ඉතිහාස කතාවක වර්තමාන සාක්ෂිය ‘මොල්ලිගොඩ වලව්ව’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200824-47 (3)

‘මොල්ලිගොඩ’ නාමය ලංකාවේ අවසන් රජු වූ ‘ශ්‍රී වික්‍රම රාජසිංහ’ සමයට දිව යන අතර ‘මොල්ලිගොඩ මහ අධිකාරම්’ ලංකා ඉතිහාසයේ සුවිශේෂී චරිතයක් ලෙස සැලකේ. ලංකා ඉතිහාසය පිරික්සීමේදී බොහෝ එකළ රාජ්‍ය නිළධාරීන් සහ ප්‍රභූවරුන් පිළිබඳව කතා ඇත්තේ මහත් අභිමානයක් ගෙන දෙන කතා වූවත් මොල්ලිගොඩ මහ අධිකාරම් පිළිබඳව ඉතිහාසයේ ඇත්තේ එවැනි අභිමානයක් ගෙන එන කතා නම් නොවේ.

ඉතිහාසය සාක්ෂි දරණ ආකාරයට කන්ද උඩරට රාජධානියේ කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු වූ ඇහැලේපොළ නිලමේ ඇතුළු ඇහැලේපොළ පවුලට සිදුකළ අකටයුතුකම පසුපස සිටින්නේ මොල්ලිගොඩ මහ අධිකාරම්ය. එමෙන්ම කන්ද උඩරට බලය ලබා ගැනීම සඳහා ඉංග්‍රීසීන්ට මොල්ලිගොඩ උපකාර කළ බවද සඳහන්ය. මොල්ලිගොඩ මහ අධිකාරම් සම්බන්ධයෙන් ඉතිහාසය ලියැවී තිබෙන්නේ එවැනි කළු චරිතයක් ලෙසටය. ලංකාවේ ප්‍රසිද්ධ නිලමේවරයෙකුට අයත් දැනට ඉතිරිව ඇති එකම වලව්ව ලෙස හැඳින්වෙන්නේ මොල්ලිගොඩ වලව්වයි. මොල්ලිගොඩ මහා අධිකාරම් ජීවත් වූ බවට සැලකෙන මොල්ලිගොඩ වලව්වේ අයිතිය මේ වනවිට ඇත්තේ දූල්ලෑව පවුලේ සාමාජිකයින් වෙතටයි. මොල්ලිගොඩ වලව්වේ අයිතිය අතීතයේදී කොටවැල්ලේ කුමාරිහාමි, යාලේගොඩ පවුල හා පානබොක්කේ පවුල වැනි පවුල් කිහිපයක් අතරම හුවමාරු වී ඇති අතර දූල්ලෑව පවුලට මෙහි හිමිකාරිත්වය ලැබෙන්නේ දූල්ලෑව පවුල සහ පානබොක්ක පවුල සමග පැවතුණු විවාහ කටයුත්තකින් අනතුරුවය.

මොල්ලිගොඩ පිළිබඳව ඉතිහාස කතාව පිරික්සීමේදී ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන්ගේ රාජ්‍ය පාලනයට හවුල් වන්නේ අපූරු සිදුවීමකින් පසුවය. ඉතිහාසය සඳහන් කරන පරිදි 1803 වර්ශයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සටනකට නායකත්වය ලබා දී ඉන් ජයග්‍රහණය කර නැවත කන්ද උඩරටට අතරමගදී වෙහෙස නිවාගැනීම සඳහා ‘කුනම් මඩුවෙ’හි නතර වෙයි. මෙම කුනම් මඬුව සතර කොරළේ පිහිටා තිබෙන ස්ථානයකි. ඒදඬුවාව කෝරාළගේ පුතා වූ විසිපස් හැවිරිදි මොල්ලිගොඩ තරුණයා කුනම් මඩුවට පැමිණෙන්නේ රජු සහ පිරිවර දැක බලාගැනීමටය. නමුත් මේ අවස්ථාවේදී රාජසිංහ රජුගේ අවධානය දිනාගැනීමට මොල්ලිගොඩ සමත්වන අතර රජු විසින් එවෙලෙහිම මොල්ලිගොඩව රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරයි. රාජ්‍ය සේවයට එක්වන මොල්ලිගොඩ තරුණයා මහා අධිකාරම් තනතුරට පත්වන්නට වැඩි කාලයක් ගත වන්නේ නැත.

මහා අධිකාරම් තනතුරට පත් වූ වහාම වසර ගණනාවකට පෙර සිය පියා සහ ගැමියෙකු අතර වූ ගැටුමක් සිතේ තබාගෙන එහි පලි ගැනීම මොල්ලිගොඩ සිදු කරන්නේ එම ගැමියාව උල හිඳුවා මරා දැමීමෙනි. මොල්ලිගොඩ යනු කුරිරු ප්‍රාදේශීය පාලකයෙකු බව ඉතිහාසයේ තැනින් තැන සඳහන් වී තිබෙන අතර ඔහු පිළිබඳව විශාල වශයෙන් කතාබහට ලක්වන්නේ ඇහැළේපොළ මහ අධිකාරම් සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතර ඇති සම්බන්ධය පළුදු කොට ඇහැළේපොළ පවුලම අසාධාරණ ලෙස මරණයට පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි. කෙසේවෙතත් රජු හා ඇහැළේපොළ අධිකාරම් අතර ඇති සම්බන්ධය බිඳ දැමීමට මොල්ලිගොඩට අවස්ථාව උදාවන්නේ නොසිතූ අවස්ථාවකදීය.

ඇහැළේපොළ කුමාරිහාමි රූපශ්‍රීයෙන් හෙබි තරුණ කාන්තාවක් වූ අතර රාජසිංහ රජු ඇයව සිය වසඟයට ගැනීමට ගත් ව්‍යායාම සියල්ලම වැරදී ගියේ ඇහැළේපොළ කුමාරිහාමිගේ නුවණත්කම නිසාය. කෙසේ හෝ ඇහැළේපොළ කුමාරිහාමිගේ පහස විඳීමේ බලාපොරොත්තුව ඉටු කර ගත යුතු බව සිතන රජු ඇහැළේපොළ මහ අධිකාරම්ව සබරගමුවට රාජකාරී සඳහා පිටත් කර යවයි. ඒ කැරැල්ලක් මර්දනය කිරීමට සහ සබරගමුවේ බදු මුදල් එකතු කිරීමටය. නමුත් මෙහි යටි අරමුණ තේරුම් ගත් කුමාරිහාමි ඒ පිළිබඳව සිය සැමියාට නොපවසන්නේ රජු සහ ඇහැළේපොළ අධිකාරම් අතර ඇති මිත්‍රත්වය තමන් නිසා බිඳ යා හැකි බවට සිතූ නිසාය. කෙසේ හෝ ඇහැළේපොළ සබරගමුවට යයි. ඉතිහාස සාක්ෂි අනුව ඇහැළේපොළ සබරගමුවට ගොස් එහි කැරැල්ල මර්දනය කර සිය රජුට ත්‍යාගයක් වශයෙන් පිළිගැන්වීමට රන් කඬුවක් සහ ඔටුන්නක් සාදවයි. මේ බව සැල වන මොල්ලිගොඩ මහ අධිකාරම් රාජසිංහ රජුට පවසා සිටින්නේ ඇහැළේපොළ මහ අධිකාරම් සබරගමුවේ සිට කැරැල්ලක් නිර්මාණය කර රාජසිංහ රජු ආක්‍රමණය කිරීමට සැරසෙන බවයි. එමෙන්ම ඔහු රජ වීම සඳහා අවශ්‍ය රාජාභරණද නිර්මාණය කරමින් සිටින බවද මොල්ලිගොඩ පවසයි. මෙය විශ්වාස කරන රජු වහාම ඇහැළේපොළට කන්ද උඩරටට පැමිණෙන ලෙස අණ කරමින් හසුනක් යවයි. නමුත් ඒ වනවිට රජුගේ ත්‍යාගය නිමවා නොමැති හෙයින් යම් කාලයක් එහි සිටීමට අවසර ඉල්ලා ඇහැළේපොළ අධිකාරම් රජුට හසුනක් යවයි. නමුත් මෙම ලිපිය රජු අතට පත්වීමට පෙර මොල්ලිගොඩ අතට පත්වෙයි. මොල්ලිගොඩ එය සූක්ෂම අයුරින් වෙනස් කර රජුට ලබා දෙයි. එහි සඳහන් වන්නේ තමා තමාට කැමති දවසක පැමිණෙන බවයි. මේ අතරම මොල්ලිගොඩ රජුගේ තානාපතිවරුන්ට අල්ලස් දී රජු පිළිබඳව ඇහැළේපොළ අධිකාරම් පැවසූ බස් බවට විවිධ කටකතා පැතිරවීමට උපදෙස් දෙයි. මේ සියල්ලෙන්ම කෝපයට පත් වන රාජසිංහ රජු ඇහැළේපොළගේ සියළු තනතුරු සහ වරප්‍රසාද ඉවත් කරනවා පමණක් නොව ඔහුට අයත් ඉඩම් ගේ දොර සියල්ලම රාජසන්තක කිරීමටද වග බලාගනී. එමෙන්ම ඇහැළේපොළ සාමාජිකයින්වද සිරභාරයට ගැනීමට අණ නිකුත් කරන අතරම ඇහැළේපොළ අධිකාරම්ව පණ පිටින් රැගෙන එන ලෙස මොල්ලිගොඩට පවරයි. එහෙත් මොල්ලිගොඩගෙන් බේරී ඇහැළේපොළ අධිකාරම් කොළඹට පලා ඒමට සමත් වෙයි. කෙසේ හෝ කොළඹට පැන යන ඇහැළේපොළගේ පලිය රජු ලබාගන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙනි. ඇහැළේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මරාදැමීමටත්, ඇහැළේපොළගේ වැඩිමහල් පුත්‍රයා සහ දෙවැනි පුත්‍රයා වන මද්දුම බණ්ඩාර හිස ගසා දැමීමටත්, දියණිය වංගෙඩිය දමා කොටා මරා දැමීමටත් රජු අණ කරන්නේ එහෙයිනි.

මෙහිදී මොල්ලිගොඩ ගේ සේවය අගයා ඔහුට කි‍්‍ර.ව 1814 මැයි මසදී සන්නසක් පිරිනමා තිබෙන අතර එම සන්නසට අනුව මොල්ලිගොඩට හිමි වූ ඉඩම් වලින් අමුණු 42 ක් සහ ලාහ 18 ක් දක්වා වූ ප‍්‍රමාණයක් බදු ගෙවීමකින් තොරව ඔහු ගේ දරු මුණුබුරන් ගේ පවුල් පවතින තුරු පරවේණි ඉඩම් ලෙස භුක්ති විදීමේ වරප‍්‍රසාදය ද හිමි වී තිබේ. බොහෝවිට මහනුවර රාජධානියේ රජ කෙනෙකු විසින් පිරිනමන ලද අවසාන සන්නස ද එය බව ඇතැමුන් පවසයි.

1815 ඉංග්‍රීසින් උඩරට අල්ලා ගැනීම සඳහා සිදුකළ යුද්ධයේදී රාජසිංහ රජුගේ හමුදාව භාරව සිට ඇත්තේ මොල්ලිගොඩය. තමන් පරදින බව කල්තියාම දැනගෙන ඔහු යුද කිරීම අතැර දමා ජෝන් ඩොයිලි සමග ගිවිසුම් ගතවිය. ඒ අනුව පලමුව සිය පවුල මහනුවරින් පිටත් කර හැර පසුව මොල්ලිගොඩ ඉංග්‍රීසින් හමුවට පැමිණියහ. මොල්ලිගොඩ අනුගමනය කරමින් සෙසු නිළමේවරුන්ද පසුව ඉංග්‍රීසින්ට යටත් විය. එම නිසා කන්ද උඩරට රාජ්‍ය ඉංග්‍රීසින් අතරට පත්වීම ඉතා පහසු විය.

කන්ද උඩරට රාජ්‍ය අල්ලා ගැනීමෙන් අනතුරුව කි‍්‍ර.ව 1815 මාර්තු මස 02 දින මහනුවර මඟුල් මඩුවේදී උඩරට ගිවිසුමට අත්සන් කළහ. මෙම ගිවිසුමට මොල්ලිගොඩ නිලමේ මහා අදිකාරම ලෙසත්, ඔහු ගේ බාල සොහොයුරු තුන් කෝරලේ දිසාව ලෙසත් අත්සන් තබා ඇත. ගිවිසුමට අත්සන් කර මාස දෙකක් යන්නට මත්තෙන් ඉංග‍්‍රීසින් විසින් තමන් රවටා ඇති බවත් කොන්දේසි උල්ලංඝණය කර ඇති බවත් තේරුම් ගත් සිංහල නිලමේවරු ඉංග‍්‍රීසින් පළවා හැරීමට කැරලි සංවිධානය කරයි. මේ සඳහා කැප්පෙටිපොළ, පිළිමතලව්වේ සහ ඇහැලේපොළ නිලමේවරු එහි ප‍්‍රධානත්වය ගත්හ. නමුත් මොල්ලිගොඩ පමණක් ඉංග‍්‍රීසින්ට පක්ෂව සිටියේ ය. එයට හේතුව වූයේ ඇහැලේපොළ සහ පිලිමතලව්වේ පවුල් සමඟ පැවති දැඩි වෛරයත්, විරුද්ධවාදී භාවයත් නිසා ය.

නමුත් මෙම කැරැල්ල සාර්ථකව ඉංග්‍රීසින් මැඩ පැවැත්වූ අතර එහිදී මොල්ලිගොඩ ගේ සුවිශේෂී සේවාව ඉංග‍්‍රීසින් විසින් අගය කර මාසයකට රික්ස් ඩොලර් 200 ක විශ‍්‍රාම වැටුපක් ගෙවන ලදී. එපමණක් නොව පල්ලේගම්පහේ මහා අදිකාරම, සතර කෝරලේ දිසාව, යන තනතුරු වලට අමතරව දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුරත්, මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තනතුරටත් මොල්ලිගොඩව කරනු ලැබීය. ඔහුගේ බාල සොහොයුරා සත් කෝරලේ දිසාව, උඩගම්පහේ මහා අදිකාරම ලෙසද පත් කෙරිණි. කි‍්‍ර.ව 1823 ඔක්තෝම්බර් මස 26 දින මොල්ලිගොඩ නිලමේ මිය ගියේ ය.  ඔහුට සිටියේ ටිකිරි කුමාරිහාමි නමින් එක් දියණියක් පමණි. මොල්ලිගොඩ ගේ බාල සොහොයුරු කි‍්‍ර.ව 1845 දි මිය ගිය අතර, ‘කුරුවේ ලේකම්’ නමින් එක් පුත‍්‍රයෙක් පමණක් සිටියේය. මොල්ලිගොඩ පවුලෙන් කියා පැවත එන කිසිවෙක් මේ වන විට සොයා ගත නොහැකිය.

කෙසේවෙතත් මොල්ලිගොඩ වලව්ව පිළිබඳව අද වනවිට සමාජයේ පවතින්නේද පැරණි මොල්ලිගොඩ නිලමේ පිළිබඳව එකල ජනයා තුළ තිබූ කළු මතයට සමාන මතයකි. ඒ වර්තමනායේ මෙහි අයිතිකරුවන් වන දූල්ලෑව පවුල විසින් මෙයට කිසිවෙකුටත් ඇතුළු වන්නට ඉඩ ලබා නොදෙන බවට සමාජයේ පැතිරෙන මතයකි.

මොල්ලිගොඩ වලව්ව පිහිටා තිබෙන්නේ මහනුවර පහල කඩුගන්නාව ප්‍රදේශයේ ගනේතැන්න ග්‍රාමයට ආසන්නයේය. ඉපැරණි වලව්වට අයත් ඉඩම් ප්‍රමාණය අක්කර 50කට අධික වූවත් සිරිමාවෝ බණ්ඩාරනායක අවධියේදී අක්කර 20ට වැඩි ඉඩම් රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මේ වනවිට මොල්ලිගොඩ වලව්වට ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර විස්සක් වැනි ප්‍රමාණයක් පමණි. ඉපැරණි වලව්වේ බොහෝ ප්‍රමාණයක් මේ වනවිට විනාශ වී තිබෙන අතර වර්තමානයේදී අපට දැකගත හැකි වන්නේ මොල්ලිගොඩ වලව්වේ නඩු විසඳීමට යොදාගත් කොටස සහ තවත් කොටස් කිහිපයක් පමණි. මේ වනවිට ඉතිරිව ඇති වලව්ව ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වන අතර එහි උඩු මහලේ කාමර දෙකකි. යටි මහලේ ඇත්තේ කාමර පහකින් යුතු සිර කුටියයි. තවද මෙහි වහලයේ ඇති ඉපැරණි උළු කැට තවමත් වෙනස් නොකර තබා ඇත්තේ මෙහි පෞරාණික වටිනාකම වර්තමානයටත් තවත් ඔප දමමිනි. මොල්ලිගොඩ වලව්වට මුහුණලා තිබෙන්නේද දර්ශණීය වෙල්යායකි.

සැබැවින්ම මොල්ලිගොඩ වලව්ව මෙලෙස ආරක්ෂා කරනු ලබන්නේ මෙහි ඇති දෑ තවමත් එලෙසින්ම පවතින නිසාය. මොල්ලිගොඩ මහ අධිකාරම්ට අයත් ගෘහ භාණ්ඩ, එකළ නඩු විසදීමට සහ දඩුවම්දීමට භාවිත කළ භාණ්ඩ, පිගන් කෝප්ප ඇතුළු වටිනාකම කිව නොහැකි පුරාවිද්‍යාත්මක අතින්ද වැදගත් දෑ බොහෝමයක් තවමත් මෙහි තිබේ. දූල්ලෑව පවුලේ සාමාජිකයින්ද ඒවා තම දෛනික පාවිච්චිය සදහා කිසිදු අවස්ථාවක භාවිතා නොකරන්නේද එවැනි දෑ සියල්ල ඉදිරියටත් ආරක්ෂා කරගැනීම අවශ්‍ය වන බැවිනි. එය බොහෝ දෙනා තේරුම් නොගෙන තිබෙන බවත් පෞද්ගලික ඉඩමකට ඇතුළ්වීමට ඉඩ නොදෙනවා කියා දෝෂාරෝපණය නැගීම එතරම් සාධාරණ නොමැති බවද මෙහි වත්මන් හිමිකරු වන අතුල දූල්ලෑව මහතා අප සමග පැවසුවේය.

 

කැළුම් දේවින්ද

 

ENT-20200824-47 (1) ENT-20200824-47 (2)  ENT-20200824-47 (4) ENT-20200824-47 (5) ENT-20200824-47 (6) ENT-20200824-47 (7) ENT-20200824-47 (8) ENT-20200824-47 (9) ENT-20200824-47 (10)