පාද යාත්‍රාවේ නවාතැන පොළ ’කුමනේ බාගුර’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ඇසළ උත්සව සමය ඇරඹෙද්දි දැකිය හැක්කේ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ පාද යාත්‍රාවයි. ලංකාවේ උතුරුකරයේ සිට කතරගම දක්වා යෙදෙන මේ බැතිබර පාද යාත්‍රාව කුමන යාල වන උයන් මැදින් ගමන් කෙරෙන්නකි. 

කුමන, යාල වැනි වන උයන්වලට අනවසරයෙන් ඇතුළු වන්නට කිසිවෙකුටත් නුපුළුවන. එහෙත් මේ පාද යාත්‍රාව වෙනුවෙන් බැතිමතුන්ට කුමනෙහි සහ යාලෙහි දොරටු විවෘත කෙරේ. ඉකුත් දෙසතියේ මේ බැතිබර පාද යාත්‍රාව කුමන වන මැදින් ගමනෙහි යෙදිණි. 

දවල් දවසේ ගමන් කරන බැතිමත්තු රාත්‍රියට කූඩාරම් අටවාගෙන රැය පහන් කරති. උයා පිහා ගනිති. නා කියා ගනිති. මේ නිසා ඔවුන් නවතින්නේ වතුර ඇති තැනකය. කුමන වන මැද පිහිටි බාගුර කළපුව එසේ නවාතැන් ගන්නා ප්‍රධානම ස්ථානයකි. 

බාගුර කළපුව මෙන්ම ඊට යාබදව සුවිශාල තණ පිටියක්ද තිබෙන බැවින් එතැන නවාතැන් ගැනීමට අපහසුය. 

අනෙක් කරුණ බාගුර ඇළයි. මේ ඇළ මග දුර බැහැරක සිට ගලාගෙන ගලාගෙන  විත් බාගුර කළපුවට එකතු වේ. එසේ එන්නේද තණ පිටිය මැදිනි. 

කුමන කැලේ ප්‍රධාන කළපු හතරකි. බාගුර, අන්දරකළ, ඉටිකළ, යාකුල යනුවෙනි. මේ කළපු අතරින් විශාලත්වයෙන් වැඩිම කළපුව වන්නේ බාගුරයි. කලින් කලට විවිධ භූමි දර්ශන වලින් විචිත්‍රත්වයට පත්වන බාගුර කළපුවේ සුන්දරම සමය සැප්තැම්බර් මාර්තු අතර කාලයයි. හේතුව දහස් සංඛ්‍යාත සංචාරක  කුරුල්ලන්ගෙන් කළපුව පිරී යාමයි. කොහොමටත් කුමන යනු කුරුලු පාරාදීසය යන විරුදාවලි ලැබූ වන උයනකි. මේ වන උයන පාරාදීසයක් කරන්නේ සංචාරක කුරුල්ලන් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. දහස් සංඛ්‍යාත සියක්කාරයන්ගේ ලැගුම් හලක් නැතිනම් නවාතැන් පොළක් වන බාගුර කළපුව සංචාරකයන්ගේ නෙත් සිත් වසඟ කරන හැටි අපූරුය. 

කළපුවේ මිදෙන ලුණු කන්නට එන අලින්ගේ දර්ශනයක්ද විටෙක බාගුර මනස්කාන්ත වෙයි. අලියා යනු ලුණු කෑමට ප්‍රිය කරන්නෙකි. ඉතින් අලි රංචු පිටින් පැමිණ  නිදහසේ ලුණු ගිල දමන හැටි බලා සිටිය යුතු තරම් සොඳුරු දසුනකි. පෙලිකන් ඇතුළු සමහර කුරුලු විශේෂ ඔවුන්ගේ කැදලි තනාගන්නේද බාගුර කළපුව ආශ්‍රිතවය. 

නමුත් බාගුර තණ පිටියට වසන්තය උදාවෙන්නේ වැසි සමයටය. වසරේ මාස ගණනාවක්ම ගිනි ගහන අව්වට ගොදුරු වන කුමනට වැස්සක් දෙකක් වැටීමත් සමගම කොළ පාටක් එකතුවේ. ඒ ගහේ වැලේ කොළ පාට දලු දමන්නට පටන් ගන්නා නිසාය. මේ හරිත පැහැය බාගුර තණ පිටියේද දැකිය හැක්කේ තණ කොළවල අලුතින් ලාදලු මතුවන බැවිනි. මේ තණ පත් අලින්ගේ මෙන්ම මුවන් ඇතුළු ශාක භක්ශකයන්ගේ බඩගිනි නිවයි. 

සිය ගණනින් යුත් මුව රංචු මේ තණ පිටිය පුරා සක්මන් කරමින් තණ බුදින හැටි සුන්දරම දසුනකි. තැඹිලි පාට සිරුරු සහිත මේ මුවෝ හිස බිමට නවාගෙන තණ පත් කන හැටිත් යළි එක්වරම හිස ඔසොවා අවට විමසන හැටිත් බලා සිටිය යුතුම දසුනකි. 
ශාක භක්ෂකයන් තණ පත්වලට කිට්ටු වෙද්දී මාංශ භක්ෂකයන් මුව පොව්වන්ට කුරුමානම් අල්ලන්නටද පෙළඹේ. ඒ නිසා මේ කාලයට දිවියන්ද බාගුරට ඔට්ටුවීම ස්වභාවික සිදුවීමකි. 

බාගුර තණ බිම සර්පයන්ගේද රාජධානියකි. විෂඝෝර නයින් පොළඟුන් මෙන්ම යෝධ පිඹුරන්ද මේ තණ බිමට හිමිකම් කියති. 
බාගුරේ අපූරුව  ගැන ආර්.එල්. ස්පිට්ල් නමැති සුප්‍රසිද්ධ වන ගවේෂකයා ද ඔහුගේ චාරිකා සටහන් පොතක තොරතුරු ලියා තිබේ. ඒ මීට දශක අටකට පමණ පෙරාතුවය. ඔහුට අත්දකින්නට වූ සිදුවීම් ද අපූර්වත්වයෙන් යුක්තය. වරක් ඔහු කොරවක්කකුට වෙඩි තබා තිබේ. ඒ කොරවක්කාගේ සිරුර ගන්නට ගිය විට ඔහුට දකින්නට ලැබී ඇත්තේ දරණය ගසා ගත් යෝධ සර්පයෙකි. බියවූ ස්පිට්ල් සර්පයාට ද වෙඩි තබා තිබේ. ඒ මොහොතේ බියපත් වූ සර්පයා හිස ඔසොවා පහත් කර ඇත්තේ ස්පිට්ල්ගේ කකුල මතය. වහා ඉවතට නොගියේ නම් එදා සර්පයා ස්පිට්ල්ට දෂ්ට කරනු නියතය. 

එසේම ඔහු බාගුරට හිමිකම් කී කුළු හරක් රංචුවක්ද දැක තිබේ. කළපුවට යාබද පිහිටි තණ පිටියේම ගැවසුණු මේ කුළු හරක් සමගම අලින් කිහිප දෙනෙක් ද තණපිටියේ ගැවසෙනු ඔහු දැක ඇත. 

ඒ ස්පිට්ල් අපට වඩා වාසනාවන්තයෙකි. හේතුව ඔහු එහි ගොස් ඇත්තේ පසළොස්වක පෝය කිට්ටුවය. ඔහු රැයක්ද පහන් කර ඇති අතර සඳ රැසින් නැහැවුණු බාගුරේ විචිත්‍රත්වය දෑසින් විඳ ගන්නට තරම් පින්කර තිබිණි. ඒ සඳ පහන යටින් දිවගිය විසල් ගෝනකු ද ඔහුගේ ඇස ගැටී තිබේ. 

නවසිය අසූ ගණන්වලදී දත්කොටා නම් ලද  අලියකුද බාගුරේ නිතර ගැවසී තිබේ. උගේ අමුතු ගති පැවතුම් තිබිණි. ඒ සංචාරකයකු දුටුවිට, කන් සොලවා හොඬවැල  කටේ ඔබා ගෙන සංචාරක වාහන වෙත  පිඹගෙන එන්නට පුරුදුව  සිටියෙ. හැබැයි ඌ කිසි දවසක වාහනයකට හෝ සංචාරකයකුට හෝ පහරදී නැත. 

මෙවැනි අතීත පුවත් සිහි කරමින් බාගුරා තණ පිටියේ සිරි නරඹන අතරතුර දුරින් ඇති ගල්කුලක්ද අපට පෙනෙයි. බාගුරහෙල නමින් හැඳින්වෙන මේ ගල් කුල අතීතයේදී ආදිවාසීන්ගේ වාසස්ථානයක්ව  තිබී ඇත. ඊට සාක්ෂි සපයන්නේ මෙහි ඇති ගුහාවේ ඇඳ ඇති ආදීකාලීන චිත්‍ර සටහන්ය. 

මලිත්තන්, දිවුල් වැනි කුඩා පත්‍ර සහිත කටුසර ගස්වලින් පිරුණු බාගුර කළපුවෙන් සහ තණ පිටියෙන් නික්ම යන්නට කලින් මොහොතකට නෙත් පියා ගන්නැයි මම ඔබට කියමි. එවිට කළපුවට ඔබ්බෙන් පෙර​ෙළන රළ ගෙඩිවල හඬ ද ඔබට ඇසෙනු ඇත. වනයකදී අප විඳගත යුතු එකම දෙය මේ නිහැඬියාවේ චමත්කාරය බව මම ඔබට කියමි.