සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්

  • 05-04-2021
  • Views 1323

වසන්තය ළඟ ළඟම එයි. කජු නාබර පිරුණු ගහේ, රතුම රතු පාට පුහුලමක් දෙස බලාගෙන කොවුලෙක් කොහෝ කොහෝ යැයි තාලයට ගයයි. කෝකිලයා හිතන්නට ඇත්තේ කුරුලු ලොවේ පමණක් නොව, මිනිස් ලොවේ ද ඌට තරම් ගී ගයන්නට හැකි වෙනත් හපනෙක් නැතැයි කියාය.

මේ කුලියාපිටියේ, වෙරලුගම ගමේ කිසියම් නිවෙසකි. නිවෙසින් එළියට පැමිණි එහි ගෘහමූලිකයා මිදුලට බැස්සේ අර කොහෝ ගීතයට සවන් දෙන්නටය.
“කොහෙක් නේද තාත්ති”
ඒ සමගම එළියට පැමිණි ඔහුගේ දඟකාර පුතන්ඩියා ඇසුවේය.
‘ඔව් පුතේ..’
“ඔය කුරුලු ලෝකෙ ලස්සනටම සින්දු කියන්නෙ කොහාද?”
පුංචි එකාගේ ප්‍රශ්නවල කෙළවරක් නැත.
‘යුරෝපෙ නම් නයිටිංගේල් කියලා කුරුල්ලෙක් ඉන්නවලු ලස්සනට සින්දු කියන. හැබැයි ඉතින් ලංකාවෙ නම් ලස්සනම හඬ තියෙන්නෙ කොහාට.’
තාත්තා පිළිතුරු දුන්නේ ද කොහාගේ කූජනයට සවන් යොමන අතරේමය.
“එතකොට ඔය කොහායි අපේ තාත්තියි එක වගේ නේද?”
‘අපෝයි නෑ... කොහා කළුම කළු කුරුල්ලෙක්. මම එච්චර කළු නැහැනෙ පුතේ.’
“ඒ වුණාට අම්මි කිව්වානෙ කොහාට වගේම ලස්සනට මගේ තාත්තිටත් සින්දු කියන්න පුළුවන් කියලා.”
තාත්තාට සිනා ගියේය. ඔහු පුංචි පුතා ඔසොවා හිස මත තබාගත්තේ සතුටෙනි.
මේ ආඩම්බර තාත්තා චන්දන ලියනආරච්චිය.
කලකට පෙර,
“සුවඳ තියා මා ළඟ ඔබ
අරන් යන්න මල්
නෙත නිලුපුල් - වත රතුපුල්
නෙත නිලුපුල් - වත රතුපුල්” 
කොඳ කැකුළු සිනා මල්
ගීතය ගයා රසික ජන මන පුබුදුවාලූයේ ඔහුය. එකල උදේ සිට මහ රෑ වනතුරු හත් අට වරක් විටින් විට මේ ගීතය රේඩියෝ නාලිකා ඔස්සේ ප්‍රචාරය වූ හැටි මතකය.
අපේ හිත්වල ඉතිරි වූ ඒ කෙටි මතක සටහන්වලට වඩා මතක බොහෝමයක් චන්දනට මතක ඇති. මෙද‌ා ‘ඉර හැංගෙන හැන්දෑවට’ චන්දන සමග දොඩමළු වීමට සිතුණේ ඒ මතක ඇවිස්සීමටත් එක්කමය.

‘ඉතිං චන්දන, කාලෙකට පස්සෙ?’
මම කතාබහ ඇරඹුවේම එසේ කියමිනි.
“ආයුබෝවන් ආයුබෝවන්”
චන්දන දෑත් එක් කරන්නේම සතුටු සිනාවෙන් මුව නහවා ගනිමිනි.
එවිටම කෝකිල කූජනයකින් දෙසවනට මිහිරක් දැනිණි.
‘අද මොකක් හරි ප්‍රසංගයක් තියෙනවා ද?’
මම චන්දනගේ මුහුණ බැලීමි.
“මොන ප්‍රසංග ද? අවුරුද්දකින් ප්‍රසංගයකට ගියේ නැහැ.”
‘එහෙනම් තව ගායකයෙක් ඇවිත් ඉන්නෙ?’
මම කෝකිල කූජනය අඟවමින් කීවෙමි.
“ඒ ඉතින් වසන්ත ගීතයනේ.”
චන්දන හිනැහුණේය.

‘හුඟාක් ගායකයො ගායිකාවො ගමේ ඉපදුණාට මොකද, ස්ථාවරයකට ආවට පස්සෙ ගම හැරද‌ා අගනුවරට යනවා. ඒත් චන්දන තාම වෙරලුගම නේද?’
මම එක් ප්‍රශ්නයකින් ගායකයා දොඩමළු කරන රිසින් ඇසීමි.
“මම ගමට ආසයි. ගමේ පරිසරයට ඇළ දොළට ගහ කොළට හුඟාක් කැමැතියි. වත්තට බැහැලා කෝකිල කූජනවලට කන් දීගෙන ඉන්න, වෙල්යායෙ ගොයම් හැදෙන හැටි බලන් ඉන්න මම තාමත් ආසයි. සින්දු රෙකෝඩින් එකකට කොළඹ ගිහිල්ලා ආපහු ගමට එනකොට මට ලොකු සතුටක් දැනෙනවා. නිදහසක් දැනෙනවා.
ඒක එක හේතුවක්. අනිත් හේතුව මගේ අම්මා. අම්මා තනියෙන් ද‌ාලා කොළඹ ඉන්න මම කැමැති නැහැ.”
චන්දන බොහෝ හැඟීම්බර ලෙස කීවේය.
‘එතකොට මේ ඔයාලගෙ උපන් ගම?’
“අනේ නෑ, මම ඉපදිලා තියෙන්නෙ හලාවත. ඒත් අපි පුංචි කාලෙ අපේ තාත්තලා ඉඩම් අරගෙන මෙහෙ පදිංචියට ඇවිත්. මම ස්කෝලෙ ගියෙත් කුලියාපිටියෙ සෙන්ට්‍රල් එකට.”
‘එතකොට ඔයා සංගීතයට අත් පොත් තියන්න ඇත්තෙත් ස්කෝලෙදි වෙන්න ඇති?’
“ඔව් ඉතින් ඕනෑම දරුවෙක් තමන්ගෙ කුසලතා ඔප්නංවා ගන්නෙ පාසලෙන්නෙ. මමත් එහෙම තමා. මගේ ගුරුවරු තමා මගේ හැකියාව අඳුනගෙන මට මඟ පෙන්වීම් කළේ. විවිධ ගායනා තරගවලට මාව යොමු කළේ. කොහොම හරි මම ඕලෙවල් විභාගෙටත් සංගීතය විෂයයක් විදිහට අරගත්තා.”
‘එතකොට ඒ ලෙවල් කරන්නෙ?’ 
“ඒ ලෙවල් කළේ සයන්ස්වලින්. මොකද ඕ ලෙවල් විභාගෙට ගණිතය, විද්‍යාව හොඳට පාස් වුණොත් ඊළඟට අපි තෝරගන්නෙ විද්‍යාවනෙ. මටත් වුණේ ඒක. හැබැයි ඒ ලෙවල් පන්තියට ගිහින් ටික කාලෙකින්ම මට විද්‍යාව එපා වුණා.”
‘මටත් වුණේ ඕකම තමා’
මම සිනාසී කියමි. ‘අන්තිමේදී ඕ ලෙවල්වලින් විශිෂ්ට ලෙස සමත් වුණ මම උසස් පෙළදී විශිෂ්ට ලෙස ෆේල් වුණා. ඔයාටත් වෙන්න ඇත්තෙ ඒකමයි. කොහොම හරි ඊට පස්සෙ, ඔයා ඔයාගෙ මාර්ගය එළි පෙහෙළි කරගත්ත ද?’
“ඔව්නෙ...”
චන්දන යළි සිනාසිණි.
“මම කොහොම හරි බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය ගැන දැනගත්තා. ඒක කළේ ජාතික තරුණ සේවා සභාවෙන්. මම කොහොම හරි බෙල්වුඩ් එකට ඇතුළත් වුණා.”
‘බෙල්වුඩ් ගම ස්කෝලෙට වඩා සුන්දර වෙන්න ඇති?’
“අපෝයි ඔව්. මම ඉගෙන ගත්තෙ පෙරදිග සංගීත පාඨමාලාව. විශාරද නිහාල් ගම්හේවා ගුරුතුමා තමා අපිට හිටියෙ. මෙතනදි අපිට ඉගැන්නුවෙ ලලිත කලාවේදී ඩිප්ලෝමා පාඨමාලාවක්.”
‘කවුද සමකාලීනයො එහෙම?’
“ප්‍රින්ස් උදය ප්‍රියන්ත, කරුණාරත්න විජේවර්ධන, හේමලාල් ගීතදේව එහෙම. එතකොට රෝයි පීරිස්, විජය බණ්ඩාර වැලිතුඩුව එහෙම ඉඳලා ගිහින්.”
‘එතකොට යොවුන් ගී කණ්ඩායමේ එහෙමත් හිටිය ද?’
“ඔව් ඔය වෙද්දි යොවුන් ගී කණ්ඩායමයි යොවුන් මිහිර කියලා කණ්ඩායමකුයි දෙකක්ම හිටියා. ගම් උද‌ාව එහෙම පැවැත්වෙද්දි, අපි යනවා ඒ වගෙයි ගීත ගයන්න. එතකොට යොවුන් ගී කණ්ඩායමට කලින් නිර්මාණය කළ ගීත වගේම අපිටම කියලා නිර්මාණය කරපු ගීතත් අපි ගායනා කළා.” 
‘මතක් කරමුද ඒ කාලෙ කියපු සින්දුවක් එහෙම?’
“මම බෙල්වුඩ් හිටපු කාලෙදි තමයි යොවුන් ගී 43 කැසට්පටය නිකුත් වුණේ. ඒ කාලෙ යොවුන් ගී කැසට්පටවලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඔය කැසට් එකේ මම ගයපු ගීත දෙකක් තිබුණා, ‘සසල මා නිසල වුණ’ කියන ගීතයයි ‘පෙම් පණිවුඩයයි.’”
“පෙම් පණිවුඩයේ කඳුළැල්ල ගෙනා 
ඒ රාව ඇහෙද්දී හද ඉකිබින්ද‌ා
ඈ හොයා යන්නදෝ.....”
චන්දන හීන් හඬින් ගායනා කරන හැටි මම බලා සිටිමි. ඔහුගේ හඬ කොහොමටත් ප්‍රේමාන්විතය. ශෝකාකූලය. හරියටම කිවහොත් විරහී ප්‍රේමවන්තයකුගේ වැනිය. පෙම් පණිවිඩය ගායනා කරන විටත් ඔහුට ප්‍රේමයේ විරහව දැනී තිබුණා දැයි මම නොදනිමි. එහෙත් ඒ ගැන අසා ඔහුගේ හද පාරන්නට හිත් දුන්නේ නැත. ගීතය ගයා අහවර කළ ඔහු සිනාසී මදෙස බලයි.
“ඔය ගීත ඒ කාලෙ එහෙමට ජනප්‍රිය වුණේ නෑ. මගෙ ජනප්‍රිය වුණු ගීත ආවෙ ඊට පස්සෙ මම කළ කැසට් එකේ. ඔය කැසට් එක කරගත්තේ බෙල්වුඩ් එකේ මගේ සංගීත ගුරුතුමාගෙ උදව්වෙන්. ඒක ගීත දොළහක් තිබුණු ‘සිහින කුමාරියේ’ කියන කැසට් එක.”
‘මොනවද ඒ ජනප්‍රිය වුණු ගී?’
“පොල් රුප්පාවේ, සිත පරව ගියා. ඒ ගී දෙක හුඟාක්ම ජනප්‍රිය වුණා. කොටින්ම චන්දන ලියනආරච්චිගෙ අනන්‍යතාවය හැදුණෙ ඒ ගීවලින්.”
“සිත පරව ගියා
වත මිලින වුණා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනාගම්ද කෙසේ....”
‘මේ ජනප්‍රියත්වයත් එක්ක චන්දනට ප්‍රසංග වේදිකාවෙ දොර ඇරුණා ද?’
“ඔව්නෙ, මට එක එක සංදර්ශනවලට ගී ගයන්න ආරාධනා ආවා. ඔය එක්කම මටත් තව තවත් සින්දු කියන්න ආශාවක් ආවා. ඊළඟට මම තවත් කැසට්පටයක් කළා ‘සිතුම් ගංගා’ නමින්. ලියතඹරා මලයි, සුවඳ තියා මා ළඟ ගීත දෙකම තිබුණේ ඒ කැසට් එකේ. ඒ සින්දු දෙක මට උපරිම ජනප්‍රියත්වයක් දුන්නනෙ.”
‘ඇත්තටම චන්දන, මමත් ඔයාට ප්‍රිය කරන්න පටන් ගත්තෙ සුවඳ තියා ගීතයත් එක්ක.’ 
මම කියමි.
“ඔයා විතරක්යැ. රටේ වැඩි දෙනෙක් සුවඳ තියා ගීතයට ප්‍රිය කරනවනෙ.”
චන්දන සීනාසෙයි. සිනාසෙන විට පුංචි වෙන ඔහුගේ ඇස් දෙකේ ඇත්තේ සිහින් සතුටක් සහ ආඩම්බරයක් බව මට හැඟේ.
‘මම හිතන්නෙ ඔයාගෙ සංදර්ශන ඉල්ලීම් එහෙම මේ වෙද්දි වැඩි වෙන්න ඇති?’
“ඔව් පිටරටවල ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙන්න පටන්ගත්තා.”
‘ඒක නෙමෙයි, මේ වෙද්දි ඔයා රටවල් කීයක විතර ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනවා ද?’
මම වහා මාතෘකාව වෙනස් කර අපේ කතාබහ වෙනස් තැනකට රැගෙන යමි.
“මං හිතන්නෙ රටවල් විසිපහක් විතර.”
‘රටවල් විසිපහක්? ඔය ගියපු හැම රටකම ඉර හැංගෙන හැන්දෑවල්වල මතක සටහන් ඇති?’
“සමහර චාරිකා නම් දවසකට දෙකකට සීමා වෙනවා. අද ගියා, හෙට සින්දු කිව්වා, අනිද්දා ආපහු ආවා. හැබැයි සමහර චාරිකා තියෙනවා සතිය හමාර ඒ රටවල ගතකෙරුණු. එතකොට නම් ඒ ඒ රටවල ලස්සන තැන් බලන්න ගියා.”
‘කියන්නකො ඒ මතක ගැන?’
මම චන්දනට ඇරියුම් කරමි.
“ඊශ්‍රායලයට ගිය ගමන මට හුඟාක් විශේෂ එකක්. මොකද මම රෝමානු කතෝලික ආගමනෙ අදහන්නේ. ඉතින් අපිට ඊශ්‍රායලය කියන්නෙ ශුද්ධ වූ දේශය. ජෙරුසලම කියන්නෙ ජේසුස් වහන්සේ උපන් බිම. ඉතින් ඒ ස්ථාන දකින්න වැඳ පුද‌ා ගන්න ලැබෙන එක වාසනාවක්නෙ. 
එතකොට ප්‍රංශයට ගිය වෙලාවෙ ලූර්දු ගියා. ලූර්දු දෙව්මැදුර හරිම ලස්සන පරිසරයක පිහිටි අපූරු දෙව්මැදුරක්. මේ දෙව්මැදුර තියෙන්නෙ දෙවියන් වහන්සේ දර්ශනය වූ තැන.
ඒ වගේම රෝමයෙ වතිකානුව. මේ හැම තැනකම මතකය මගෙ හිතේ රැඳිලා තියෙනවා. මොන තරම් සුන්දර මතකයන් ද මේ. අදටත් ඇස් දෙක පියාගෙන මේ මතක සිහිපත් කරන්න පුළුවන්. එතකොට මගෙ හිත නිවෙනවා.”
චන්දන ලියනආරච්චි අද වනවිට ප්‍රවීණයෙකි. එහෙත් ප්‍රවීණයන් අලුත් ගී ගැයීමෙන් දුරස්ව සිටින බවක් පෙනෙන්නට තිබේ. එහෙත් චන්දන අලුතින් බොහෝ නිර්මාණවලට ද‌ායක වන ශිල්පියකු බව ‘යූටියුබ’යෙන් අපට අසන්නට දකින්නට තිබේ. චන්දන ගැයූ අලුත් ගීයක් අසන්නට නොලැබෙන මාසයක් නොමැති තරම්ය. එය සතුටට කරුණකි.
‘මේ වෙද්දි ගීත කීයක් විතර කියලා තියෙනව ද චන්දන’
මම අසමි.
“මං හිතන්නෙ හාරසීයක් විතර.”
චන්දන තරමක කල්පනාවකින් අනතුරුව කියයි.
“ඒ ගීතවලින් වැඩි හරියක්ම මම ගායනා කළේ පසුගිය අවුරුදු දෙක තුළදී. ඒ ගීත අද ඉන්න අලුත් පරපුරේ රචකයන් රචිකාවන් ලියූ ගී වීමත් විශේෂත්වයක්. ඒ වගේම අද පරපුරේ ජනප්‍රිය සංගීත ශිල්පීන් වන දර්ශන වික්‍රමතුංග සහ අනුරාධ අබේසිංහ හැදූ ගී. තව කරුණාරත්න විජේවර්ධන සහ අරුණ ගුණවර්ධන හැදූ ගීතත් මම මෑත කාලයේ ගායනා කළා.”
‘වත්මන් ගීතය තියෙන්නෙ අවරගණයේ කියලා චෝදනාවක් තියෙනවා. නමුත් ඔබ ගැයූ ගී සියල්ලෙම සුභාවිත ගීවල හැඩය තියෙනවා.’
“ඔව්. ඒ ගී සුභාවිත ගී. බොහොම අරුත්බරයි. හිත නිවෙනවා.”

‘චන්දන ඔයා මාත්තෙක්ක කිව්වා, ගම ද‌ාලා යන්න බැරි එක හේතුවක් ඔබේ ආදරණීය මව බව. කෝ දැන් අම්මා?’
මම චන්දන සමඟ කළ කතාබහ යළිත් ඔහුගේ පෞද්ගලික ජීවිතය දෙසට හරවමි.
“අම්මා ඉන්නෙ ගේ ඇතුළෙ. අවුරුදු කීපෙකට කලින් පොඩ්ඩක් අසනීප වෙලා දැන් ඉන්නෙ රෝද පුටුවෙ. ඒ නිසා අම්මා වැඩිපුර එළි පහළියට එනවා අඩුයි.”
‘මට හිතෙනවා ඔයා අම්මා ගැන ගීතයක් ගායනා කරන්න ඇති කියලා?’
“අනේ ඔව් මම අම්මා ගැන ගීතයක් ගායනා කළා. ඒ ගීතය මගේම අම්මා ගැන ගයපු ගීතයක් මිස පොදුවේ ගැයූ මව්ගුණ ගීතයක් නෙවෙයි.”
“ඇවිළෙනා නෙතු පහන් එළියෙන්
නිවා ලතැවුල් කන්දරා
හද සෙනේ විල කඳුළු පැන් ඉස
මල් කැකුලු පෙති සුවඳ කළ අම්මා...”
චන්දන ලයාන්විතව ගයයි.
බිඳුණු වෙණතත් පවා පිරිමැද
ගයා නැලවිලි ගීත සුපසන්
මගේ මුවගට මියුරු හඬ දුන් 
පින්සාර සරසවිය අම්මා
කියලා කොටසක් ඒ ගීයේ තියෙනවා.
“ඔය ගීතය ලිව්වෙ සුගත් සෝමවීර.
මම සුගත් මල්ලිට කිව්වා අපේ ගෙදර ඇවිල්ලා, අම්මව දැකලා මගේම අම්මා ගැන ගීතයක් ලියලා දෙන්න කියලා.”
‘ඉතින් ඔය ගීතය අහලා අම්මා ඇස් දෙකට කඳුළු පුරෝගන්න ඇති?’
“නෑ අම්මාට දැන් අවුරුදු අසූඅටක්. එහෙම අසනීප වුණේ ස්ට්‍රෝක් එකක් ඇවිත්. ඒ නිසා එයාට මේ ගීතය රසවිඳින්න අමාරුයි.”
‘එහෙනම් ඔයා පරක්කු වෙලා. මේ කලින් කියන්න තිබුණු ගීතයක්?’
මම අසමි.
“ඇත්තමයි කලින් කියාගන්න තිබුණා නම් හොඳයි කියලා මටත් හිතෙනවා.”
චන්දනගේ මුහුණේ හැඟීම් පිරෙන හැටි මම බලා හිඳිමි.
“එහෙම වුණා නම් අම්මා හුඟාක් සතුටු වෙනවා. කොහොම වුණත් මගේ අම්මා ඉන්නෙ සතුටින්. මගේ ලොකු අක්කා වගේම මගේ වයිෆ් අම්මාව හරිම ආදරෙන් බලාගන්නවා. ඒක මට සතුටක්.”
චන්දන සිනාසෙයි.

‘ඔයාගේ ආදරණීය බිරිඳ චන්දන ලියනආරච්චි කියන ගායකයාගෙ රසිකාවක් කියලා මං අහලා තියෙනවා?’ 
“ඔව්නෙ නදීශිකා මියුසික්වලට හුඟාක් කැමැතියි. මට එයාව දැනගන්න ලැබුණෙ සින්දු කියන්න ගිය වෙඩින් එකකදි. නදී ඒ වෙඩින් එකේ මනමාලිගෙ යෙහෙළියක්. ඉතින් එද‌ා එයා රසිකාවක් විදිහට මගෙත් එක්ක කතා කළා. ඊට පස්සෙ එයා මගෙ මිතුරියක් වුණා. දන්නෙවත් නැතුව එයා මගෙ ආදරවන්තිය බවට පත් වුණා.”
එවර චන්දනගේ දෙතොලෙහි වූයේ සතුටු සිනාවකි. 
‘ඊටත් පස්සෙ ඒ ආදරවන්තිය බිරිඳ වෙනවා. ඔබේ පුතාගෙ ආදරණීය මව වෙනවා. ඔබේ මවගේ ලේලිය වෙනවා.’
මම කියාගෙන ගියෙමි.
“ඔව්නෙ...”
චන්දනගේ හිනාව වඩාත් පුළුල් වෙයි.
‘අපූරු ආදර කතාවක් නේද?’
මම විහිළුවට මෙන් අසමි.
‘නදී වැඩියෙන්ම කැමැති චන්දනගෙ මොන සින්දුවට ද?’
“මගෙ හැම සින්දුවටම වගේ එයා කැමැතියි. හැබැයි වැඩියෙන්ම කැමැති ‘සිහින අසපුවේ’ කියන ගීතයට.”
“සිහින අසපුවේ ඔබ හා මා 
රැඳී සිටින්නම් තුරුලු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්....”
‘මේ ගීතයට ලස්සන නර්තනාංගයක් නිර්මාණය කරන්න පුළුවන්ද?’
මම චන්දනගේ මුහුණු බලමි.
“පුළුවන් ඇති. ඇයි ඔයා එහෙම අහන්නෙ?”
‘ඔයාගෙ නදී නර්තන ආචාර්යවරියක් නිසා.’
චන්දන හඬින් සිනාසෙයි. ඒ හිනාව ආඩම්බරකාර හිනාවක් බව මට රහසක් නොවේ. තම බිරිඳ ගැන උපන් ආඩම්බරය ගෞරවය හා ආදරය ඒ හිනාවේ සටහන්ව පවතින බව මට දැනේ.
කෙසේ වෙනත් මේ ගීතයෙන් කියැවෙන්නේ හැම බිරිඳකගේම ප්‍රාර්ථනය යැයි මට සිතේ. ‘එපා එපා වෙනතක දැවටෙන්නට’ යැයි හැම බිරියක්ම තම සැමියාට හැමද‌ාමත්ම කියන කතාවයි.

ශාන්ත කුමාර විතාන

20210404Chandana-3 20210404Chandana-2 20210404Chandana-1