කුමාරයා සහ හැලපයෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගිය කාලය පුරාම විටින් විට මාතෘකාවක් වුණා. විශේෂයෙන් ෆේස් බුක් එකේ ඇතුළු සමාජ මාධ්‍ය ඇතුළේ. පසුගිය කාලයේ ප්‍රින්ස් රෝගීව හිටියේ. ඒ නිසාම ප්‍රින්ස් ගැන වැරදි තොරතුරුත් හිටිගමන් එහෙ මෙහෙ පා වුණා. කොහොම වුණත් ලෝක ධර්මතාවට අනුව ප්‍රින්ස්ටත් අනිත්‍යයට මුහුණ දෙන්න වුණා. වැදගත් වෙන්නේ ප්‍රින්ස් ජීවත්වුණේ කොච්චර කල්ද කියන එක නොවෙයි. ඒ ඉඳපු ටිකේ මොනවා හරි යමක් තමන් කළාද කියන එකයි.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත 90 දශකයේ උන්මාදනිය ගී හඬක්. ඒ ගැන විවාදයක් නෑ. මහප්‍රාණ විචාර විග්‍රහවලට කොයි විදියට අහුවුණේ නැතත් ප්‍රින්ස්ලගෙ සිංදුවලට වහවැටිච්ච රාසිකයෝ ඒ කාලේ ඕනතරම් හිටියා. අද ඇහෙන සිංදුත් එක්ක බලද්දී තමයි ප්‍රින්ස්ලා ඉඳපු තැන වුණත් නරක නෑ කියලා අපිට ගලපගන්න වෙන්නේ.

20160830Sara-1හැටහැත්තෑව අසූව දශක පහුකරගෙන ඇවිත් අනූව දශකය එන්නේ තරුණයෝ රෑනක් සිංදු පිටියට බස්සගෙන. ඒ පිටියේ හොඳට බැට් කරපු ක්‍රීඩකයෙක් තමයි ප්‍රින්ස්. නාමල් උඩුගම වගේ අය එක්ක කරට කර පිටිය වර්ණවත් කරපු ප්‍රින්ස් ඔළුව කූල්වෙන සිංදු බොහොමයක් කිව්වා. දැන් ඉන්න ගායකයෝ කියාගන්නා හැලපයෝ දකිද්දි 90 දශකයේ ගායක බැටෑලියන් එක ගැන ඇත්තටම පොඩි සංතෝසයක් ඇතිවෙනවා. මැදගෙදර, ආත්මා, අසංග, චන්දන, රෝයි, වැලිතුඩුව, අතුල ශ්‍රී වගේ රෑනක් ඒ බැටෑලියන් එකේ හිටියා. මේ අයට සිංදු ලියපු අයත් දැන් තියෙන අඳෝනා තරම් පල්ලෙහාට බැහැලා නෙමෙයි ලිව්වේ. ධර්මරත්න පෙරේරා, යමුනා මාලනී, ප්‍රනීත් අභයසුන්දර වගේ අයට පස්සේ චන්න ජයනාත්, ලලිත් වසන්තලා පවා පොඩි රහක් තියෙන ලව් සිංදු ගොන්නක් මේ 90 දශකයේ ගායක රොත්තට ලියලා දුන්නා. දැන් නම් ඒක කක්කුස්සියක් ගානට වැටිලා. දැන් තොග ගාණට නිෂ්පාදනය වෙන ගීත වැඩි ප්‍රමාණයක් හරිම ගඳස්කාරයි. ඉඳහිටලා එකක් දෙකක් පොඩි සුවඳක් තියෙනවා.

ප්‍රින්ස් මරණයත් එක්ක කරළියට ආපු මාතෘකාවක් තමයි කලාකරුවන්ගේ ආර්ථික කළමනාකරණය. පුළුවන් කාලේ උපයන මුදලින් බැරි කාලේ ප්‍ර‘යෝජනයට ගන්න මුදල් ප්‍රමාණයක් ඉතුරු කිරීමේ වැදගත්කම ගැන අපේ කලාකරුවෝ ගොඩදෙනෙක් අපිට ඉගැන්නුවා. කොටින්ම කියන්න තියෙන්නේ කලාකාරයෝ කියලා කියන්නෙත් අමුතු ජීවීන් කොට්ඨාසයක් නොවන නිසා ඒ අය නඩත්තු කරන්න හෝ රෝගී වුණාම රජය බලාගන්න ඕන වගේ කතා නම් දැන් ඇති. අපේ කලාකාරයෝ අතිබහුතරය ශිල්පීය දක්ෂතාවයේ තරමට සමාජ සංවේදී ප්‍රගතිශීලී කලාකරුවෝ නොවන නිසා ඒ අයට කෙලවුණාම සාමාන්‍ය ජනතාවගෙන් පිහිටක් ඉල්ලද්දී මිනිස්සුන්ට තදවීම සාමාන්‍ය දෙයක්. කලාකරුවෝ නොමිලේ කලා කටයුතුවල යෙදෙන්නේ නැති නිසා ඒ අය විශේෂ පිරිසක් කියලා නඩත්තු කරන්න ඕනකමකුත් නෑ. මේ ප්‍රතිපත්තිය ඇත්ත ප්‍රගතිශීලී කලාකරුවන්ට තරමක් ලිහිල් වුණාට කමක් නෑ.

20170608Prince-1දේශපාලකයන්ට රෙදි නැතුව කඩේ ගිය කලාකාරයෝ ඒ දේශපාලකයන්ගෙන් ප්‍රතික්‍ෂේප වෙලා ඇවිත් සාමාන්‍ය මිනිස්සුන්ට දුක කියනවා. එහෙම කලාකරුවන්ගේ දුක් ගැනවිලි වලින් පත්තර පිටු පිරවුණු අවස්ථා අපි දැකලා තියෙනවා.

ඒක නිසා තමන්ගේ ස්වාධීන බව වගේම බැරි අවස්ථාවල හිඟාගන්න සූදානම් නොවී නියම කලාකාරයෝ විදියට හැම අවස්ථාවකදීම මොළේ පාවිච්චි කරලා වැඩ කිරීම කාගේත් ඇඟට ගුණයි.

මේ දවස්වල මේ වගේම මොළේ පාවිච්චි නොකර වැඩ කරපු කෙනෙකුගේ දුක් අඳෝනා අපිට ඇහෙනවා. ඒ තමයි සුසන්තිකා ජයසිංහ. තරගයට දුවලා ලෝකෙන්ම ඉහළට එන්න පුළුවන් වුණාට සාමාන්‍ය සමාජ ජීවිතය බැලන්ස් කරගන්න බැරිවීමේ පාපය තමයි සුසන්තිකාලා මේ ගෙවන්නේ. ඒකට රටට බැණ බැණ ගිහින් වැඩක් නෑ.

මේ ටික කලාකාරයන්ටත් අදාළයි. දැන් ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවන්න හවුල් වෙන්න කියලා ගායික ගායිකා සංගමේ සභාපති කීර්ති පැස්කුවෙල් රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා. ලක්ෂ ගණනින් එක සංගීත සංදර්ශනයක ගාස්තු අයකරන ගායික ගායිකාවෝ කීපදෙනෙක් එකතු වුණා නම් මේ බිල ගෙවන එක සිම්පල් වැඩක්. අපේ ගායික ගායිකාවෝ මීඩියා ඉස්සර ප්‍රින්ස්ගේ ගුණ වයවයා ඉන්නේ නැතුව තමන්ගේ සහෝදරකම පෙන්වන්න මේක හොඳ වෙලාවක්.

මේවගේ දේවල් වලින් හැමෝටම ගන්න උපදේශ තියෙනවා. ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සිංදුවලට ආසවුණ රසිකයන්ට ප්‍රින්ස් වෙනුවෙන් මේ අවසන් පිංකමට අවශ්‍ය නම් සම්මාදම් වෙන්න පුළුවන්. අපිට මතකයි නාමල් උඩුගමට රසිකයෝ මේ වගේම උදවු කළා පසුගිය කාලේ. ඒත් නාමල්ගේ අසනීපයට මුදල් නෑ කියලා අඬ අඬා ඉඳපු රුවන්ති මංගලා පසුගිය ඡන්දෙකට ඉල්ලන්න කියලා නොමිනේෂන් ඉන්ටර්විව්වලටත් ඇවිත් ඉන්නවා දැක්කා. එතකොට අපිට හිතුනේ ස්වාමිපුරුෂයාගේ අසනීපයට නැති සල්ලි ඡන්දෙකට ඉල්ලන්න ඇප තියන්න කොයින්ද කියලා. මේ වගේ දේවල් නිසා කලාකරුවන්ට වුණත් අනුකම්පා කරන්න මිනිස්සු දෙපාරක් හිතනවා.

කෙසේ වෙතත් අපිව මුසපත් කළ ප්‍රින්ස්ට අවසාන සැලියුට් එක අපි ගහන්නේ හදවතින්මයි.

ප්‍රියන්ත කොඩිප්පිලි