කොළඹ ජනපති මැඳුරේ ඔබ නොදත් ඉතිහාසය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය 09 වැනිදා අරගලකරුවන් විසින් කොටුව පිහිටි ජනාධිපති මන්දිරය අල්ලාගත් පසු වැල නොකැඩී ජනකායක් මේ වනතුරුත් පැමිණෙමින් සිටියි. ඓතිහාසික වශයෙන් විශාල වැදගත්කමක් ඇති මෙම භූමිය සාමාන්‍ය ජනතාවට සාමාන්‍යයෙන් නැරඹීමට නොහැකි ස්ථානයක් ලෙස පැවති අතර එම නිසා කොටුව ජනාධිපති මන්දිරය පිළිබඳව ඔවුන් තුළ විශාල කුතුහලයක් පවතී. කොටුව ජනාධිපති මන්දිරයේ ඉතිහාසය ලන්දේසි යුගයටත් එහාට ගමන් කරන අතර ඉපැරණි කොළඹ සිහිකරන තවත් ස්ථානයක් ලෙස මෙම භූමිය හැඳින්විය හැක.

කොටුව ජනාධිපති මන්දිරය අතීතයේදී කිංග්ස් හවුස් සහ ක්වීන්ස් හවුස් ලෙස හඳුන්වා තිබේ. මෙම භූමිය යටත්විජිත සමයේ සිටම ශ්‍රී ලංකාවේ (එවකට සිලෝන්) රාජ්‍ය නායකයන්ගේ නිල නිවස ලෙස භාවිතා කර තිබේ. මෙහි මුලින්ම ශාන්ත ප්‍රැන්සිස් දේවස්ථානය සහ සුසාන භූමියක් පිහිටා ඇති අතර පෘතුගීසි සමයේදී දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කර ඇත්තේද එම සුසාන භූමියේ බවද පැවසේ. සිලෝන් හි අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ එංගල් බීක් විසින් ආණ්ඩුකාරවරයා විසින් කොළඹ වරායට යාබදව පිහිටි මෙම භූමියේ පලමු දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ. මෙම මන්දිරය  සුසාන බිමක ඉදිකළ රාජකීය මන්දිරයක් ලෙසද හැඳින්වෙන්නේ ඒ නිසාවෙනි. බ්‍රිතාන්‍යයන් කොළඹ කොටුව යටත් කරගන්නා විටද එංගල් බීක් ලන්දේසි ආණ්ඩුකාරවරයා මෙම මන්දිරය  අතනොහැර සිටි බවට අතීතය පවසයි. එන්ගල් බීක් ආණ්ඩුකාරවරයාගෙන් පසු ඔහුගේ මිණිපිරිය වූ ජැකොමිනාට මෙම නිවස අයිති විය. ජැකොමිනා විවාහ වූයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සිවිල් නිලධාරියෙකු වුණු ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි නම් පුද්ගලයා සමගිනි. විවාහයෙන් පසුව ඔවුන් මෙම නිවසේ කාලය ගත කොට ඇත. ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි ප‍්‍රධාන ආදායම් නිලධාරි ලෙස කටයුතු කළ  අවදියේදී ගිණුම් පියවීමේ දී සිදු වුණු මූල්‍ය් අක‍්‍රමිකතාවයක් හේතුවෙන් පවුම් දස දහසක මුදලක් ආණ්ඩුවට ගෙවීමට සිදුවිය. එම මුදල පියවීමට  එංගල් බීක් මාමණ්ඩියගෙන් ලැබුණු මෙම මන්දිරය ආණ්ඩුවට පවරා දීමට ජෝර්ජ් මෙල්වින් ලෙස්ලිට සිදුවිය. කෙසේවෙතත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙම මන්දිරය තක්සේරු කර ඇත්තේ පවුම් 35000ක මුදලකටය. ඉන් පසුව ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි මෙම මන්දිරය බ්‍රිතාන්‍ය පාලකයින්ට පවරා දී ඇත.

මෙම සුවිශාල සහ අලංකාර මන්දිරය බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පැවරුණු පසුව එකල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වුණු ප්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා මෙම මන්දිරයේ පදිංචියට පැමිණ තිබේ. ෆෙඩ්‍රික් නෝත්ගෙන් පසු තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා මෙම මන්දිරය තමන්ගේ වාසභූමිය කරගෙන තිබේ. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු මෙහි පදිංචියට පැමිණි අවධියේදී මෙම මන්දිරය කිංග්ස් හවුස් ලෙස ජනයා අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. එමෙන්ම වික්ටෝරියා රැජිනගේ ( 1837-1901) පාලනය සමයේදී මෙය ක්වීන්ස් හවුස් ලෙසින් ජනයා අතර හැඳින්විය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම මන්දිරය වෙනස්කම්වලට ලක් වුණු අතර එතෙක් පැවති ලන්දේසි ගොඩනැගිල්ල තවත් විශාල කර තිබේ. වර්තමානයේදී දක්නට ලැබෙනුයේ එම බ්‍රිතාන්‍ය යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණයන්ය. ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය වර්තමානයේදී දක්නට නොලැබේ. එමෙන්ම මුල් කාලයේදී ඉදි කළ ඕලන්ද ගොඩනැගිල්ලද අද දක්නට නොලැබේ. මෙම කාලයන් තුළ මන්දිරයට සහ අවට උද්‍යානයට එකතු වූ ඉතා වටිනා දෑ බොහෝමයක් අදටද දක්නට ඇත. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ඔවුන්ගේ ආණ්ඩුකාරවරු මෙම මන්දිරයේ වාසය කළ අතර ශ්‍රී ලංකාව නිදහස ලැබුණු පසු රටේ නායකයන් මෙය සිය නිල නිවස ලෙස භාවිත කළහ.

මෙම මන්දිරයේ පහත මාලය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව සැකසුණු එකක් වුවත් ඉහළ මාලය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත වෙයි. ආරුක්කු සහිත පිටත බිත්ති හා අභ්‍යන්තරයේ ඇති දැවමය නිර්මාණ බොහෝමයකින් මෙම මන්දිරය සමන්විත වේ.

මෙම මන්දිරය වටා ඇත්තේ විශාල උද්‍යානයකි. එහි නොයෙකුත් මල්වර්ගවලින් අලංකාර වී ඇත.  බොහෝ ගස් වර්ග අවුරුදු ගණනාවක්ම පැරණි ඒවා වේ. ජනපති මන්දිරයේ උයන බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු 1970 දශකය වනතුරුම ජනතාවට විවේක ගන්නා තැනක් විය. කෙසේනමුත් ඓතිහාසික වටිනාකමක් ඇති මෙම භූමියේ ආරක්ෂාවට එය තර්ජනයක් වූ නිසා ඉන් අනතුරුව ජනතාවට එය තහනම් විය.

1972 වසරේ සිට මෙම මන්දිරය ජනාධිපති මන්දිරය ලෙස හැඳින්විය. ජනාධිපති මන්දිරයේ මුලින්ම පදිංචියට පැමිණි ලාංකික නායකයා වන්නේ විලියම් ගොපල්ලව මහතාය. විලියම් ගොපල්ලව මහතා 1972 සිට 1978 දක්වා එහි වාසය කළේය. නමුත් ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වුණු ජේ.ආර් ජයවර්ධන මහතා මෙම මන්දිරයේ පදිංචි නොවූ නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයන්, විදේශ නායකයන් හමුවීම ඇතුළු නිල කටයුතු බොහෝමයක් සඳහා මෙම මන්දිරය භාවිත කර තිබේ.

එමෙන්ම ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාද ජනාධිපති මන්දිරයේ පදිංචි නොවුණු අතර ඔහුද සිය නිල රාජකාරි කටයුතු සඳහා පමණක් මෙහි පැමිණියේය.

කෙසේනමුත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති වුණු පසු ඇය මෙම මන්දිරයේ පදිංචියට පැමිණියාය. ඇයගෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම මැඳුරේ පදිංචියට පැමිණියේය. තවද එල්.ටී.ටී.ඊ යුධ සමයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම මන්දිරය තුළ භූගත බංකර‍යක්ද ඉදි කර තිබුණු  බවට පැවසේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පසු ජනාධිපති වුණු මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මන්දිරය පදිංචියට තෝරාගත්තේ නැත. නමුත් ඔහුද ජනාධිපති මන්දිරය සාද, රාජ්‍ය නායක හමුවීම් සඳහා භාවිතා කළහ. ජනතාවට ඇතුළුවීමට අවසර නොලැබුණු මෙම ජනාධිපති මන්දිරය පසුගිය 2016 වර්ෂයේ ජූනි මාසයේ සතියක් පුරා ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුවය.

කෙසේනමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද මෙම මන්දිරය මුල් කාලයේදී සිය වාසභූමිය කර නොගත් නමුත් ඔහුගේ රාජකාරි කටයුතු සඳහා භාවිත කළහ. නමුත් මෙම වසරේදී ජනතාව විසින් එවකට ඔහු පදිංචිව සිටි මිරිහානේ නිවස වැටලූ පසුව මෙම මන්දිරයේ පදිංචියට පිවිසියේය. කෙසේනමුත් පසුගිය කාලය පුරාවටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සියළු රාජකාරි කටයුතු සිදු වූයේ මෙම මන්දිරය තුළය.

මේ වනවිට ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා දහස් ගණන් ජනතාව පැමිණෙන අතර මෙහි ඇති බොහෝ දෑ ක්‍රමයෙන් විනාශ වෙමින් පවතී. මෙම මන්දිරය ජනාධිපතිවරයාගේ පෞද්ගලික දේපළක් නොවන අතර මෙහි නඩත්තු කටයුතු සඳහා වියදම් වන්නේද ජනතා ඔබේත් මගේත් බදු මුදලයි. මෙම මන්දිරය තුළ ඇති ඓතිහාසික වටිනාකම් සහිත ගෘහභාණ්ඩ, අලංකරණ සැරසිලිද මතු පරම්පරා සඳහා දැක බලාගැනීමට ඉතිරි කළ යුතුය. එමෙන්ම මෙහි ඇති දෑ විනාශ කිරීම අරගලයට සහ අරගලකරුවන්ටද කරන විශාල හානියකි. එබැවින් ඔබ මෙම මන්දිරය නැරඹීමට ගියත් එහි ඇති දෑ නරඹා එහි මතකය පමණක් නැවත ගෙන එන ලෙස අපද ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.

කැළුම් දේවින්ද / ඡායාරූප - අන්තර්ජාලයෙන්