විවිධ විදිහට මනාලියන්ට අඳින්න ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ නිරූපණ ශිල්පිනියක් වන හිරුණි ඉෂාරා මේ වනවිට වෙළඳ දැන්වීම්, ගීත රූප රචනා ඇතුළු නිරූපණ ක්ෂේත්‍රයේ පැති කිහිපයකටම සම්බන්ධ වී සිටිනවා. නමුත් ඇය ඉදිරියේදී වෙළඳ දැන්වීම්වලින් සහ රූප රචනා ක්ෂේත්‍රය තුළින් ඉවත් වීමේ බලාපොරොත්තුවකින් පසුවනවා. එයට හේතුව සහ ඇයගේ ඉදිරි වැඩකටයුතු ගැන දැනගන්න හිරුණිව සාරවිට කතාබහකට එකතු කරගන්නට අප උත්සාහ කළා.

හිරුණි මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල මියුසික් වීඩියෝ දෙකකට සම්බන්ධ වුණා. ඒ දෙක ළඟදීම එනවා. ඊට අමතරව සුපුරුදු පරිදි බ්‍රයිඩ්ල් ෂූට් කරගෙන යනවා. කෝවිඩ් නිසා දැන් නම් ගෙදරට වෙලා ඉන්නවා.

හිරුණි ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ නම් 2018දි. ජනප්‍රිය ගායකයෙක් වන චිලී තිලංකගේ ඇඳුම් ව්‍යාපාරයේ ෆොටෝෂූට්වලට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. ඔහු තමයි මාව ක්ෂේත්‍රයට ගේන්නේ. එතනින් තමයි මගේ නිරූපණ ගමන ආරම්භ වෙන්නේ.

මේ වෙද්දි දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

වෙළඳ දැන්වීම් කිහිපයකට දායක වෙලා තිබෙනවා. ඒ වගේම මියුසික් වීඩියෝස් 25කට විතර නිරූපණයෙන් දායක වෙලා තිබෙනවා. මම අන්තිමටම සම්බන්ධ වුණේ භාචි සුසාන්ගේ ගීතයකට. ඊට අමතරව බ්‍රයිඩ්ල් ෂූට්, කැෂුවල් ෂූට්වලටත් දායක වෙලා තියෙනවා.

කෝවිඩ් නිසා පහුගිය කාලේ වැඩ ගොඩක් මග හැරුණාද?

ඔව්. ඒ දවස්වල මියුසික් වීඩියෝ කරන්න බැරි වුණා. වෙළඳ දැන්වීම් තුනක් වගේ තමයි කරන්න ලැබුණෙත්. කොරෝනාත් එක්ක ගොඩක්ම ගෙදර ඉන්න වුණා. ඇඳිරිනීති ඉවර වුණාම බ්‍රයිඩ්ල් ෂූට් නම් ගොඩක් කළා. අපි පරිස්සම් වෙන්නත් ඕනේනේ. ඒ නිසා පහුගිය කාලේ මාත් මගේ ආරක්ෂාව තහවුරු කරගත්තා.

ඔබ වෘත්තීමය නිරූපණ ශිල්පිනියක්ද?

නැහැ. මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. ඉස්සරහට මම මියුසික් වීඩියෝවලට සහ වෙළඳ දැන්වීම්වලින් ඉවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ ඇයි?

ඇත්තටම මම ඉදිරියේදී මගේ රැකියාවට ප්‍රමුඛත්වය දෙන්න හිතුවා. හැබැයි නිරූපණයෙන් ඈත් වෙන්නේ නැහැ. බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදිහට දිගටම වැඩ කරනවා. මට රැකියාව ගොඩක් වටිනවා. නිරූපණය කියන්නේ මගේ විනෝදාංශයක්. මම විවිධ විදිහට මනාලියන්ට අඳින්න ආසයි. ඒක නිසායි මම බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදිහට වැඩ කරන්න වැඩිපුරම කැමති.

මේ වෙද්දි කී පාරක් මනාලියෙක් විදිහට හැඩ වෙලා තිබෙනවාද?

බ්‍රයිඩ්ල් ෂූට් 150ක් විතර කරලා තියෙනවා. උඩරට, පහතරට හැම විදිහකින්ම ෂූට්වලට දායක වුණා.

ඔබට රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. ඒත් මට රඟපෑම පැත්තෙන් එහෙම විශේෂ කැමැත්තක් නැහැ. මම හිතන්නේ මට රඟපාන්නත් බැහැ. මට නිරූපණ ශිල්පිනියක් වෙන්න තමයි ආසාවක් තිබුණේ.

ජනප්‍රිය නිරූපිකාවක් වෙන්න කැමති නැද්ද?

ආසාවක් තිබෙනවා. ඊට වඩා මම මගේ රැකියාවට මූලිකත්වය දෙන්න ඕනේ. ඒ නිසා මම ගොඩක් වැඩ බාරගන්නේ නැහැ.

පාසැලේදීත් කලාවට ලොකු ඇල්මක් දැක්වූවාද?

මෙහෙමයි. මම නර්තනය හැදෑරුවා. උසස් පෙළටත් කළේ නර්තනය. ඒ හැරුණුකොට පාසැලේදී වෙනත් කලා වැඩවලට සම්බන්ධ වෙලා නැහැ. පාසැලේදීත් වැඩියෙන්ම මුල්තැන දුන්නේ ඉගෙනීමටනේ.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

මගේ තාත්තා කැමති වුණේම නැහැ. ඔහු තාමත් වැඩි කැමැත්තක් නැහැ. හැබැයි අම්මා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. හැමතිස්සේම අම්මා මගේ පස්සෙන් ඉන්නවා.

'බ්‍රයිඩ්ල් මොඩ්ලින්'වල ශිල්පීන් ගැන මොකද හිතන්නේ?

ඇත්තටම එයාලා නිරූපණ ශිල්පිනියන්ට වැඩවලදි ලොකු සහයෝගයක් ලබා දෙනවා. රූපලාවන්‍ය ශිල්පීන්, ඇඳුම් නිර්මාණ ශිල්පීන් වගේ ඡායාරූප ශිල්පීන් එක්ක වැඩ කරන්න ගොඩක් පහසුයි. ඒ වගේම ඒ ක්ෂේත්‍රයේ ඉන්න නිරූපණ ශිල්පිනියන් පවා හොඳ සහයෝගයකින් වැඩ කරනවා.

රූ රැජිනි තරඟාවලිවලට සම්බන්ධ වෙලා නැද්ද?

නැහැ. ඒවා ගැන මට ලොකු කැමැත්තක් නැහැ.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ඉදිරියේදී මම රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ලබන වසරේදී වගේ සිදු වෙයි. ඒ වගේම දැනට ලැබෙන ආරාධනා සමගින් ක්ෂේත්‍රයේ ඉදිරියට යනවා.

විශේෂයෙන් මතක් කළ යුතු අය කවුද?

මගේ අම්මාව මතක් මුලින්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ යාළුවෝත් මේ ගමන පිටුපස ඉන්නවා. ඔවුන්වත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම චිලී තිලංකටත් ස්තූතියි කරනවා.

සාකච්ඡා - කැළුම් දේවින්ද 

20210428Hiruni (5) 20210428Hiruni (4) 20210428Hiruni (3) 20210428Hiruni (2) 20210428Hiruni (1)