මටත් දැන් ගෙදර ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ නම්.

  • 02-12-2021
  • Views 309

අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මඟ හැර යන්නට බැරි ලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසි වී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

කොහොමද මේ ගීත ගෙවල්වල කටක් ඇරලා කියන්නේ?

ඔව්නේ. මටත් දැන් ගෙදර ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ නම්. ඉතා කෙටි කලකින්ම ඉහළ ප්‍රතිචාරයක් අතිශය ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වූ මේ ගීතයේ හිමිකරු තිසර වීරසිංහ සඳැල්ල අපිත් එක්ක මුලින්ම සිනහවෙන් පිළිතුරු ලබා දුන්නේ එලෙසින්.

ඔබත් නිරන්තරයෙන් මේ ගීතය මේ දිනවල මුමුණමින් සිටින බව නම් නොරහසක්, ඒ තරමට ‘‘අන්සතු ඔබ’’ ගීතයට බොහෝ දෙනෙක් ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරදියි.  මේ ගීතය ගැන වැඩි විස්තර තිසර සමඟින්ම බෙදා හදා ගමු.

ඇයි ‘‘අන්සතු පෙමට’’ මෙතරම් ප්‍රතිචාර?

ඇත්තටම ඒක නම් මටත් හිතාගන්න බැහැ. ගීතය එළිදක්වලා ඉතා සුළු මොහොතකින්ම විශාල වශයෙන් කතා බහ කරන්න පටන් ගත්තා. අද සමාජය ගත්තම ඒ අයගේ ජීවිතවල පොඩි කෑල්ලක් හෝ මේ ගීතය තුළ තියෙනවා කියලා හිතෙනවා. ඒ ලැබුණු ප්‍රතිචාර වලින්ම. 

කෙනෙක්ගේ ජීවිතේ මඟහැරුණු හැම ආදර කතාවක්ම ‘‘අන්සතු පෙමක්’’ නේද?

මමත් හිතනවා ඒක. ඇත්තටම මේ ගීතය බොහෝ දෙනෙක් වැළඳගත්තේ ඒ නිසා වෙන්න පුළුවන්. තමන්ගේ කළින් සම්බන්ධයක් තිබුණු ආදරවන්තයා. ආදරවන්තිය අහිමි වීම පිළිබඳ හිතට දැනෙන හැඟීම මේ තුළ කියවෙන්න පුළුවන්. ඒ වගේම අනියම් සම්බන්ධතාවයක් ගැන සඳහන් වැරදිම දෙයක්. කියවෙන්නත් පුළුවන්. මෙලොව ජීවත්වෙන ඕනෑම කෙනෙක්ට හැඟීම් දැනීම් තියෙනවනෙ. ඉතින් තමන්ගේ ජීවිතේට ලැබෙන අත්දැකීම් එක්ක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. සමහර හැඟීම් එක්ක ඔවුන් මියෙන තුරා ජීවත් වෙන්නත් පුළුවන් සමහර දේවල් එළියට කෑ ගහලා කියන්න බැහැනේ. ඉතින් එවැනි අත්දැකීම් තියෙන අය මේ වගේ නිර්මාණයක් ආවම මේ තුළින් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් තමන්ගේ ජීවිතේට අදාලව ඔවුන්ට ගීතය දැනෙන විදිය ප්‍රතිචාරවලින් දක්වලා තිබුණා. 

අසම්මත ප්‍රේමය නම් සාධාරණීකරනය කරන්න බැහැ නේද?

මේ කලා නිර්මාණයක්නෙ. ඕනෑම කෙනෙක්ට මේ පිළිබඳ වැරදියි හෝ නිවැරදියි කියන තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් ඇත්තටම ගීතය එළිදක්වලා දවසක් දෙකක් යන්නත් කළින් සමාජ මාධ්‍යයේ කණ්ඩායම් දෙක තුනක් බෙදිලා සම්මත/අසම්මත ප්‍රේමය එළියට අරගෙන ඒ දේවල් ගැන විචාරාත්මක කතාබහක් පවා ඇති වුණා. මෙය සංස්කෘතියට පටහැනියි කියන පිරිසකුත් හිටියා. 

නමුත් මෙය නිර්මාණයක් විදියට සාධාරණීයකරනය කරන පිරිසකුත් හැදුණා. ඇත්තටම මේ ගීතය පද රචනය කරපු රුෂාන් සිල්වා ඔහුට දැනුණ දෙයක් වචනවලින් ලියලා තියෙනවා. මට දැනුණු විදියට තනුව දාලා ගීතය ගායනා කරලා තියෙනවා. ලහිරුද කොස්තා සංගීතයත් ඕඩියෝවත් කළා. ඔහුට මේ නිර්මාණය කොහොමද හැඟෙන්නේ කියන දේ එළියට දාලා දුන්නා. නිම්න දේවපුර තමයි වීඩියෝව කළේ. ඔහු ගීතයේ තේරුමට නිර්මාණාත්මක වීඩියෝවක් කරලා තියෙනවා. 

ඉතින් කණ්ඩායමක් විදියට අපි හැමෝම කරපු මේ නිර්මාණය අද ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙලා තියෙනවා. ඉතින් එළියේ ඉන්න අයගේ ප්‍රතිචාරය වෙන්නේ ඔවුන් මේ ගැන හිතන විදිය. අපි නිර්මාණය ගැන හිතුවා වගේ ඔවුන් නිර්මාණය තමන්ට දැනෙන විදිය. ගැන ප්‍රතිචාර දක්වලා තියෙනවා. කෙනෙකුට මේ දේ හරි වැරදි දෙයක් කියන්න පුළුවන්. තමන් හිතන විදිය  තමයි ප්‍රතිචාරවලින් දක්වන්නේ. 

ගීතය වෙනුවෙන් රංගනයෙන් දායක වන නළුවා සහ නිළිය රඟපානවද? නැතිනම් ඒ චරිත ඇතුළේ ජීවත් වෙනවද කියලා හිතෙනවා මේ වීඩියෝව දකිද්දී?

ඇත්තටම ඒ ගැන නම් බොහෝ දෙනෙක් කතා බහ කළා. ෂේවියර් කනිෂ්ක සහ නිපුනි පූර්ණිමා තමයි මේ වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ. ඔවුන් දෙදෙනාගේ රංගනය තාත්වික රංගනයක් කියන දේ බොහෝ දෙනෙක් සඳහන් කරපු දෙයක්. මේ වැඩ කටයුත්ත තුළ හිටපු හැමදෙනාම 100% ම ඒ වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ගොඩක් මහන්සි වුණා. පුහුණුවීම් කළා දවසක්ම. විනාඩි 4ක වීඩියෝවක් වුණාට ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න සිදුවුණා. ඕඩියෝවත් එක්ක බලද්දී වීඩියෝව 51% වගේ හොඳට ඇවිල්ලා තියෙනවා කියලා හිතෙනවා. 

එකම දර්ශන තලයක රංගනයක් නිසා ලොකු වියදමක් යන්න නැතිව ඇති?

මියුසික් වීඩියෝවට ඇත්තටම ලොකු වියදමක් ගියේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් කරන්න ඕනෑ කියලා හිතෙන ඕනෑම කැප කිරීමක් කරන්න අපි සූදානමින් හිටියේ. අඩු වියදමක් හෝ වැඩි වියදමක් යනවද කියන දේ නෙමෙයි මූලික වුණේ. මේ වැඩ කටයුත්ත හරියටම කරන්නයි. ඕනෑ වූනේ. අනුග්‍රාහකයෙක් හෝ ණයක් වෙලා හරි වැඩේ ගොඩදාගන්න මට්ටමක තිබුණේ. ත්‍රී රෝද රථයක රූගත කිරීමක් සිදු නොවී බෝට්ටුවක හෝ දුම්රියක් තුළ රූගත කිරීම් සිදු කරන්න වුණත් අපි සූදානම් වෙලා හිටියා. ඒ තරමට මේ නිර්මාණය ගැන විශ්වාසයක් අපිට තිබුණා. ඉතින් ඒ හැමදේම අද වෙද්දී සාර්ථක වෙලා තියෙනවා. 

තිසර කොහොමද ගායකයෙක් වෙන්නේ?

ගායකයෙක් වෙන්න ඇත්තටම මාරම ආසාවක් තිබුණේ. මුලින්ම නම් කැමැත්තක් තිබුණේ ලොකු වේදිකාවකට නැගලා මිනිස්සු ඉදිරියේ ගීත ගායනා කරන එක. නමුත් මම සංගීතය කියන දේ ගොඩක් ලොකුවට හැදෑරුවෙ නැහැ. මම පාසල් ගියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. 

අපේ පාසලේ තියෙනවා (Vibration) කියලා ප්‍රසංගයක්. ඒ ප්‍රසංගය ගම්පහ අවට සියලුම පාසල්. එකතු කරගෙන ගොඩක් ලොකුවට කරන වැඩ කටයුත්තක් House Full වෙන වැඩක්. ඒ ප්‍රසංග වේදිකාවේ මට ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ අවස්ථාව ගැන මට දැනුන හැඟීම් විස්තර කරන්න බැරි තරම්. ලංකාවේ තියෙන ලොකුම වේදිකාවේ ගීතයක් ගායනා කරනවා වගේ හැඟීමක් දැනුණේ. ඉතින් ඒ වේදිකාවේ ගීතය ගායනා කරලා. අවසන් වුණාම ලැබුණු අත්පොළොසන් නාදය තමයි මේ ගමනට කැපවෙන්න ප්‍රධානම හේතුවක් වුණේ. එදා වේදිකාවේදී ඒ ලබාදුන්න දිරි ගැන්වීම මට ලොකුම ශක්තියක් වුණා. ඉතින් ඒ අවස්ථාව තමයි රටම දන්න ගායන ශිල්පියෙක් වෙන්න ලොකුම අරමුණක් බලාපොරොත්තුවක් ඇති කළේ. 

නමුත් අද වෙද්දී තිසර වීරසිංහ කියන්නේ රටම දන්න ගායකයෙක්?

ඔව්. මම මේ තැනට එන්න සෑහෙන පරිප්පුවක් කාලා තියෙනවා. එක වරම ආපු ගමනක් නෙමෙයි. මොකද මගේ පවුලෙවත් කව්රුත් කලාවට සම්බන්ධ නැහැ. ඉතින් ගෙදර අයගෙන් පොඩි බයක් තිබුණා මේ යන ගමන ගැන. මොකද සංගීතය කියන්නේ වෘත්තියක් වශයෙන් කරගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මගේ පවුල ලොකු ආර්ථික මට්ටමක් තිබුණු අයත් නෙමෙයි. ඒ නිසා මම වෙනුවෙන් දෙයක් කරන්නත් අමාරුයිනේ. ඒවත් එක්ක මම වෙනත් රැකියා කිහිපයක නිරත වුණා. 

නමුත් ඒ කිසිදෙයක් මම කැමැත්තෙන් කළේ නැහැ. ඒ නිසාම සමහර රැකියා ස්ථානවලින් මම ප්‍රතික්ෂේප වුණු අවස්ථාවන් පවා තිබුණා. මොකද මගේ ඔළුවේ තිබුණේ සංගීතය. ඉතින් මම ඒ හැමදේම අතඇරලා සම්පූර්ණ කාලය සංගීතය වෙනුවෙන් කැප කරන්න හිතුවා. මීට අවුරුද්දකට පෙරදී වගේ. ඒ තීරණයට ගෙදරින් ප්‍රශ්නයක් වුණෙත් නැහැ. මම විවාහකයි. මේ හැමදේමට දැන් මගේ අම්මාත් බිරිඳත් තමයි උදව් කරන්නේ. ඒ සහයෝගය එක්ක මම මේ වැඩ කටයුත්ත කරගෙන යනවා. සම්පූර්ණ කාලය සංගීත කටයුතුවලට තමයි යොදවලා තියෙන්නේ. ඉතින් අද වෙද්දී මගේ හීනය යම් තරමට සැබෑ වෙලා කියලා හිතෙනවා. පියවරෙන් පියවර සැලසුමක් ඇතිව හොඳ ගමනක් හිමින් යන්න තමයි ලොකුම බලාපොරොත්තුව වෙන්නේ ඉදිරියේදී. ​ඉතින් මට මේ තැනට එන්න උදව් වුණු හැමෝටම ස්තූති කරන්න කැමතියි. 

ධනු විජේරත්න