බැද්දගේලා බැද්දෙම තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෝඨාභය රාජපක්ෂගෙ මූලිකත්වයෙන් පසුගිය දවසක පැවැත්වුණු ‘වියත මඟ’ කියන කතිකාවේදී මාර කලාකාරයෝ විදියට පෙනී ඉන්න රෝහණ බැද්දගේයි, බන්දුල විජේවීරයි දාපු ගොංපාට් එකක් ගැන බොහෝ දෙනා මේ දවස්වල කතාවෙනවා. මේ වැඩේ නම් කරලා තිබුණෙ ‘වියත් මඟ’ කියලා වුණාට මේ වගේ කුජීත වැඩ දැක්කාම වැඩේ කරපු අයගෙ වියත්කම රෙද්දපල්ලෙන් බේරෙන හැටි පේනවා.

රෝහණ බැද්දගේයි බන්දුල විජේවීරයි සංගීත ක්ෂේත්‍රයට යම් දායකත්වයක් දක්වපු දෙන්නෙක්. ඒ ගැන විවාදයක් නෑ. ඒත් ඒ අය තමන් කලාකරුවො විදියට තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්නවද කියන එකනම් ප්‍රශ්නයක්. මොකද මෑත කාලයේ මේ අය දේශපාලකයන්ට රෙදි නැතුව කඩේ යන හැටි දැක්කම අපිට ලැජ්ජ හිතුණා. ඒ අයට නම් ඒ අය ගැන ලැජ්ජාවක් නෑ වගේ.

20160830Sara-1මේ ‘වියත් මඟ’ සීන් එකේදී බන්දුල විජේවීරලා ‘හිටං හිටං’ නක්කලේ දාද්දී සභාවේ ඉඳපු එයාලම කියාගන්න මහා වියත්තු ටික උඩ පැන පැන හිනාවුණේ, පසුගිය දවසෙ  ඔස්ට්‍රේලයාවෙන් රනිල් වික්‍රමසිංහට ලැබුණු ආචාර්ය උපාධියටත් නක්කලේ දැම්මේ ඒක අනාචාර්යකමක් කියලා. ඒකටත් ඔය රාජපක්ෂලා සහ රාජපක්ෂලගේ කත්අදින පිරිස කෝක් හඬ ලෑවා. හැබැයි ඒ අයගෙ වියත්කම එකෙන් රටටම පෙනුණා.

බන්දුල විජේවීර සමලිංගික කතාවකුත් කිව්වා. මේ මහා කලාකරුවෝ කියාගෙන ඉන්න අය කොයිතරම් ගෝත්‍රිකද කියලා තමන්ට රටට පෙන්නන එක නම් හරිම හොඳයි. තමන්ට තමන්ගෙ රෙද්ද කඩලා දාලා තමන්ගෙ හෙළුව පෙන්නන වැඩ තමයි මේවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව එක දිගට කඩේ ගිය කලාකාරයො අතරෙ මේ ගායක ජෝඩුවත් උඩින්ම හිටියා. තාමත් බත් බැලයෝ වගේ මේ කලාකාර නඩේ මේ කඩේ යෑම  කරගෙන යනවා. මේ අය තමයි මහින්ද රාජපක්ෂට කියන්නේ ගහලවත් ආපහු බලය උදුරගන්න කියලා. ප්‍රගතිශීලි කලාකරුවො වෙනුවට මේ වගේ වහල්ලු තමයි අපේ රටේ කලාවට පහළවෙලා ඉන්නේ.

අපි දකිනවා මීඩියාවලට එහෙම ආවම ඔය රෝහණ බැද්දගේලා වගේ අය දෙන ධර්ම ටෝක්. බුදු අම්මෝ ඒවනේ කතා, සදාචාරය, සාරධර්ම, සංස්කෘතිය ගැන මාර ලොකු ටෝක් දෙන මේ අයගේ සදාචාරෙ ගැන වෙනම ප්‍රශ්න කරන්න මේ අය වලිකන්නේ ආපහු රාජපක්ෂලට බලය ලබාදෙන්න. ඒත් අපි දැක්කා රාජපක්ෂලා බලයේ ඉන්නකොට පොඩි රාජපක්ෂ කෙනෙක් එක්ක ඔය ඉරාජ් වීරරත්න කියන ජාතියේ පිනට පහල වෙච්ච කලාකරුවා ගෑණු ළමයින්ගේ ඉස්කොලකට බලෙන් පැනලා නටපු නාඩගම. රෝහණ බැද්දගේලා මේ වලිකන්නේ මේ වගේ දේවල් ආපහු ඇති කරන්නද? මේ කරන වැඩ දැක්කම මේ අයගේ ඉගනිකට පැහුණෙ පීනසටද කියලත් වෙලාවකට හිතෙනවා.

රටක කලාකාරයො ඉන්න ඕන දේශපාලකයන්ට කඩේ යන්නවත් දේශපාලකයන්ගේ කකුල් ලෙවකාලා වරදාන වරප්‍රසාද අරගෙන හිඟන්නො වගේ ජීවත් වෙන්නවත් නෙවෙයි. රටක කලාකාරයෝ තමයි ප්‍රගතිශීලීව සමාජයට මග කියන්න ඕන. ඒත් අපේ රටේ කාලාකරයෝ තමයි දේශපාලකයන්ටත් වඩා තක්කඩි කාලකන්නි වැඩ කරන්නේ. මේ චෝදනාව සියලු කලාකාරයන්ට අදාළ නෑ. ඇත්ත කලාකාරයන්ට මේ චෝදනාව අපි එල්ල කරන්නෙ නෑ. ඇත්ත කලාකාරයො අතළොස්සක් හැම කාලෙම හිටියා. ඒ අය කාටවත් කවදාවත් කොන්ද නමන්නේ නැතුව තමන්ගේ වැඩ කරනවා. ඒත් කරුමෙට අපේ රටේ දේශපාලකයෝ හොඳට ඉඳපු ගොඩක් කලාකාරයින්ගෙත් කොඳු කැඩුවා.

අපි මේ වහල් කලාකාරයන්ට කියන්නෙ පුළුවන් නම් තමන්ගේ කලාකාර ජීවිතයට ගෞරවයක් වෙන විදියට කටයුතු කරන්න. එහෙම කරන්න අදහසක් නැත්තම් තමන් ගොඩනගාගත් නිර්මාණ ජීවිතයත් විනාශ කරගෙන කැන්සල් වෙච්ච චරිතයක් විදිහට කුණු කූඩයට වැටෙන්න. තීරණය ඒ අය අතේ තියෙන්නේ.

ප්‍රියන්ත කොඩිප්පිලි