දෙකයි පනහට වැටුණු රාජ්‍ය නාට්‍ය උළෙල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකා නාට්‍ය කලාව කියන්නේ අපිට ඉතාම සමීප, අපි ඉතාම ආදරය කරන දෙයක්. අපේ රටේ වේදිකා නාට්‍ය කලාවටත් තියෙන්නේ දිගු ඉතිහාසයක්. ඉස්සර සාර සුබාවට පැවතුණු වේදිකා නාට්‍ය කලාව ක්‍රමක්‍රමයෙන් කේ‍ඬෑරි වෙච්ච ගතියක් තමයි පෙන්න තියෙන්නේ.

අපේ රටේ වේදිකා නාට්‍ය කලාව ගැන අද කියන්න කල්පනා කළේ මේ දවස්වල පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උළෙල නිසා. කාලයක් තිස්සේ වගේම මේ සැරෙත් ආණ්ඩුව රාජ්‍ය නාට්‍ය උළෙල කරන්නේ එපා වාහෙට හොදි බෙදන්නා වාගෙයි.

මේ නාට්‍ය උළෙලත් වෙනද වගේම ඇල්මැරුණු මෙලෝ රහක් නැතුව කරන්නං වාලේ කරපු එකක් කියලා තමයි පෙනුනේ. නාට්‍ය උත්සවය සංවිධානය කරලා තිබුණු සංවිධායකයන්ටවත් නාට්‍ය ගැන කිසිම හැඟීමක් නෑ වගේ. වේදිකාවේ නාට්‍ය පෙන්නන වෙලාවෙත් නාට්‍ය උළෙල සංවිධානය කරපු සංවිධායකයෝ ජංගම දුරකතනවලින් කතා කරමින් කිසිම නාට්‍ය ප්‍රේමී බවකින් තොරව හැසිරුණු බවට නාට්‍යකරුවන්ගෙන්ම චෝදනා ආවා.

නාට්‍ය සංවිධායකයන්ට මේක තමන්ගේ රස්සාවෙ කොටසක් මිසක් වෙන විශේෂත්වයක් නොවෙන්න ඇති සමහර විට. ඒත් දහසක් බාධා මැද කට්ට කාගෙන නාට්‍ය හදලා ඒවා රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන සඳහා නිරීක්ෂණය වෙන අවස්ථාවෙවත් හිරිහැරයක් නැතුව පෙන්නගන්න ඉඩක් නෑ කියන්නේ ඒකෙන්ම තේරෙනව ලංකාවේ නාට්‍ය කලාවට තියෙන තැන මොන වගේද කියලා.

පහුගිය රජය වගේම මේ රජයත් නාට්‍ය කලාව පයිසෙට දාලා තියෙන්නේ. ඒ අයට නාට්‍ය කලාව හෝ නාට්‍යකරුවො අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියල තමයි මේ අඩු ලංසුවට දාලා සලකන සැලකිල්ලෙන් පේන්නේ. රාජපක්ෂ රජය කාලේ කලාකරුවෝ ඒ අය පාවිච්චි කළේ මැතිවරණවලට ඡන්ද එකතු කරගන්න තමයි. මේ ආණ්ඩුව ආවම ඒ තත්ත්වය වෙනස් වෙයි කියලා බොහෝදෙනා කල්පනා කළා.  ඒත් එහෙම වෙන පාටක් නෑ. මේ ආණ්ඩුව යන්නෙත් පසුගිය ආණ්ඩුව ගියපු පීල්ලෙමයි.

20160830Sara-1මේ සැරෙත් රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වුණේ මරදාන ටවර් රඟහලේ. ටවර් රඟහල රාජ්‍ය නාට්‍ය උළෙලක නාට්‍ය විනිශ්චය කරන්න නාට්‍ය රඟදක්වන්න තරම් සුදුසු නෑ කියලා දැන් කාලයක් තිස්සෙ නාට්‍යකරුවොම කියල තියෙනවා. ඒත් කිසිම ආණ්ඩුවක් මේකට ඇහුම්කන් දුන්නේ නෑ. මේ ආණ්ඩුව ආපු ගමන් රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල තියන්න සුදානම් වුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය හෙවත් නාඩා එකේ. ඒ වෙලාවෙ නාට්‍ය උළෙල පැවැත්වූවො නාට්‍යකරුවන්ගේ දැඩි විරෝධතා මැද්දෙ නාට්‍ය සම්මාන දෙද්දි විරෝධතා පුවරු අරගත්ද නාට්‍යකරුවො වේදිකාවටත් නැග්ගා. ඒ විරෝධතාව ඒ නාට්‍ය උළෙලට විතරක් සීමා වුණා. ඊට පස්සේ නැවතත් සුපුරුදු පරිදි පැවැත්වුණා. ඊට පස්සේ වතාවේ සම්මාන උළෙල BMICH එකට ගෙනියන්න මේ විරෝධය සමත් වුණත් නාට්‍ය උළෙලේ ගාම්භීර ස්වරූපය නම් එන්න එන්නම හේදිලා යනවා.

මේ සැරේ නාට්‍ය සම්මාන උත්සවය කොයි විදියට පවත්වයිද කියල කියන්න දන්නෙ නෑ. ඒකෙ ගුණ දොස් කියන්න වෙන්නේ ඒක පැවැත්වුවාට පස්සේ තමයි. අපි බලමු මේ අය මේ අවුරුද්දේ මොන වගේ තත්ත්වයකට මේ වැඩේ කරයි ද කියලා.

හැබැයි ඔය රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන අමාත්‍යාංශවල උදවිය ලෝක කම්කරු දිනය අරව මේව මහා ඉහළින් නෙළුම් පොකුණේ පවත්වනවා.

ඒක නරකයි කියන එක නෙවෙයි අපි කියන්නේ. කම්කරු දිනේට දෙන උජාරු ගාම්භීර සැලකිල්ලම නාට්‍ය උළෙලටත් දෙන්න කියන එකයි අපේ යෝජනාව‍. ලෝකයේ බොහෝ රටවල් නාට්‍ය කලාවට සලකන්නේ මුදුනේම තියලා.

ලෝකයේ බොහෝ රටවල් නාට්‍ය කලාව වෙනුවෙන් ඉහළම සැලකිල්ලක් දක්වනවා. රාජ්‍ය මැදිහත්වීම වගේම පුද්ගලික අංශයේ මැදිහත්වීමත් වෙන රටවලදී නාට්‍ය කලාවට ලැබෙනවා. ඒත් අවාසනාවට අපේ රටේ එන්න එන්න නාට්‍ය කලාවට වළපල්ලටම යනවා.

 

ප්‍රියන්ත කොඩිප්පිලි