අනේ සාදුලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල රටපුරා බිග්මැච් උන්මාදය. ගොඩක් ඉස්කෝලවලට වසන්තය ඇවිල්ලා වගේ. ඉස්කෝලෙ ඉන්න ළමයි, ඉස්කෝලෙ හිටපු ළමයි විතරක් නොවෙයි ඉස්කෝලවලට යන්න ඉන්න ළමයි පවා මේ බිග් මැච් උන්මාදයට අහුවෙලා පුදුම උනන්දුවක් තියෙන්නේ.

මේ බිග්මැච් උණ කොච්චරද කියනවා නම් පත්තරවල ක්‍රීඩා පිටුවලට විතරක් නොවෙයි සිරස්තලවලටත් නිව්ස් යන තරමේ වැඩත් සිද්ධ වෙනවා. බිග් මැච් නම් එහෙම තමයි කියලයි සමහරු නම් කියන්නේ.

 
20160830Sara-1

මේ අවුඅස්සේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක් දාගත්තු ජෝගියක් නිසා ප්‍රවෘත්ති මැවුණා. මේ සිදුවීම ගැන ඕමල්පේ සෝභිත හාමුදුරුවොත් කතා කළා. සෝභිත සාදු කියන්නේ සංවරව පවත්වන්න බැරිනම් මේ බිග්මැච් නවත්තලා දාන්න කියලා. මේ කතාවත් එක්ක විවිධ අදහස් පළ වුණා. ඇත්තටම දේශපාලන කරළියෙන් ඈත් වෙලා ඉන්න ඕමල්පේ සාදු පසුගිය කාලය ඇතුළේ රටේ කිසිම සිදුවීමක් ගැන තමන්ගේ අදහස් ඉදිරිපත් කළේ නෑ. එකපාරටම මේ බිග් මැච් සීන් එක ගැන තමයි ඕමල්පේ සාදු පසුගිය දවස් ටිකේ නිහඬව ඉඳලා අදහසත් කිව්වේ.

බිග්මැච් කියන්නේ  සීල ව්‍යාපාරයක් නෙවෙයි. සංවර විදියට බිග්මැච් තියන්න බෑ. අද බිග්මැච් කියන්නේ අනුරාගයක්. ඒ අනුරාගයට අහුවුණාට පස්සේ තරුණ ළමයි ටිකක් තමන්ගේ තරුණකම පෙන්නනවා. හැබැයි අපි කියන්නේ ඕමල්පේ සාදු කියන තාලේ සංවරකමට යන්නෙත් නැතුව තමන්ගේ ඉස්කෝලෙ විලිලැජ්ජ කරන්නෙත් නැතුව රතු කට්ට පන්නන්නෙ නැතුව ගන්න ආතල් එකක් ගත්තට කමක් නෑ කියලා.

බිග් මැච් නවත්තන්න ඕන කියලා කියන ඕමල්පේ සාදුට මතක නැති වෙලාද දන්නේ නෑ උන්වහන්සේලා ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිහින් ලොකු ගෝරියක පැටලිලා ගිහි මන්ත්‍රීවරු ලව්වා තමන්ගේ වෘෂණ කෝෂ පවා මිරික ගත්තා. බිග්මැච් ගෝරිවලට වඩා ඒවා හොඳ ද එතකොට. ධර්ම රාජ්‍යයක් හදන්න කියලා ඇවිත් පාර්ලිමේන්තුවටත් වැඩම කරලා දැන් රට ධර්ම රාජ්‍යයක් කළාද දන්නේ නෑ.

පසුගිය දවස්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ළමයි පිරිසක් නවකවදය සිද්ධියකට මාට්ටු වුණු සිද්ධිය ගැන එහෙම මේ සාදුලාට තමන්ගේ අදහස් කියන්න උනන්දුවක් නෑ වගේ. ඒ රැග් සීන් එකේ තිබුණ අමානුෂිකකම ගැන පහදලා හරි නම් ඔය සාදුලා කැම්පස් එකෙන් කැම්පස් එකට වැඩම කරලා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට බණ ඩිංගක් දේශනා කරන්න වටිනවා. ඒවා තමයි කාලීන වැඩ. බිග් මැච් නවත්තන්න කලින් රටේ නවත්තන්න කොච්චර වැඩ තියෙනවාද? බිග් මැච් අස්සේ සිදුවෙන අප්සට් සීන්කෝන් නවත්තගන්න වගකීම් ඒ ඒ ඉස්කෝල වල විදුහල්පතිවරු සහ ගුරුවරු ගන්න ඕන. ඒ වගේම මේ බිග්මැච් වලදී ටීම් එකට සෙල්ලම් කරන ක්‍රීඩකයන්ටත් වඩා උනන්දුවෙන් බැහැලා මේවාට සෙට් වෙන ආදි ශිෂ්‍යයන්ටත් මේ රණ්ඩුසරුවල්, ඉසිලි බිසිලි නොවෙන්න වගබලා ගැනීමේ වගකීම ගන්න පුළුවන්. එහෙම නැතුව සෝභිත සාදු කියන තාලෙට සීල ව්‍යාපාරයක් විදියට බිග් මැච් තියන එකවත් ඒවා සම්පූර්ණයෙන්ම අතඇරලා දාන එකවත් නොවෙයි කරන්න ඕන.

දැන් අපේ රටේ හැමෝම වගේ සංඝරත්නයත් තමන්ට අදාළ වැඩේ නෙවෙයි කරන්නේ. බුදුහාමුදරුවෝ නම් භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ ලෝක සත්ත්වයාට කරුණාවෙන් ධර්ම චාරිකාවේ යෙදෙන්න කියලනේ. අද අපේ රටේ සාදුලා ඒක ඇරෙන්න අනික් වැඩ ඔක්කෝම කරනවා. නොකරන්නේ බුදුදහමට අනුව හැසිරෙන එක විතරයි. මේ චෝදනාව සියලුම භික්ෂූන් වහන්සේලාට අදාළ නෑ. සිල්වත් භික්ෂූන් ඉන්නවා. ඇත්තටම චීවරයේ ගෞරවය රකින ඒ ස්වාමීන් වහන්සේලාට අපි හිස නමා ගරුකරනවා. ඒ වුණත් සැප මාලිගාවල ඉන්න, බෙන්ස් කාර්වල ගමන් බිමන් යන, මෙගා බර්තඩේ පාඩි දාන සාදුලත් ඉන්නවා. එහෙම අයගෙන් රටට නම් ඒ තරම ප්‍ර‘යෝජනයක් තියෙනවාද කියලා ඒ අයම කල්පනා කළොත් හොඳයි.

අලි පැටවු සම්බන්ධව උසාවි ගානේ රස්තියාදු වෙන, දේශපාලකයන්ට කඩේ යන, පන්සල් ළඟ ගෙවල්වල ඉන්න අයට හිරිහැරයක් වෙන විදියට ශබ්ද පූජා පවත්වලා ඒවාට නඩු වැටෙන සාදුලා මේ කරන්නේ නිවන් මගට යන පාර කපා ගැනීමද කියලා අපට නම් තේරෙන්නේ නෑ.

ගිහියෝ පිස්සු කෙලින කොට ඒ කාලෙ ගිහියන්ට අවවාද උපදෙස් දීලා හරිමගට ගත්තේ හාමුදරුවරු. ඒත් අද ඒකේ අනිත් පැත්ත තමයි කරන්න වෙලා තියෙන්නේ. මෙහෙම ගිහින් කවදා නිවන් දකින්නද හාමුදුරුවනේ.

ප්‍රියන්ත කොඩිප්පිලි