෙන යමු.’’

ඔහොම කියන පෙම්වත්තු දවසක් දාක වෙන්වුණාට පස්සෙ මේ මං තීරුව මතකයක් වේවි. එතකොට මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ මතක ඇති කියලා ඒ අයට හිතේවි.

එතකොට මේ තීරුව මේ විදිහටම තියෙයි ද වෙනස් වෙලා තියෙයි ද කියලා හිතාගන්නත් අමාරුයි.

කොහොම වුණත් කාලය කියන්නෙ හැම දේම වෙනස් කරන නොපෙනෙන බලවේගයක්.

ශාන්ත කුමාර විතාන / සේයාරූ - චන්දි කොඩිකාර

20200602Travel-(1)20200602Travel-(2) 20200602Travel-(3) 20200602Travel-(4) 20200602Travel-(5) 20200602Travel-(6) 20200602Travel-(7)