විජේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180216Vije-1අද පෙබරවාරි 16 වැනිදා. මීට අවුරුදු 30කට කලින්, ඒ කියන්නේ 1988 පෙබරවාරි 16 වෙනිදා අපේ සිනමාවට සුදු කොඩි වැටුණු දවසක්. ඒ විජය කුමාරතුංගගේ ඝාතනය නිසා. අපේ සිනමාව බිහි කරපු ආකර්ෂණීයම නළුවා විජය කියන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. එහෙව් විජය කුමාරතුංග සිනමාවට නැතිවෙලා අවුරුදු තිහක්. මේ අවුරුදු තිහට අපේ සිනමා මුහුණ දුන් අර්බුද අතරට විජය කුමාරතුංග වගේ අයගේ අඩුවත් විශේෂ තැනක් ගන්නවා.

විජය ජනප්‍රියත්වයේ නාරටියේම ඉන්න මොහොතේ තමයි ඝාතනය වෙන්නේ. විජය මිය ගියාට විජය රඟපාපු චිත්‍රපට කීපයක්ම තිරගත වුණා. මිය ගිය විජය ජීවත්ව ඉඳපු විජයට වඩා ජනතාවට සමීප වුණා. මේ අවුරුදු තිහට සිනමාව ගැන කතා කෙරුණු බොහෝ කතාබහේදී විජය මාතෘකාවක් වුණා.

විජය ජනප්‍රිය සිනමාවේ ඉහළින් හිටියා. විජය නිසා චිත්‍රපටි දිව්වා. දිව්වා කියන්නේ පැල් බැදගෙන දිව්වා. ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට හදපු අධ්‍යක්ෂවරුන්ට තම තමන්ගේ චිත්‍රපටි වලට විජයගෙන් දිනයක් ගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වුණා. එහෙම ඉඳලා හරි විජයවම ගන්න ඒ අය තීරණය කළා. මේ තරු ගුණය විජය තරම් කාටවත් උරුම වුණේ නෑ. ඒක පුදුම හිතෙන තරමේ ප්‍රභාවක්. කලාතුරකින් කෙනෙකුට පිහිටන ලක්ෂණයක්.

මේ තරම් තරුවක් විදියට ජනප්‍රිය සිනමාව බබළවපු විජය කුමාරතුංගම තමයි අපේ සිනමාවේ දෙවෙනි කැරැල්ලේ මහ මොළකරු වෙච්ච ධර්මසේන පතිරාජටත් නැතුවම බැරි වෙන්නේ. ධර්මසේන පතිරාජ අපේ සිනමාව දේශපාලනිකව වෙනස්ම පැත්තකට නවද්දි පතිරාජගේ හොඳම තුරුම්පුව වෙන්නේ විජය කුමාරතුංග.

‘අහස් ගව්ව’, ‘පාර දිගේ’, ‘බඹරු ඇවිත්’, ‘එයා දැන් ලොකු ළමයෙක්’ වගේ පතිරාජගේ ගොඩාක් චිත්‍රපටි වල ප්‍රධාන නළුවා විජය. වසන්න ඔබේසේකරට ‘කැඩපතට ඡායා’ වගේ චිත්‍රපටියකට ඕන වෙන්නේ විජය. සුමිත්‍රා පීරිස්ට විජය ඕන වෙනවා. මේ විදිහට බලද්දී විජය කියන්නේ ජනප්‍රිය සිනමාවේ වගේම කලාත්මක සිනමාවෙන් ගේමක් ගහන්න පුළුවන් වෙච්ච මිනිහෙක්. කලාත්මක සිනමාවේ විජයගේ දායකත්වය මීට වඩා සැලකිය යුතු මට්ටමේ කතාබහක් ඇතිවිය යුතුයි. මොකද මේ විජයගේ දෙපැත්තක බැලන්ස් කිරීම අහම්බයක් නෙවෙයි.

20160830Sara-1විජය කුමාරතුංග සිනමාවට අඩිය තියපු ‘හන්තානේ කතාව’ චිත්‍රපටිය කියන්නෙත් වෙනස්ම වැඩක්. ඒක තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඉඳලා ධර්මසේන පතිරාජට එන අතරේ අපේ සිනමාවට වෙන තැනකින් වෙට්ටුවක් දාපු තැන. ඒ වෙට්ටුව දාන්නේ සුගතපාල සෙනරත් යාපා. සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව’ නොහදන්න පතිරාජලා, විජයලා කොහෙන් සිනමාවට එන්ටර් වෙයිද කියලා කියන්න බෑ. සුගත්ගේ ‘හන්තානෙ කතාවෙන්’ තමයි ඊළඟ කැරැල්ලට හොඳම ආයුධ ටික එළියට බහින්නේ. සුගතපාල ද සිල්වාගේ සහායකයා විදියට හන්තානේ කතාවේ වැඩ කරලා තමයි ‘අහස් ගව්ව’ හදලා පතිරාජ කැරැල්ලකට මුලපුරන්නේ. ඒක නිසා ධර්මසේන පතිරාජගේ ක්‍රියාන්විතයේ මුල සුගතපාල සෙනරත් යාපාලගෙ පන්තිය කියන එක අමතක කරන්න  බෑ.

විජය කියන්නේ කඩවසම් රූපෙන් විතරක් ගේම ගොඩ දාගත්තු නළුවෙක් නෙවෙයි කියන කාරණාව තමයි ඊළඟ කතාබහට ලක්විය යුත්තේ. එහෙනම් මිනිහා කොහොමද මේ වැඩේ කළේ. විජය කියන නළුවා ලිහල බලන්න ඕන මේ කාරණා ඉස්සර කරගෙන. ශෂී විජේන්ද්‍රලා පවා ජනප්‍රියම නළුවො වෙච්ච රටේ විජය කුමාරතුංග මේ තැනට ආවේ ලස්සනට වඩා වැඩි දෙයක් මිනිහ ළඟ තිබුණු නිසා.

 

ප්‍රියන්ත කොඩිප්පිලි