මුල් තැන රැකියාවට රඟපාන්නෙ විනෝදෙට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ විදියට ලස්සනට නිසදැස්, කවි ලියන්නට දක්‍ෂ ඇය, සුන්දර ගුවන් සේවිකාවකි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන සෙව්වන්දි ලියනගේ නමැති මේ සුන්දරිය ගැන වැඩි දෙනා දැන ගත්තේ, මෙවර දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළැඳි නිසයි. එම තරගයේදී සියලුම උප කිරුළු සමග අවුරුදු කුමරිය වූ මේ සෙව්වන්දි එක්ක අපි කතාබහකට එක්වෙමු.

• සෙව්වන්දි විතරද නම?

සෙව්වන්දි තුෂාරා ලියනගේ.

• ගම?

උඩුපිල, දෙල්ගොඩ. 

• පාසැල් ගියේ?

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයට.

• මොන වගේ අරමුණක්ද තිබුණේ?

ඉගෙන ගන්න කාලයේ ඉඳලාම මට තිබුණේ ගුවන් සේවිකාවක් වීමේ අරමුණයි. පුංචි කාලයේ ඉඳලාම කිව්වොත් හරි.

• ඇයි ඒ වෙනුවෙන්ම හිත ගියේ? විශේෂ හේතුව?

රට රටවල සංචාරය කරන්න ලැබීම එකක්. 

• ඒ කියන්නේ සෙව්වන්දි ලෝකේ වටේ යන්න ආසයි?

ඔව්. 

• පාසලේදී වැඩිපුර දක්‍ෂතා දැක්වූවේ? 

ක්‍රීඩා හැර බාහිර බොහෝ දේ කළා. නාට්‍ය රඟපෑවා, මාධ්‍ය කවයේ හිටියා. කථික තරගවලට සහභාගි වුණා. ඒ වගේ බොහෝ දේවලට හිටියා. පාසලේදී වැඩිපුර කළේ නිවේදන කටයුතු. ශිෂ්‍ය නායිකාවක ලෙසත් කටයුතු කළා. රත්නාවලි බාලිකාවට ඒමට පෙර මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ උඩුපිල ප්‍රාථමික විද්‍යාලය සහ හේනේගම මධ්‍ය විද්‍යාලයෙන්. 

• රඟපෑමට ආවේ?

ඉදිරියේදී රඟපෑම් වෙනුවෙන් මට ආරාධනා ලැබුණේ මෙවර දෙරණ අවුරුදු කුමරිය වීම නිසයි. 

• රඟපෑමටද වඩා ආස? ගුවන් සේවයටද?

මූලිකත්වය රැකියාවට. විනෝදාංශයක් ලෙස රඟපාන්න ආසයි.

• ගුවන් සේවිකා ජීවිතයේ රසමුසු සිදුවීම් මොනවාද?

සෑම ගුවන් ගමනක්ම අමතක නොවන ගමනක්. මොකද ඒ රැකියාවට එච්චරටම මම ආසයි. 

• ගුවනේදී මොනවාද හිතෙන්නේ?

මට ලැබිලා තියෙන්නෙ ලෝකයේ තියෙන හොඳම රැකියාවක් කියලා තමයි හිතන්නේ. 

• ඒකට හේතුව?

මේ රැකියාවට හැමෝටම එන්න බැහැ. සීමිත පිරිසක් විතරයි තෝරාගන්නේ. ඒ සීමිත පිරිස අතරට එක්වීමට ලැබීම ලොකු සතුටක්. 

• ගුවන් සේවයේ යෙදී සිටියදී දුටු ලෝක ප්‍රකට චරිත කවුද?

ඉන්දියාවෙ බොලිවුඩ් නළු නිළියන් දැකලා තියෙනවා. ක්‍රිකට් තරු, විවිධ රටවල රාජ්‍ය නායකයන් දැකලා තියෙනවා.

• ගුවනේදී සත්කාර ලබාදෙන අවස්ථාවලදී ප්‍රසංසා කළ විශේෂ චරිත එහෙම?

මම නිතරම හිනාවෙලා ඉන්න කෙනෙක්. කවුරුහරි එක්කෙනෙක් හරි ස්තූති කරලා තමයි යානයෙන් බහින්නේ. ඒක මට විතරක් නෙවෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඔක්කොටම ලැබෙන දෙයක්. 

• මේ කොවිඩ් කාලයේ ගුවන් ගමන් සිදුවෙන්නේ කොහොමද?

ඉස්සර තරමටම ගුවන් ගමන් නැහැ. ඒත් විදේශ රටවල අපේ ශ්‍රමිකයින්, ශිෂ්‍යයින් සිටින නිසා  මුදවාගැනීමේ ගුවන් ගමන් තමයි මේ දිනවල බොහෝ විට සිදුවන්නේ. ඒ ගමන්වලදී නිසි සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටලයක් අඳින්න ඕනෑ. හිස පවා ආවරණය කරගෙන යන්නේ. 

• අවුරුදු කුමරිය වෙච්ච හැටි කියන්නකො?

ඉස්සර තරමට රැකියාවේ කාර්ය බහුලත්වයක් නොතිබුණ නිසා මෙවර අයදුම් කළා. ඒ වෙනුවෙන් යාළුවෝ මාව උනන්දු කළා. මගේ ජීවිතයේ මේ වගේ අවස්ථාවකට සහභාගි වූ පළමු වතාව මෙයයි. එයින් ජය ලැබීම ලොකු සතුටක්. උප කිරුළු සියල්ල සමග ජයග්‍රහණය කිරීමට ලැබීම ලොකු ජයක්. ඒ ගැන හරිම සතුටුයි. 

• ඉදිරියටත් රූ රැජින තරගවලට යන්න අදහස තියෙනවද?

නැහැ, මේ තමයි මගේ ප්‍රථම සහ අවසන් අයදුම් කිරීම මෙන්ම සහභාගි වීම. 

• වෙසක් සමය එනවිට සෙව්වන්දි මොනවද කරන්නේ?

පන්සල් යෑම සෑම පෝයකටම කරන දෙයක්. වෙසක් පෝයට සිල් අරගෙන තියෙනවා. මෙච්චර කල් අපට නිවාඩු තිබුණේ නැහැ. ඒත් නිවාඩු ලැබුණාම සිල්ගන්න පවා ගියා. 

• සිල් ගත්තාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?

සිතට හරිම නිදහස් හැඟීමක් ඇතිවුණේ. හැමදාම සිල් ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් කාර්යබහුල ජීවිතයේදී එය අපට නිතර කරන්නට බැහැ. 

• වෙසක් සමය සෙව්වන්දිට දැනෙන්නේ මොන විදියටද?

මාස 12න් අපට තියෙන හොඳම මාසයක්. මව්පියන් එක්ක එකතු වෙලා සහ අනෙක් සියලු දෙනා සමග එක්ව වඩාත් ධාර්මිකව ගත කළ හැකි කාලයක්. 

• වෙසක් සමයේ ඇසෙන බොදු බැති ගී අතරින්, සෙව්වන්දි වඩා කැමති ගීතය මොකක්ද?

බොහෝ ගීතවලට ආසයි. ඒ අතරින් විශාරද නන්දා මාලිනිය ගයා ඇති, “බුද්ධානු භාවෙන සිත් නෙත් පහන් වී” ගීතයට වඩා කැමතියි. 

• වඩා ප්‍රිය කරන්නෙ මොන වගේ දේ එක්ක ජීවිතය ගත කරන්නද?

පවුලේ අය එක්කම කාලය ගත කරන්න ආසයි. නිදහසේදී පොතපත කියවලා ජීවිතය ගත කරන්න ආසා කෙනෙක්. 

• හොඳට කියවන කෙනෙක්?

ඔව්. 

• වැඩිපුර කියවන්න ආසා කරන්නේ? 

ඉස්සර නම් මාර්ටින් වික්‍රමසිංහ මහතා සහ මහගමසේකර ශූරීන්ගේ පොත්පත්වලට හරිම ආසයි. කොච්චර අලුත් දේ කියෙව්වත් මගේ හිත තියෙන්නේ පරණ දේවලට. 

• ‘සෙව්වන්දි’ මොනවගේ තරුණියක්ද?

හරිම සරලව ජීවත්වන තරුණියක්. 

• වයස කියමුද?

අවුරුදු 25යි. 

• කොහොමද සෙව්වන්දිගෙ ප්‍රේමය? 

තවම ඒ ගැන හිතලා නැහැ. 

• ගෙදරින් කියන්නෙත් නැහැ?

තවම ලොකු බලපෑමක් නැහැ. 

• අම්මා - තාත්තා මොනවද කරන්නේ?

තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්.  

• ‘ආදරේ’ කියන්නේ මොකක් කියලද හිතන්නේ?

තමා වගේම, තමා කැමති ප්‍රතිරූපය තවත් කෙනෙක්ගෙන් හොයන එක කියලයි මට හිතෙන්නෙ. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ