ලිස්සන රළ පිරි ලස්සන මුහුද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරු බැසයෑම මෙන්ම හිරු නැගීමද චමත්කාරජනක සිදුවීම්ය. දවසක උදාවේදී දැකිය හැකි අසිරිමත්ම දෙය හිරු උදාවයි. මේ හිරු උදාව නැරඹිය හැකි හොඳම තැන කඳුමුදුනකි. නැතිනම් නැගෙනහිර වෙරළය.ආරුගම්බොක්කේ වෙරළ තීරයද හිරු උදාව නැරඹීමට කදිම තැනකි.

එහෙත් ලොව බොහෝ සංචාරකයන් ආරුගම්බොක්කට එන්නේ හිරු උපදින හැටි බලන්නට පමණක් නොවේ. සර්ෆින් ක්‍රීඩාවේ හෙවත් මුහුදු රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙන්නටය.

රළ මත ලිස්සා යෑමට නම් මුහුදේ උස රළ ගෙඩි තිබිය යුතුය. එබඳු උසැති රළ මුහුදේ හැම තැනකම නැත. රළ මත ලිස්සා යෑම පිණිස යම් යම් මුහුදු සීමාවන් විශේෂිත වන්නේ ඒ නිසාය. එබඳු උස් රළ නැගෙන මුහුදු තීර ලෙස ලංකාවේ වඩාත් ජනප්‍රියව ඇත්තේ අරුගම් බොක්ක සහ හික්කඩුව වෙරළ තීරයන්ය.

හැබැයි වසරේ හැමදාමත් රළ මත ලිස්සා යාම සඳහා අවශ්‍ය උස් රළ ගෙඩි මේ මුහුදු තීරවලද උපදින්නේ නැත. මැයි සිට ඔක්තෝබර් දක්වා ආරුගම් බොක්කේ උපදින උස් රළ ගෙඩි, වසරේ අනෙක් කාලයේදී උපදින්නේ හික්කඩුව පැත්තේ හෙවත් බටහිර වෙරළ තීරයේය.

ඉතින් මේ දිනවල ‘සර්ෆ්’ලෑල්ලක් රැගත් සංචාරකයෙක් ලංකාවට ගොඩබැස්සා නම් ඔහුගේ ඊළඟ ගමනාන්තය නැගෙනහිර වෙරළේ ආරුගම්බොක්කය.

ආරුගම්බොක්කේ  ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ රළ මත ලිස්සා යෑම ක්‍රීඩාව ආරම්භ කරන්නෙකුට සුදුසු, එතරම් සැර පරුෂ නැති, රළ ගෙඩි උපදින ස්ථානයක්ද තිබීමය. එතැනින් ක්‍රීඩාව පුරුදු වී වෙනත් තැනකින් ක්‍රීඩාව ප්‍රගුණ කරන්නට පුළුවන.

රළ මත ලිස්සීම ඇත්තටම ත්‍රාසජනක ක්‍රීඩාවකි. ක්‍රීඩාව ගැන මෙලෝ  හසරක් නොදන්නා ඔබත් මටත් රළ මත ලිස්සන්නට සිතුනොත් සිදුවන්නේ රළ යට සැඟවෙන්නටය. මේ ක්‍රීඩාව ඒ තරම් සීරුවට කළ යුත්තක් බව ක්‍රීඩකයන් දෙස බලා සිටින විට සිතට සිතෙන සිතුවිල්ලයි.

වෙරළ දෙසට හැල්මේ එන රළ එක පාරටම අඩි දහයක් දොළහක් උසට ඉහළට නැගේ. ක්‍රීඩකයා කළ යුත්තේ සර්ෆි ලෑල්ල ඒ රළ ගෙඩිය මත තබා ගෙන රැල්ල දිගේ ලිස්සා යෑමය.

මේ හපන්කම් කරන හැටි වෙරළේ පසෙක හිඳ බලා සිටීමද හිත චමත්කාරයෙන් පුරවන්නකි.

ඉතිං ඔබටත් මටත් රැලි මත ලිස්සා යන්නට නොහැකි වුණත් අනුන් සෙල්ලම් කරන හැටි බලා සිටින්නට පුළුවන.

උදේ හිරු උදාවන හැටි බලා ඊළඟට උස්ව නැගෙන රළ ගෙඩි දෙස බලා, ඊළඟට රළමත ලිස්සා යන ක්‍රීඩකයන්ගේ වික්‍රමයන් දෙස බලා සතුටු වන ඔබට මට යළිත් හැන්දෑවේ  සෞම්‍ය අහස යට සිට වෙරළේ සුන්දරත්වය අත්විඳිය හැකිය දහවල ගිනිගන්නා අව්වට වෙරළ තීරයේ ඇවිදීමටද අපහසුය. හැබැයි හිරු අස්ථානගත වූ පසුව වෙරළේ වැල්ල නිවී යයි. මුහුදු රළ විත් ඒ වැල්ල සෝදා සිහිල් කර යන බැවිනි. ඒ සිහිල් වැල්ල දිගේ පියවර තබන විට වැල්ලේ පය එරෙනවිට ගතට දැනෙන සැහැල්ලුව වචන වලින් විස්තර කළ නොහැකිය.
මුහුදේ නානවා නම් ඒ සඳහා හොඳම කාලයද මේ හැන්දෑවමය. ආරුගම්  බොක්ක මුහුදු තීරය ආරක්ෂිතව දියනාන්නටද පුළුවන් තැනකි. ඈතින් ඇති කොරල් පරයක් විසින් මුහුදු රළවල වියරු බව අඩුකරන නිසාය.