කඳුකරයේ මල් සැණකෙළියේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරු පෑව්වද පිනි වැස්සේ නිමක් නොමැත. සට සට ගා වැටෙන ඒ සිහින් වැසිපොද අතරින් හමන පවනේද සීතල මුසුවී තිබේ.
සාමාන්‍යයෙන් හිරු සමඟ මිතුරු වන්නේ උණුසුම මිස සීතල නොවේ. මේ සීතල පවනේ නැළවෙන විසල් සුන්දර මල් පෙති මතට පිනි වරුසා වැටී අහසේ විස්තර කොඳුරා කියනවා දැයි සැක සිතේ. 

රතු, දම්, තැඹිලි, කහ, සුදු වැනි විවිධ පාටවලින් පිපුණු සුවඳැති මල් ගොමු හැම තැනමය. බමරු මී මැස්සන් මෙන්ම සමනලුන්ද කලබලයෙනි. කොයි වත්තට පියඹනවාද කොයි මලක වහනවාද යන්න සිතා ගත නොහැකිවය.
ඒ තරමටම මල්ය.
හැම ගෙදරකම මල්ය
හැම උයනකම මල්ය
මේ තරම් මල්?
ඔව්! කඳුකරයේ මල් සැණකෙළි පැවැත්වෙන තාක්කල් නුවරඑළියම එකම මල්වත්තක් සේ පෙනේ. 
මේ මල් බලන්නටම නැතිනම් මල් සැණකෙළි බලන්නටම දහස් සංඛ්‍යාත පිරිස් නුවරඑළියට පැමිණෙති. ඉතින් මේ වසන්තයේද නුවරඑළියේ වසන්ත උත්සවයට හෙවත් කඳුකරයේ මල් සැණකෙළියට කොළඹින් මෙන්ම ලංකාවේ බොහෝ ප්‍රදේශවලින්ද විදේශීය රටවල්වලින්ද දහස් ගණනක් පැමිණ සිටිති. ඔවුහු නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි වික්ටෝරියා උද්‍යානයේ ඇති මල් ප්‍රදර්ශන කුටි අතරද ග්‍රෙගරි වැව අසල ඇති උද්‍යානයේද සතුටින් සැරිසරති. අඟල් පහක් හයක් තරමේ ලොකු රෝස මල්, ටියුලිප් ඇතුළු විවිධ මල් වර්ග දකිමින් සතුටුවෙති. 

අප්‍රේල් පළවෙනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයකින් පසුව ඇරැඹෙන නුවරඑළියේ මේ සැණකෙළි සමය හැම වසරකම පාහේ පැවැත්වේ. කොවිඩ් හේතුවෙන් වසරක් දෙකක් නොපැවැත්වුණත් මේ වසරේ වසන්ත උත්සවය මේ වනවිටද ඇරැඹී තිබේ.
නුවරඑළියේ වසන්ත සමය ගැන ලියන්නට කලින් නුවරඑළිය ගැන යමක් ලිවිය යුතුය. සිංහල රජ සමයේ එකම වන ගහණයක් වූ නුවරඑළියට ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ පැමිණි දඩයක්කාර සුද්දෝ නරි දඩයමේ ගියහ. සමහර සුද්දන් ගියේ අලි දඩයමේය. මෙසේ දඩයමේ ගිය දඩයක්කරුවෙක් කඳුවලින් වටවුණු සුන්දර බිම් පෙදෙසේ දේශගුණය එංගලන්තයේ වසන්ත සමයේ දේශගුණයට හරියටම සමාන බවද සොයා ගත්තේය. එනිසාම මේ ප්‍රදේශය නිවාඩු නිකේතනයක් බවට පත් කළහොත් නිවාඩුවට එංගලන්තයට යන ලංකාවේ සුද්දන්ට එංගලන්තයට නොගොස් නුවරඑළියට පැමිණිය හැකි බව වටහා ගත්තේය.

එවකට ලංකාව පාලනය කළ ලොකු ලොක්කෝ නුවරඑළිය නගරයක් කරන්නට තීරණය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුකාර බාන්ස් සිය පළමු නිවාඩු නිකේතනය මේ අපූරු ඉසව්වේ ඉදිකරවිය. එම ඉසව්වට නුවරඑළිය යන නම දුන්නේද ඔවුහුය. එදා හාපුරා කියා නුවරඑළියේ හැදූ මන්දිරය අද ග්‍රෑන්ඩ් හෝටලය ලෙස භාවිත කෙරේ. 

නුවරඑළිය නගරයක් බවට පත් කළේ සැමුවෙල් බේකර්ය. නුවරඑළියේ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ නිවෙස් තැනවූයේ ඔහුගේ මූලිකත්වයෙනි. අන්තිමේදී ඇතැම් සුද්දෝ නුවරඑළියේ පදිංචි වූහ. බේකර්-එංගලන්තයේ හැදෙන මල් වර්ග, ගස් වර්ග, එළවළු වර්ග මෙන්ම අශ්වයන් සහ කිරිබර එළදෙනුන්ද නුවරඑළියට හඳුන්වා දුන්නේය. අන්තිමේදී නුවරඑළිය, පුංචි එංගලන්තය ලෙසද හඳුන්වන්නට පටන් ගැනුණි.

එංගලන්ත සුද්දන් අතර ජනප්‍රිය ගොල්ෆ් ක්‍රීඩාව මෙන්ම අශ්ව රේස්ද නුවරඑළියේ ආරම්භ විණි. ඒ 1875දී තරම්ය. මේ අනුව ලෝක ප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩාංගනය 1889 වසරේදී නුවරඑළිය නගරයේ ආරම්භ වූයේය.

මේ වනවිට එංගලන්තයේ ජනප්‍රිය ට්‍රවුඩ් මසුන් නුවරඑළියේ ජලාශවලද පීන පීනා සෙල්ලම් කළහ. එහෙත් සුද්දන්ගේ එක් විනෝදාංශයක් වූයේ මේ ට්‍රවුඩ් මසුන් බිලී බෑමයි. ගොල්ෆ් ගසන අශ්ව රේස් යන සුද්දෝ අන්තිමේදී ට්‍රවුඩ් මසුන් බිලීබෑමද සෙල්ලමක් කර ගත්තෝය. නුවරඑළි නගර මධ්‍යයට අලුතින් වැවක් එකතු වූයේද සුද්දන්ගේ පාලන සමයේදීය. ඒ වැව ග්‍රෙගරි වැව ලෙස නම් ලබයි.
නුවරඑළිය නගරයේ අනෙක් ආකර්ෂණය, වික්ටෝරියා උද්‍යානයයි. 1889 දී ආරම්භ කළ මේ උද්‍යානය අක්කර 27ක පමණ භූමි භාගයක් ආවරණය කරයි. සීතල එංගලන්තයේ හැදෙන විවිධ අලංකාර මල් වර්ග මෙන්ම නුවරඑළියටම ආවේණික මහරත්මල් ද ජපානයේ සකුරා ආදී මල් වර්ග රාශියක් වික්ටෝරියා උයන සරසයි. තැන තැන ඇති ඇල මාර්ගවල ට්‍රවුඩ් මස්සෝ පිහිනති. විවිධ සුවිශේෂ අවස්ථාවලදී රෝපණය කළ සමරු ශාඛ රැසක්ද වික්ටෝරියා උද්‍යානය සතුය. ඒ කොටස ඉතිහාස පොතකැයි කීම අතිශයෝක්තියක් නොවේ.

මෙකී වික්ටෝරියා උද්‍යානයත් ග්‍රෙගරි වැව සහ ඒ අසල ඇති උද්‍යානයත් නුවරඑළියේ වසන්ත උද්‍යානයේ සුන්දර අංගෝපාංගයන්ය. මල් ප්‍රදර්ශන වික්ටෝරියා උද්‍යානයේදී පැවැත්වෙන අතර අශ්ව රේස් පැවැත්වෙන්නේ සුප්‍රකට ‘රේස් කෝස්’ පිට්ටනියේදීය.
මේ තුරඟ තරග පිටිය ආරම්භ කළේ 1875 වසරේදීය. ඉන් වසර විසි පහක් ගිය තැන තුරඟ තරග පැවැත්වීම නුවරඑළියේ සුවිශේෂ සිද්ධියක් බවට පත්විය. එදා ජිම්කානා සමාජය මගින් සංවිධානය කෙරුණු  මේ තුරඟ තරග බැලීමටම බොහෝ පිරිස් නුවරඑළියට රොක් වූහ. ඊට වසර දහයකට පසුව ලංකා ටර්ෆ් සමාජය විසින් මේ තුරඟ තරග සංවිධානය කළ අතර අද දක්වාම නුවරඑළි වසන්ත උදානය තුරඟ තරගවලින් සරසන්නේ ඔවුන්ය.

සෑම වසරකම අප්‍රේල් පළමුවැනිදා ඇරැඹෙන වසන්ත සැණකෙළිය ඒ මාසය පුරාවටම පැවැත්වෙන්නේ දහස් සංඛ්‍යාත ජනතාවකට සතුට විනෝදය ලබාදෙමිනි. මේ නිසාම වසන්ත සමයේදී නුවරඑළියේ හෝටල්, මෙන්ම නවාතැන්පොලවල්ද පිරීයයි. උදේ සිට රාත්‍රිය දක්වාම සැණකෙළියක්ව පැවැත්වෙන නුවරඑළිය මේ කාලයේදී ලංකාවේ වඩාත්ම අසිරිමත්ම නගරය බවටද පත්වේ.

වසන්ත සැණකෙළියේ විවිධ අවස්ථාවලට සහභාගි වන සංචාරකයන්ට නුවරඑළියේ දී තවත් බොහෝ අසිරිමත් දේවල්ද දැක බලාගත හැකිවීම වාසනාවකි. දිය ඇලි, ජලාශ මෙන්ම හෝර්ටන්තැන්න සහ සඳතැන්නද ඒ අතර වේ.

එපමණක් නොව නුවරඑළියේ හැම ගෙයක් ගෙයක් ගානේම මේ කාලයට මලින් බරය. තිබෙන පුංචි ඉඩකඩක වුවත් මලින් බරවූ මල් පඳුරකි. වසන්තයට නුවරඑළිය මලින් සැරැසීම චිරාත් කාලයක පටන්ම නුවරඑළි නිවැසියන්ගේ පුරුද්දකි. මේ ගෙවතුවල අලංකාරත්වය වෙනුවෙන් තෑගි පිරිනැමීමට නගර සභාව කටයුතු කිරීම ඊට ප්‍රධානම හේතුවක් බවද නුවරඑළියේ හිටපු උද්‍යාන පාලක ඇන්ටන් සමන්ප්‍රිය මහතා මා සමඟ පැවැසුවේය.

ඉතින් මේ වසන්තයේ ඔබත් නුවරඑළි සංචාරයක යෙදේ නම් ඔබේ නෙත් අග මලින් පිරුණු සුන්දර වසන්තයක් ඇඳෙනු නොඅනුමානය. පාට පාටින් පිපුණු විවිධ සුවඳින් යුතු මල් කුමරියන් හැම ගෙවත්තකින්ම එබී ඔබටද ඉඟි බිඟි පානු නොඅනුමානය. අතින් නෙලා ගන්නට බැරි වුණත් නෙතින් ළං කරගෙන සිතට තුරුලු කරගන්නට හැකි මේ මල් කුමරියන් පිළිබඳ මතකය ඔබේ සිතේ සදාකාලික සතුටක් ඉතිරිකරනු නියතය. ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම, මෙන්ම පෝනියකුගේ පිටේ නැගී පුංචි රවුමක් යෑමද සිතේ සතුට රඳවනු නියතය.
කඳුකරයේ මල් සැණකෙළි කාලාන්තරයක් යනතුරු මතක තියෙන හිතේ පොතේ සෑම පිටුවක ලියැවුණු සුන්දරම කවියකි. ඒ කවියට සීත සුළං රැලි මිහිරිතම තනුවක් සපයයි. නිබඳවම ඇදවැටෙන පොද වැස්ස පිනිකැට සංගීතයකි. මේ සියල්ල එකතු වූ කල කඳුකරයේ මල් සැණකෙළිය යනු මිහිරි ගීතයකි. ඒ ගීතය ගැයීමට ඔබටත් දායක වන්නට පුළුවන.

ශාන්ත කුමාර විතාන