කොච්චර කට්ට කෑවත් මට ලංකාව තරම් වටිනා රටක් තවත් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q ලෝචනා.. පහුගිය කාලයේදි වැඩිය දකින්න ලැබුණෙ නැහැ. හිටියෙ කොහෙද?
 
ඔව්.. පහුගිය කාලෙදි මම මාස කිහිපයක්ම ලංකාවෙ හිටියෙ නැහැ. මගේ පුතා බලන්න නෙදර්ලන්තයට ගිහින් හිටියෙ. ඒ නිසා තමයි මාව වැඩිය දකින්න ලැබුණෙ නැත්තෙ.
 
Q නෙදර්ලන්තයට ගිය නිසාමද මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නෙ?
 
ඔව්.. ඒකත් එක හේතුවක්. හැබැයි ලොකුම හේතුව තමයි මගේ පුතා මේ මාසෙ ලංකාවට එනවා. දැන් පුතාට වයස අවුරුදු හතයි. එයාගේ ඉගෙනීමේ කටයුතු නිසා පුතා අවුරුදු දෙකකටත් වැඩි කාලයකින් ලංකාවට ආවෙ නැහැ. ඉතින් මේ නිවාඩු කාලෙදි මාස කිහිපයක්ම ලංකාවේ නතරවෙලා එයාගේ නිවාඩුව ගත කරන්න පුතා අප්‍රේල් මාසෙ ලංකාවට එනවා. ඒ නිසා දැන් මම ගොඩක් සතුටින් ඉන්නවා. මම නෙදර්ලන්තයේ ඉඳලා එද්දි පුතාව දාලා එනකොට දුකක් තිබුණා. හැබැයි එයත් දැන් ලංකාවට එන නිසා මම සතුටින්.
 
Q නෙදර්ලන්තයට යාමට පෙර ඔබ දායක වුණු කලා කටයුතු ගැන කතා කළොත්?
 
මම නිතරම නෙදර්ලන්තයට යනවා. පුතාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක එයාට නිතර ලංකාවට එන්න බැහැ. එයාගේ නිවාඩු කාලෙට විතරයි පුතා ලංකාවට එන්නෙ. ඒ නිසා මම එයාව බලන්න යනවා. මාස තුනෙන් තුනට මම නෙදර්ලන්තයට යනවා. ඒ යන එන නිසා මට ගොඩක් වෙලාවට මෙහෙ කලා නිර්මාණයකට දායක වෙන්න බැරි වුණා. ඒ නිසා මම කාලෙකින් වැඩක් කළේ නැහැ. හැබැයි මේ පාර හොඳ නිර්මාණයකට දායක වෙන්න ඕනෑ කියලා මටම හිතුණා. පුතා ආවට පස්සෙ නිර්මාණයකට දායක වෙන්න බැහැ. ඒ කාලය මම පුතාට දෙන්න ඕනෑ. ඉතින් ඊට පස්සෙ අපි බලමු.
 

Q කලාකාරියක් විදියට නිර්මාණවලට දායක නොවීම අපරාදෙ කියලා හිතෙන්නේ නැද්ද? ටිකෙන් ටික ලෝචනාව රසික රසිකාවියන්ට අමතක වේවිද?
 
මම අවුරුදු ගාණක් මේ ක්ෂේත්‍රයේ හිටියා. හැබැයි පසුගිය කාලයත් එක්ක බලද්දි මම නිර්මාණවලට දායක වුණේ නැහැ. හැම නාලිකාවකම තිබුණු අවුරුදු උත්සව අවුරුදු කාලයට කලින් තමයි රූගත කිරීම් කළේ. මේ කාලය තුළදි මම නිර්මාණයකට දායක නොවුණත් හැම නාලිකාවකම පවත්වපු අවුරුදු උත්සවවලට මට ආරාධනා ලැබුණා. ඒ අතරින් අවුරුදු උත්සව නිවේදනය කරන්නත් ආරාධනා ලැබුණා. මේ කාලයේදි කලාකාරියන්ගේ අහේනියකුත් නැහැනේ. එහෙම කාලයකත් මට එහෙම ආරාධනා ලැබීම ගැන මම සතුටු වෙනවා. කුමක් හෝ වටිනාකමක්, මතකයක් තියෙන නිසා ඒ ලැබුණු ආරාධනා ගැන ඇත්තටම මම සතුටු වෙනවා. 
 
Q ඔබට නෙදර්ලන්තයේ ස්ථිරවම පදිංචි වෙන්න අදහසක් නැද්ද?
 
තාම එහෙම අදහසක් නැහැ. සැමියාගේ රුකියාවයි පුතාගේ අධ්‍යාපනයයි නිසා ඒ දෙන්නට ලංකාවට පදිංචි වෙන්න එන්න බැහැ. ඒ වගේම මමත් එහේ පදිංචි වෙන්න  ආසා නැහැ. කොච්චර කට්ට කෑවත් මට ලංකාව තරම් වටිනා රටක් තවත් නැහැ. ඒ රටේ ළමයි නිදහසේ හැදෙනවා. අපි හැමදේම කරලා දෙනකම් එයාලා බලාගෙන ඉන්නේ නැහැ. අපි දැන් හැදිලා තියෙන විදිහක් තියෙනවනේ. එකම ගෙදර ඉඳන් ගහමරා ගන්න අය  අපි දැකලා තියෙනවා. දුරින් ඉඳලත් ගහමරා ගන්න අය අපි දැකලා තියෙනවා. කොහේ හිටියත් ප්‍රශ්න ඇතිවෙනවා නම් ප්‍රශ්න ඇතිවෙනවා තමයි. ඒ නිසා මේ යන විදියට අපි යන්න දෙනවා. අපිට ජීවිතේ කොතැනක හරි නවතින්න ලැබේවි. සමහරවිට මට නෙදර්ලන්තයේ නතර වෙන්න සිදුවේවි. සමහරවිට ඒ දෙන්නට ලංකාවට එන්න සිදුවේවි. ඒක කොහොම වේවිද කියලා අපි තාම දන්නේ නෑ. මේ විදිහට අපි ජීවත් වෙනවා.
 
Q මේ දවස්වල ලෝචනා මොකද කරන්නේ?
 
නෙදර්ලන්තයේ ඉඳන් ලංකාවට ආපු ගමන් අවුරුදුවලට ආරාධනා ගොඩක් ලැබුණා. ඒවාට සහභාගි වුණා. ඊට අමතරව රූපවාහිනි නාලිකාවල වැඩසටහන්වලටත් ආරාධනා ලැබෙනවා. ඒවටත් සහභාගි වෙනවා. මම ගොඩක් කාලයක් ලංකාවේ හිටපු නැති නිසා මට ලංකාවේ ඇවිදින්න යන්න අතපසු වුණා. මම ලංකාවේ ඇවිදින්න යන්න ආසා කෙනෙක්. පුතා එන නිසා මගේ වැඩි කාලයක් දැන් එයාලා වෙනුවෙන් වෙන් කරන්න කාලය හදාගෙන ඉන්නවා. එයාලා අවුරුදු ගාණකින් එන නිසා එයාලා එක්ක නෑදෑ ගෙවල්වල යන්න, රටේ ඇවිදින්න යන්න, එයා ආසා කරන දේවල් අරගෙන දෙන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා මේ කාලේ එයාලා නිසා කාර්යබහුල වේවි. 
 
Q නෙදර්ලන්තයට ගියාට පස්සේ ඔබගේ භූමිකාව කොයි වගේද?
 
නෙදර්ලන්තයේදි මම තනිකරම අම්මා කෙනෙක්. ලංකාවේ මම ගත කරන ජීවිතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් මම එහිදි ගත කරනවා. මම නෙදර්ලන්තයේදි උදේ පාන්දර නැගිටිනවා. උදේට පුතාට ගෙනියන්න කෑම ටික ලෑස්ති කරනවා. එයාව ඉස්කෝලේ යවන්න ලෑස්ති කරනවා. කොහොමටත් මම ඒ රටේදි උදේ පාන්දර පහ වෙද්දි නැගිටිනවා. මගේ අම්මාගේ චරිතයම මට නෙදර්ලන්තයේදි කරන්න සිදුවෙනවා. ලංකාවේ මම ගත කරන විනෝද ජීවිතේ ඒ රටේදි මට නැහැ. මම ඒකට කැමතියි. මම ඒකට ආසයි. 
 
Q අද ගත කරන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
 
කොහොමටත් මම මොන තැන හිටියත් සතුටින් හිටියා. අදටත් එහෙමයි. අපි හැමෝම ජීවත් වෙන්නේ සතුටින් ඉන්නයි. බලාපොරොත්තු වෙන්නෙත් අපේ ජීවිතයේ සතුටයි. ඒ නිසා මගේ ජීවිතය මම සතුටින්. පුතා එන නිසා දැන් තවත් සතුටින්. මම එහේ ගිහින් හිටියට වඩා පුතා ලංකාවට එන නිසා මගේ අම්මා තාත්තා හැමෝම සතුටු වෙනවා. ඒ නිසා දැන් ඒ සතුට වැඩියි. 
 
 I දිශානි ජයමාලි