ජීවිතේ කට්ටක් කාලා එන තැන තමයි ජීවිතේ වැදගත්ම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

20210406nethra-4

ජනප්‍රිය රූපවාහිනී ආයතන රැසකම නිවේදිකාවක් ලෙස කටයුතු කරන නේත්‍රා ජයවර්ධන මේ වනවිට මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි ශිල්පිනියකි. නිවේදන වෘත්තියට අමතරව ඇය වෙළඳ දැන්වීම් නිරූපිකාවක් ලෙසද කටයුතු කරන්නීය. එමෙන්ම ලොතරැයි නිවේදිකාවක් ලෙසත් ඇය ජනප්‍රියය. එම නිසා මෙවර සාරවිට කතාබහකට නේත්‍රාව සම්බන්ධ කරගන්නට අප සිතුවෙමු.

ඔබව හඳුන්වා දුන්නොත්?

මම නේත්‍රා ජයවර්ධන. කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිධාරිණියක්. වෘත්තීයෙන් රූපවාහිනි නිවේදිකාවක්. ඒ වගේම දැන් මම ව්‍යාපාරිකාවක් විදිහටත් කටයුතු කරනවා.

නිවේදන ගමන පටන් ගන්නේ?

මම මුලින්ම ඉගෙනගත්තේ නීතීඥවරියක් වීමට. නීති ප්‍රවේශ විභාගයේදී මට ලකුණු නවයක් මදිවුණා. මම කවදාවත් නිවේදිකාවක් වෙන්න හිතලා නැහැ. පාසැලේවත් මම නිවේදනය කරලා නැහැ. පාසලේදී ක්‍රීඩාවයි සංගීතයයි කළේ.

මම කලා අංශයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. එහිදී මට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබුණා. හැබැයි මට පොඩි කාලේ ඉඳලාම කැම්පස් යන්න කිසිම ආශාවක් තිබුණේ නැහැ. මට ඕනේ වුණා වෙනම පැත්තකට යන්න. මම පුවත්පත් දැන්වීමක දැක්කා TV ලංකා නාලිකාවට නවක ශිල්පීන් බඳවා ගන්නවා කියලා. මම ගෙදරට හොරෙන් ඒකට ඇප්ලයි කළා. ඊටපස්සේ මාව ඒකේ ප්‍රවෘත්ති සහ වැඩසටහන් නිවේදිකාවක් විදිහට තෝරාගත්තා. ඒත් මට එහි මාස තුනක්වත් වැඩ කරන්න ලැබුණේ නැහැ‍. දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ශෙහාන් බරණගේ මහත්මයාගෙන් ආරාධනාවක් ආවා දෙරණට සම්බන්ධ වෙන්න කියලා.

දෙරණට සම්බන්ධ වුණාට පස්සේ?

මම දෙරණ ටීවී ඒකේ කාලයක් නිව්ස් ප්‍රසන්ටින් කළා. ඒ කාලේ රටේ යුද්ධය තිබුණු කාලේ. බෝම්බ ගහපු තැන්වලට යන්න සිද්ධ වුණා. ඒ නිසා ගෙදරින් ප්‍රශ්න ආවා. ගෙදරින් කරදර කළා අයින් වෙන්න කියලා. හැබැයි ඒ මගේ ජීවිතේ මම ආසම කාලේ. මගේ ජීවිතයට වැදගත්කමක් ඇති කරපු කාලය තමයි දෙරණේ හිටපු කාලේ. ගෙදර බලවත් පෙරැත්තය මත මම දෙරණින් ඉවත් වුණා. ඊටපස්සේ ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණා. මහජන සේවය පිණිසයි දේශපාලන වැඩසටහන සහ good afternoon ශ්‍රී ලංකා කියන වැඩසටහන් දෙක මම එහිදී ඉදිරිපත් කළා.  

20210406nethra-2

ඔබ ලොතරැයි නිවේදිකාවක් ලෙසත් ජනප්‍රියයි?

ස්වර්ණවාහිනියේ වැඩකරන අතරතුර මම දැක්කා ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩසටහන් නිවේදිකාවන් ගන්නවා කියලා. ඒකට මගේ යාළුවෙක් තමයි මාව දාලා තිබුණේ. ඒකේ සම්මුඛ පරීක්ෂණයට ලංකාවේ හතර පැත්තෙන්ම ලක්ෂ ගාණක ළමයි ඇවිත් තිබුණා. නමුත් අවසානයේදී දහ දෙනෙක් වගේ තමයි තේරුණේ. ස්වර්ණවාහිනියේ වැඩ කරන කාලේදිම තමයි මම ඒකට සම්බන්ධ වුණෙත්. එහිදී ස්වර්ණවාහිනියෙන් කිව්වා දෙකෙන් එකක් තෝරාගන්න කියලා. ඒ නිසා මම ස්වර්ණවාහිනියට සමුදුන්නා. මොකද මට ජාතික ලොතරැයි මණ්ඩලය ගොඩක් විශේෂ වුණු නිසා. එහි ඉඳුනිල් දිසානායක, රේණුකා බාලසූරිය වගේ අපි ගොඩක් ගරු කරන නිවේදිකාවෝ හිටියා. එයාලාගෙන් ඉගෙනගන්න දේවල් තිබෙනවා අපිට. ඒ එක්කම වගේ මට රූපවාහිනියෙන් ආරාධනා කළා නුගසෙවණ, ෆැෂන් ඔෆ් ශ්‍රී ලංකා, මංගල මොහොත, රස මොහොත යන වැඩසටහන් ඉදිරිපත් කරන්න. ඉතින් එදා ඉඳලා අද වෙනකල් මම ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් විදිහට වැඩ කරනවා.

මාධ්‍ය ජීවිතයට කොච්චර කාලයක් ‍වෙනවාද?

දැන් අවුරුදු පහළොවක් විතර.

ඒ කාලය තුළ ලැබුණු අත්දැකීම් කොහොමද?

ඇත්තටම මම අදට වුණත් විශ්වාස කරනවා අපි ජීවිතේ කට්ටක් කාලා එන තැන තමයි ජීවිතේ වැදගත්ම තැන කියලා. මේක දෝෂාරෝපණයක් නෙවෙයි. හැබැයි ආයතනවල ලොකු පුටුවලින්, දේශපාලන බලයෙන්, තමන්ගේ රූපයෙන් හෝ වෙන වෙන මාර්ගවලින් දක්ෂතාවයක් නැතුව නිවේදන ක්ෂේත්‍රයට එන අය අද ඉන්නවා. හැබැයි මාධ්‍ය ජීවිතය කියන්නේ උගත්කම වගේම අත්දැකීම් තියෙන්න ඕනේ රැඳෙන්න. එහෙම නැතිව කෙටි මාර්ගවලින් එනවා කියන්නේ පැවැත්ම අඩුයි. මම ආව විදිහ ගැන මම සන්තෝස වෙනවා. ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නේ ආමාරු කාර්යයක්. හැමෝටම එතනට එන්න බැහැ.

ජාතික රූපවාහිනිය ළඟ නවතින්න ලැබීම මොන වගේද?

අදටත් මට දෙරණට ලොකු ගරුත්වයක් තිබෙනවා. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි මට ලැබුණු හොඳම තැන ජාතික රූපවාහිනිය කියලා. ලංකාවේ තිබෙන සංස්කෘතිය ඇතුළේ ඉතාමත් හොඳට ගැවසෙන ආයතනයක් තමයි ජාතික රූපවාහිනිය කියලා කියන්නේ. පොඩි කෙනෙක්ගේ සිට වැඩිහිටියෙක් දක්වා එකට ඉඳගෙන බලන්න පුළුවන් නාලිකාවක් තමයි ජාතික රූපවාහිනිය. වැඩසටහන්, ටෙලි නාට්‍ය ඇතුළු මතකයේ රැඳෙන නිර්මාණ අතින් ජාතික රූපවාහිනිය ඉහළම තැන තියෙන්නේ. ඒකේ ඉන්න පිරිස වුණත් බොහෝ අත්දැකීම් සහිත අය. ඉතින් මම හිතනවා හැම තැනකින්ම අත්දැකීම් අරගෙන ජාතික රූපවාහිනියේ නවතින්න ලැබුණු එක ගොඩක් හොඳයි කියලා.

නේත්‍රා, රංගනයෙන් ආරාධනා ලැබිලා නැද්ද?

මම දැනටත් වෙළඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. සිරසේ විකාශය වුණු සඳ සාක්කි කියන ටෙලි නාට්‍යයේ මම දෙවන ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වුණා. හැබැයි ඊටපස්සේ රංගනයත් එක්ක මට වැඩ කරන්න බැහැ කියලා තේරුණා. මොකද ෂූට් ඉවර වෙද්දි රෑ වෙනවා, එකදිගට වැඩ කරන්න වෙනවා. ඒ වගේ දේවල් නිසා මගේ වෘත්තීය මග හැරෙන්න පුළුවන්.

සජීවි වැඩසටහන් අතරතුර වැරදීම් සිදුවෙලා නැද්ද?

මම ටිකක් සංවේදී කෙනෙක්. දෙරණේ ප්‍රවෘත්ති කියද්දි සමහර වෙලාවට මම වෙවුලනවා. ගොඩක්ම යුධ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මම ගොඩක් එහෙම අඬලා තිබෙනවා. එක අවස්ථාවකදී මම විෂුවල් එක යන අතරතුර අඬනවා. මගේ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා එකපාරටම ඇවිත් මගේ මයික් එක ගලවලා පුටුවේ ඉඳගත්තා. TV ලංකා නාලිකාවේ ඉද්දිත් ඒ වගේ සිදුවීමක් වුණා. සජීවී වැඩසටහනක් අතරතුර මට කැස්සක් ඇවිත් නවත්වාගන්න බැරි වුණා. TV ලංකා කියන්නේ සැටලයිට් නාලිකාවක්නේ. ඒ අවස්ථාව මම හිතන්නේ ලෝකයම සජීවීව දකින්න ඇති. ඒ වගේ දේවල් නිවේදිකාවක් විදිහට වෙන්න බැරි වැරදියි.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ලොකු බලාපොරොත්තු නැහැ. මගේ මාධ්‍ය ජීවිතයෙන් පසුව මම මගේ විලාසිතා ව්‍යාපාරයට මූලිකත්වය දීලා තියෙන්නේ. මම කොහොමත් ෆැෂන් කරනවා. පුළුවන් කාලයක් මගේ වෘත්තියේ රැඳිලා ඉන්නවා.

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

නම් වශයෙන් කියන්න ගියොත් විශාල පිරිසක් ඉන්නවා. සමහරවිට මේ අවස්ථාවේදී නම් ගොඩාක් අමතක වෙන්නත් පුළුහන්. ඒ නිසා මේ මම මේ ක්ෂේත්‍රයට ආවාට පස්සේ මට උදව් කළ හැමදෙනාටම ස්තුතියි කරනවා.

කැළුම් දේවින්ද

20210406nethra-1 20210406nethra-3 20210406nethra-5