නෝනා දන්න සිනමාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ සිනමාවේ 71 වැනි සැමරුම තිබුණේ පහුගිය විසිඑක් වැනිදා. ඒ වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් ජාතික චිත්‍රපටි සංස්ථාව සංවිධානය කරලා තිබුණා. ඒ උත්සවයට කලින් දවසේ පිරිත් පිංකම්, සාංඝික දානමය පිංකම් එහෙමත් තිබිලා තියෙනවා.

මේ කියන්න යන්නේ 21 වැනිදා හවස පවත්වපු සමරු උත්සවය ගැන පුංචි අදහසක් දෙකක්.

බැලූ බැල්මට ඒ උත්සවය හරිම බංකොළොත් උත්සවයක්. අවුරුදු 71 ක සිනමාවට සම්බන්ධ අයගෙන් කීයෙන් කීදෙනාද ඒකට ඇවිත් හිටියේ කියලා හිතුණා. වැඩේ ඉවරවෙලා එළියට එද්දී සිනමාවට ඍජු සම්බන්ධකම් තියෙන අය එන්නවත් ඒක සංවිධානය කරලා තිබුණු අයට සිනමාවට සම්බන්ධ පිරිස් ගෙන්නගන්නවත් ඒ හැටි උනන්දුවක් තිබිලා නෑ කියලා තමයි පෙනුණේ. සිනමාවේ දශක හතක සැමරුම් උත්සවයක් කිව්වාම සූ ගාලා නළු නිළියෝද චිත්‍රපටි ඩිරෙක්ටර්ලද ප්‍රොඩියුසර් මහත්තුරුද අවශේෂ අංශවලින් චිත්‍රපටිවලට හවුල්වන පිරිසද අරගොල්ලොද මේගොල්ලෝද කටකපලා පුරවල ඉන්න එපැයි. ඒත් හිටියේ ඉතාම අතළොස්සයි.

20160830Sara-1එතෙන්දී මුණගැහුණු චිත්‍රපටි නිෂ්පාදක චිත්‍රා බාලසූරිය කිව්වේ ඊට කලින් දවසේ තිබුණු පිරිත් පිංකමට පිරිත පටන් ගන්නත් කලින්ම ආවා කියලා. ඒත් ෆීල්ඩ් එකේ දන්න කියන කවුරුවත් හිටියේ නැති නිසා ටික වේලාවක් ඉඳලා හැරිලා ගියා කියලා. ඔන්න ඕකයි තත්ත්වය.

අපි කියාගෙන ආපු සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා හැටියට එන්න නියමිත වෙලා තිබුණේ රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුමබණ්ඩාර. නිවේදන කටයුතු කරපු කෙනා කිව්වේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමා එන්න හිටියත් මොකක්දෝ හේතුවක් නිසා චිත්‍රපටි සංස්ථාවේ වැඩේට එනවට වඩා ඇමතිතුමාට එතුමාගේ ආසනේ ජනතාව එක්ක ඉන්න එක වඩා වැදගත් කියලා හිතුණු නිසා එතුමා ආවේ නෑ කියලා. ඒ වෙනුවට නෝනා එව්වා කියලත් සඳහන් කළා. මේ කතාව කියන කොටම මට මතක් වුණේ ගමේ ගොඩේ තියෙන කතාවක්. ගමේ ගොඩේ කතාවක් තියෙනවා “තමුන්ගේ වැඩේට තමුන් යන්නත් අනුන්ගේ වැඩේට හාන්නැහේ පිටත් කරන්නත්” කියලා. මේකත් හරියටම ඒ කියමනට අනුව සිද්ධ වෙච්ච වැඩක් කියලා සමහරු කතා වෙනවත් අපිට ඇහුණා.

මීට කලින් විවිධ අමාත්‍යාංශ අතරේ මාරුවෙවි, මාරුවේවි ඇවිත් ඔන්න දැන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දාලා. සංස්කෘතික අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය වගේ තැන්වලට තමයි සිනමාව මීට කලින් එකතු වෙලා තිබුණේ. අපි නම් දන්නේ මේ එන එන ආණ්ඩු මොන ක්‍ර‘මේකට මේ විෂයයන් අමාත්‍යාංශවලට එකතු කරනවාද කියලා. මොන අමාත්‍යාංශය යටතේ තිබුණත් අපිට ප්‍රශ්නයක් නෑ හරියට වැඩේ සිද්ධවෙනවා නම් ඒත් එහෙම වෙන්නේ නැති එකයි අවුල.

සිනමාවට අදාළ ඇමතිවරයා සිනමාවේ 71 වැනි විශේෂ සැමරු උත්සවය වෙනුවට ගමේ යන්න ඕන කියලා හිතන එකෙන් අපිට පොඩි සංඥාවක් ලැබෙනවා, මිනිහත් හිටපු ඇමතිවරු වගේම සිනමාවට සලකන්නේ ‘එපා වාහෙට හොදි බෙදන ස්ටයිල් එකෙන්^ කියලා. අනිත් එක තමන්ගේ අමාත්‍යාංශයට අදාළ උත්සවවලට තමන්ට යන්න බෑ කියලා ගෙදර පවුල පිටත් කරනවා කියන්නෙත් පිස්සු වැඩක්. නෝනට මොකක්ද මේකේ තියෙන සම්බන්ධය. නෝන ඇමති නැති වේලාවට ඇමති පුටුවෙන් වාඩිවෙනවද දන්නේ නෑ. අපි හිතමුකෝ ඇමතිතුමාට එන්න බැරිම තත්ත්වයක් උදාවුණා කියලා. ඒත් ඔය අමාත්‍යාංශයේ ඉන්නවා නේද නියෝජ්‍ය ඇමති කෙනෙක්. අපි දන්න මේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිකම කරන්නේ, සුසන්ත පුංචිනිලමේ. ඇයි එයාටත් එන්න බැරිවුණේ. එයාටත් ගමේ මිනිස්සු නොබලා ඉන්න බැරිවුණාද දන්නේ නෑ. මොකද මේ ඡන්ද කාලෙනේ.

ඇමතිලා දෙන්නම නැත්නම් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිස එක්ක මේ වැඩේ කරන්නයි ජාතික චිත්‍රපට සංස්ථාවට තිබුණේ. එහෙම නැතුව ඇමතිලට බැරිනිසා නෝනලා එව්වම ඒ අයට වැඳ වැටිලා ‘අනේ ආපු එක කොච්චර දෙයක්ද^ වගේ ප්‍රශංසා ගීත කියන්න යන එක රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක් විදියට ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපතිට හොඳ නෑ. අමාත්‍යාංශයේ නිල රාජකාරියක් කරනවා නම් ඇමතිගේ නෝන ආවට කමක් නෑ.

මේ වගේ මජර පවුල් සිස්ටම් එකක් අප්සට් හින්දා තමයි 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ මිනිස්සු හිටපු නායකයෝ ගෙදර යැව්වේ. ඒ නායකයන්ගේ කාලේ තමයි ජනාධිපතිගේ පවුලද, ඒ පවුල්වල අනිත් පිරිමින්ගේ පවුල්ද මෙකී නොකී නෝනලා රජ කරගෙන හිටියේ. ඒ කාලේ ඒ නෝනලාට මහත්තුරුන්ට වඩා බලයක් තිබුණා.

කොහෙම වුණත් අපි බලමු රාජ්‍ය පරිපාලන ඇමතියි, ඇමතිගෙ නෝනයි අපේ සිනමාවට ගොඩදාන හැටි

ප්‍රියන්ත කොඩිප්පිලි