බැති ගී දයාව පරම්පරා තුනක එකතුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210520sanuka-1

ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහගේ පුත්‍රයා වන සනුක වික්‍රමසිංහ පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ සංගීතය වෙනස් මගකට ගෙනගිය නිර්මාණකරුවෙකි. ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන සනුක එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ වූ සංගීත වැඩසටහනක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. එනම් 'බැති ගී දයාව' නම් ගීත ඇල්බමයක් එළි දැක්වීමය. මේ පිළිබඳව සනුක 'අද' පුවත්පත සමග කතාබහකට එකතු වූයේ මෙලෙසිනි.

මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කළොත්?

මේ කෝවිඩ්-19 වසංගතය සහ පාස්කු ප්‍රහාරයත් එක්ක ප්‍රසංග සියල්ලම නැවතුනානේ. කඩින් කඩ ඇතැම් ප්‍රසංග කරන්න ලැබුණේ.මම හිතන්නේ ඒ නිසා මට නිර්මාණකරණයට වෙලාව යොදන්න ලොකු ඉඩක් ලැබුණා. මේ තත්ත්වයෙන් හොඳක් වුණා නම් වුණේ මට නිර්මාණකරණයට යෙදෙන්න වෙලාව ලැබුණු එක.

ඔබේ ‘බැති ගී දයාව’ වැඩසටහන ගැන කතා කරමු?

මේ වසරේදී මගේ සැලැස්මක් තිබුණා මගේ ගීත ඇල්බමයක් නිකුත් කරන්න සහ ‘බැති ගී දයාව’ වැඩසටහන කරන්න. මේ තමයි බැති ගී දයාව කරන්න පුළුවන් හොඳම කාලය කියලා හිතලා මම තීරණය කළා මේක කරන්න. බැති ගී දයාවේ බොදු බැති ගී දහයක් තිබෙනවා. මේ ගීත දහයම මගේ සීයා වන දයා වික්‍රමසිංහ මහතා පද රචනය සහ තනු නිර්මාණය කරලා ඉදිරිපත් කරපු ගීත. නමුත් මේ ගීතවල වචන සහ තනුව විතරයි මගේ අම්මටයි තාත්තටයි මතක තිබුණේ. මොකද මේ ගීත ඒ කාලේ පටිගත කරලා නැහැ. මේ ගීත සියල්ලම 1976දි නිර්මාණ වුණු ගීත. ඉතින් ඒ ටික භාවිතා කරලා මගේ පියා සංගීත් වික්‍රමසිංහ සංගීත අධ්‍යක්ෂණය කළා. මම නව පරපුරට ගැළපෙන ආකාරයට සංගීත නිර්මාණය සිදු කළා. මේක පරම්පරා තුනක එකතුවක් කිව්වොත් නිවැරදියි.

මේ නමින් ගීත ඇල්බමයක් කරන්න අදහස එන්නේ කොහොමද?

මේ ගීත ගම්පහ පහළගම කියන ගමේදි සීයා නිර්මාණය කරපු ගීත. එතකොට මගේ අම්මා, තාත්තා සහ ඒ කාලේ එයාලාගේ සම වයසේ හිටපු ළමයින්වත් එකතු කරගෙන සීයා වෙසක් උත්සවය වෙනුවෙන් සමාජ මෙහෙවරක් හැටියට භක්ති ගීත වැඩසටහනක් කරලා තිබෙනවා. ඉතින් ඒවා මගේ අම්මාගෙයි තාත්තාගෙයි ආත්මය හා බැඳුණු අත්දැකීමක් වෙලා තිබෙනවා. එයාලගේ ළමා කාලය ගෙවිලා තිබෙන්නේ මේ ගීත සමග. අපි කුඩා කාලේදීත් අම්මායි තාත්තායි මතක් කරන්නේ මේ ගීත ගැන. අපි කට්ටිය එකතු වුණාමත් මතක් කරන්නේ සීයාගේ භක්ති ගීත වැඩසටහන්වලදී සිදුවුණු සිදුවීම්. අම්මායි තාත්තායි ඒ ගීත කියන කියන වාරයක් පාසා මට දැණුනා ඒ ගීතවල ලොකු වටිනාකමක් තිබෙනවා කියලා. ඒ වගේම මට ආසාවක් ආවා මේ ගීත ටික ආයෙත් කරන්න. ඒක මගේ පියාත් මීට කලින් කරන්න උත්සාහ කළත් ඔහුට කරගන්න බැරි වුණා. නමුත් ලෝකයේ මේ තිබෙන තත්ත්වයත් එක්ක මට හිතුණා මේ ගීත එළියට දෙන්න පුළුවන් හොඳම වෙලාව මේක තමයි කියලා.

20210520sanuka-3

අපිට ගන්න පුළුවන් සියලු දේ බුද්ධ චරිතයේ තිබෙනවා. අපිට මේ වෙලාවේ ජාතියක් විදිහට මිනිසුන්ට ශක්තියක් වෙන්න අදාළ කරගන්න පුළුවන් දේවල් මේ ගීත හරහා දෙන්න පුළුවන්. ඒ වගේම සෘණාත්මක දේවලින් හැමෝගේම හිත් පිරවිලා තිබෙන මොහොතක ඒ හැම හිතක්ම නිවන්න මේ ගීතවලින් පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

ඔබේ සීයා, දයා වික්‍රමසිංහ පිළිබඳව බොහෝ දෙනා දන්නේ නැහැ. ඔහු ගැන කිව්වොත්?

අපේ සීයා පොඩි කාලේ ඉඳලාම සංගීතයට ගොඩක් නැඹුරු කෙනෙක්ලු. මම දන්න විදිහට සීයා එයාගේ අම්මාට විතරක් දන්වලා ගෙදරින් ගිහිල්ලා තිබෙනවා සංගීතය ඉගෙන ගන්න. එහෙම ගෙදරින් ඇවිත් සීයා ලයනල් එදිරිසිංහ මහත්මයා ළඟ ගුරුකුල කියන අධ්‍යාපන ක්‍රමයට එතුමන්ගේ ගෙදර නැවතිලා ඉගෙනගෙන තිබෙනවා. ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා ලයනල් එදිරිසිංහ මහත්මයාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා නිදහස් උත්සවයට ශ්‍රී ලංකාවේ තිබෙන වාද්‍ය භාණ්ඩ තුළින් සංගීත කණ්ඩායමක් හදලා ඒක ඉදිරිපත් කරන්න කියලා. ඒ දවස්වල දේශීය වාද්‍ය භාණ්ඩ වාදනය කරපු සංගීත කණ්ඩායම් නිදහස් උළෙලට තිබිලා නැහැ. එතනදී ලයනල් එදිරිසිංහ මහත්මයා මගේ සීයාව තමයි යෝජනා කරලා තිබෙන්නේ ඒ වැඩේට.

ඒකත් එක්ක මගේ සීයා 1955 ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙනවා. ලංකාවේ පළවැනි දේශීය සංගීත භාණ්ඩ භාවිත කරන තූර්ය වාදක කණ්ඩායම නිර්මාණය කරන්නේ මගේ සීයා. ඒ එක්කම කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලය, ආනන්ද නාලන්ද වැනි පාසල්වල දේශීය වාද්‍ය භාණ්ඩ භාවිත කරලා තූර්ය වාදක කණ්ඩායම් නිර්මාණය කරන්නේ මගේ සීයා.

මෙහි ගීත ගායනා කරන්නේ කවුද?

ප්‍රධාන වශයෙන් මම, මගේ පියා සහ වින්ඩි ගුණතිලක මෙහි ගීත ගායනා කරනවා. ඒ වගේම පසුබිම් ගායනයෙන් වොයිස් ටීන් රියැලිටි තරගාවලියේ මගේ කණ්ඩායම නියෝජනය කළ දරුවන් 10දෙනෙක් එකතු වෙලා තිබෙනවා.රූප මාධ්‍ය නිර්මාණය කිරීම සිදුවන්නේ VIHAYAS කණ්ඩායමෙන්.

මෙම වැඩසටහන නරඹන්න පුළුවන් කොහොමද?

මේක ගීත දහයක ඇල්බමයක් විදිහට තමයි ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. ඇල්බමයක් කිව්වාම අපේ ඔළුවට එන්නේ ගීත තැටියක් කියලානේ. එහෙම නෙවෙයි. බැති ගී දයාව ඩිජිටල් ෆ්ලැට්ෆෝම්වල එළිදක්වනවා. ඇපල් මියුසික්, spotify ඇතුළු සියයකට අධික ෆැල්ට්ෆෝම්වල මෙය ශ්‍රව්‍ය මාධ්‍යයෙන් එළිදක්වනවා. ඒ වගේම රූප මාධ්‍යයෙන් මගේ නිල යූ ටියුබ් නාලිකාවෙන් තනි ගීත වශයෙන් එළිදක්වනවා. ඊට අමතරව වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාළිකාවකින් හවස හයට වැඩසටහනක් ලෙසින් විකාශය වෙනවා.

කැළුම් දේවින්ද

20210520sanuka-2