ජීවිතය අලුත් අත්දැකීම් එක්ක ලස්සනට ගෙවිලා යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කව්මිණි තත්සරණි, කරළියට ආවේ ජාතික රූපවාහිනියෙ අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කරමින්. ඉන්පසුව ‘වලවෙට්ටුවා’ නාට්‍යයේ චරිතයකින් ටෙලි රංගනයට ආ, ඇය මේ වනවිට නාට්‍ය හතරකට විතර රංගනයෙන් දායක වූ තුරුණු ශිල්පිණියකි. විකාශය වූ ‘ඇස්’ නිසා බොහෝ දෙනා අතර සොඳුරු චරිතයක් වූ ඇය, මේ දිනවල ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින් අතර සොඳුරු රුවක් බවට පත්ව සිටින්නේ විකාශය කෙරෙන ‘උන්මාදිනි’ නාට්‍ය නිසාය. හසුන් සමීරගෙ නිර්මාණයක් ලෙස විකාශය වන ‘උන්මාදිනි’ නාට්‍යයේ චරිතයක් රඟන කව්මිණි සමග යළිත් කතා බහක් කළොත් හොඳයි නේද? එහෙම නම් බලමු ඇය අද අපට මොනවද කියන්නෙ කියලා?

‘උන්මාදිනි’ මොන වගේ කතාවක්ද කියලා කෙටියෙන් කිව්වොත්?

ආදර කතාවක්, ආදර කතා ගොඩක එකතුවක් වගේ කතාවක්. එක එක විදියෙ ආදර කතා ඇති සාමාන්‍යයෙන් අපි දකින කතාවලට වඩා වෙනස් විදියෙ කතාවක්. මට ලැබුණු චරිතය ප්‍රධාන චරිතයක්. මම ආස කරන ලස්සන චරිතයක්. චරිතයේ නම තිමාති සනාෂා. මම බොහොම ආදරය කරන චරිතයක් නිසා, බොහොම කැපවීමකින්, ආදරයකින් ඒ චරිතය කරනවා. මට ලැබුණු වෙනස්ම වෙනස් චරිතයක්.

මේ චරිතයේ ඔබගෙ ජීවිතයට සමීප තැන් තියෙනවද?

මගේ ජීවිතයට සමීප සමහර තැන් තියෙනවා. ඒ කියන්නෙ මගේ ආරයට වෙනස්වූ ආරයක් ඇති චරිතයක්. මේ කතාව නරඹලාම මට කියන්න කියලා ප්‍රේක්ෂකයින්ට කියන්න කැමැතියි.

කොහොමද කව්මිණිගෙ උසස් අධ්‍යාපන කටයුතු?

මේ වැඩ නිසා ඒවා ටිකක් විතර අතපසු වෙනවා. ඒත් නතර කරලා නැහැ. දිගටම කරගෙන යනවා. මම උපාධිය හදාරන්න ලැහැස්ති වෙන්නෙ ව්‍යාපාර පරිපාලන අංශයෙන්.

රංගනයට කාර්යබහුල වුණාම, කොහොමද අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නෙ?

මෙහෙමයි, ලැබෙන චරිත අතරින් මම ඔක්කෝම බදා ගන්න යන්නෙ නැහැ. මගේ කාලය හසුරුවා ගැනීම වගේම නිර්මාණයේ ගුණාත්මක බව ගැන හිතලා චරිතයකට දායක වෙනවා. ඒ විදියෙ නිර්මාණ ලැබීමත් වාසනාවක්. මේ වාසනාවට අරුතක් එක් කිරීමට මහන්සි වෙනවා. චරිත කීපයක් එකපාර බාර නොගෙන එක් චරිතයක් බාරගෙන ඊට උපරිම සාධාරණය කිරීම මගේ අරමුණයි.

මේ විදියට නිර්මාණ සහ අධ්‍යාපනය එක්ක ගතවෙන කව්මිණිට ජීවිතය ගැන අද දැනෙන විදිය?

ජීවිතය අලුත් අත්දැකීම් එක්ක ලස්සනට ගෙවිලා යනවා. සිනහාවෙන් පිරී තියෙනවා. මේ වගේ නිර්මාණ එක්ක ජීවිතයට අත්දැකීම් එකතු වෙනවා. ඒ වගේම ලස්සන අරුත් එකතු වෙනවා. ඒ විදියටම ගත කිරීමට ලැබීම සතුටක්. මම තවම ක්ෂේත්‍රයට අලුත්. ඉතින් ලැබෙන චරිත එක්ක ජීවිතයට ගත යුතු හොඳ නරක ලබා ගන්නවා. ජීවිතයට ඒ අත්දැකීම් හරිම ප්‍රයෝජනවත්. එයින් හොඳ දේ අපේ ජීවිතවලට සමීප කර ගන්න පුළුවනි.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු ඔබට දැනෙන්නෙ කොහොමද?

හොඳ-නරක කොයිතැනකත් තියෙනවනෙ. ඉතින් අපි හරි විදියට හිටියොත් හොඳට ඉන්න පුළුවනි. මම පරිස්සම් වෙන්න මම දැන ගන්න ඕනෑ. 

ක්ෂේත්‍රයේ හොඳ විදියට ඉන්න නම් මොන වගේ දේ අනුගමනය කළ යුතුද?

විශේෂයෙන් කියලා අනුගමනය කළ යුතු දේ නැහැ. නමුත් හරි විදියට හිටියාම හැම දෙයක්ම යහපත් විදියට සිදුවේවි. තමන්ට අවංකව තමන් ඉන්නකොට කාගෙවත් බලපෑම් එන්නෙ නැහැ. 

ජනප්‍රියත්වය කියන දේ එක් රැයකින් ලැබීම ගැන හිතන්නෙ මොන විදියටද?

තමන් කරන නිර්මාණයේදී තමුන්ගෙ කොටස හරියට කරනවා නම් එක් රැයකින් වුණත් ජනප්‍රිය වෙන්න පුළුවන්. එහෙම නැතුව නිර්මාණ මතම නෙවෙයි එය සිදුවන්නෙ. සමහර අය ඉගෙන ගෙන එනවා සමහර අය ඒ විෂය ගැන නොදැන එනවා. ඒ කොයි විදියට ආවත් අත්දැකීම් එක්ක යන ගමන තමයි සාර්ථක වෙන්නෙ. හැමෝම ජනප්‍රිය වෙලා තියෙන්නෙ දුෂ්කර කාලයක්, කැප කිරීමක් ගත කිරීමෙන් පසුවයි. රංගනය ගැන හැකි විදියට හදාරන්න උත්සාහ ගන්නවා. බොහෝ විට අපට අධ්‍යක්ෂවරු යටතේ හැදෑරීම් කරන්න ලැබෙනවා. මේ ‘ඩ්‍රාමා’ එකේදි හසුන් සමීර අයියා යටතේ බොහෝ දේ ඉගෙන ගන්න ලැබෙනවා. අත්දැකීම් ඇති මිනිස්සු ඇසුරේදි ඒ අත්දැකීම් අපටත් ලැබෙනවා. ස්වභාවයේ හැටි එහෙමයි. ප්‍රවීණයින් එක්ක වැඩ කරන්න ලැබීම තවත් වාසනාවක්. එයාලා මට හදාගත යුතු දේ ගැන කියා දෙනවා.

‘කව්මිණි’ ලස්සන පෙනුමැති තරුණියක්නෙ. ඉතින් තරුණයින්ගෙන් එන ඇරයුම්වලට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද? එයාලගෙන් ගැලවෙන්නෙ කොහොමද? 

එහෙම ගැලවෙන්න කියලා මට කරදරකාරී ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැ. නිර්මාණ සහ මගේ රඟපෑම් එක්ක එයාලගෙන් ලැබෙන ආදරය පිළිගන්නවා.

කව්මිණිගෙ ආදරය ලබාගන්න උත්සාහ ගන්න අයට දක්වන ප්‍රතිචාරය?

හැමෝටම ආදරය ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒක එයාලගෙ අයිතියක්නෙ. ඉතින් මග හැරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නැතුව මම නවතිනවා.

ප්‍රේමය සහ ආදරයේදී ඔබගෙ විදිය? 

මට එය දැනෙන තැන නවතීවි.

එහෙම නැවතිලාද තියෙන්නෙ?

ඉදිරියෙදි බලමු.

ජීවිතයට ආදරය එකතු වුණාම?

හරිම ලස්සනයි, ආදරය කියන දේ ඉපදුණදා ඉඳලාම අපට ලැබෙන දෙයක්නෙ. ඒක ලස්සනයි.

අද සිටින තරුණ පිරිස් සහ ඒ අතරේ සිටින තරුණියක ලෙස ඔබ කලාව රස විඳින්නෙ මොන විදියටද?

සංගීතය, නාට්‍ය, වේදිකා නාට්‍යය, චිත්‍රපට ආදී මේ සෑම එකකින්ම මම කලාව රස විඳිනවා. නර්තනයෙන් සහ කලාව රස විඳින්නට ඇති සෑම තැනකින්ම මම එය රස විඳිනවා. වත්මන් පරපුරේ අයගෙ නිර්මාණ වගේම ඊට කලින් පරම්පරාවල අයගෙ නිර්මාණ රස විඳින්නත් මට පුළුවනි. කලාව විඳින කෙනෙක් මම. 

රූගත කිරීම්වලදී ඇක්ෂන්, රෙඩි කියලා කිව්වාම එක පාරටම ඔබට රඟපාන්න පුළුවන්ද?

අලුත් කෙනෙක් විදියට එක් වරම චරිතයට ප්‍රවේශවීමට තරම් මම තවම අත්දැකීම් ලබලා නැහැ. අවශ්‍ය ‘සීන්’ එක ගැන කිව්වාම ඒ ගැන හිතලා අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම මත චරිතයට ප්‍රවේශ වෙනවා. ටේක් කීයක් ගන්නවද කියන එකට වඩා ඒ සීන් එක හොඳට කිරීමට උත්සාහ ගන්නවා.

මේ විදියට රඟපාන බොහෝ දෙනා අද හරිම කාර්යබහුලයි නේද? අඩු තරමින් කෙටි පණිවුඩයක්වත් යවන්න බැරි තරමට අතිශය කාර්යබහුල චරිත නේද?

කාර්යබහුල වීම හොඳයි, නිකරුණේ කාලය නාස්ති කරනවාට වඩා. හැබැයි මම නම් එක්වර එක නාට්‍යයක් විතරයි බාර ගන්නෙ. අධ්‍යාපන වැඩක් තියෙන නිසා කාලය වෙන් කරගෙන තියෙන්නෙ සමබරව. නිර්මාණයක් කරද්දි ඒ වෙනුවෙන් දින ලබා දුන්නෙ නැත්නම් අපි ඒ නිර්මාණයට කරන්නෙ අසාධාරණයක්. ඒ නිසා අපට දරාගන්න පුළුවන් විදියට එය භාර ගැනීම නිසා කවුරුවත් අපහසුතාවයට පත්වෙන්නෙ නැහැ. හැබැයි නාට්‍ය දෙක තුන බාරගෙන රඟපාන අයට මම එය වැරැද්දක් කියලා කියන්නෙ නැහැ. එයාලා ඉතා ලොකු කැප කිරීමක් තමයි කරන්නෙ. 

කොහොමද ප්‍රතිචාරවලදි හොඳ නොහොඳ දරාගන්නෙ?

ආදරණීය ප්‍රතිචාර තමයි ලැබෙන්නෙ. හොඳ හෝ නරක මොන විදියට හෝ අපට ප්‍රතිචාර දක්වන්නෙ එයාලා ආදරේ නිසානෙ. 

රංගනයට ආ නිසා ඔබට ලැබුණු හොඳම දේ?

අත්දැකීම් ලබාගන්න වගේම ලස්සන නිර්මාණවලට දායක වෙන්න වගේම මම නොහිතපු අලුත් මගක් විවර වුණා. මම ආවේ අවුරුදු කුමරියක් ලෙසනෙ. එතැනින් පටන් ගත්ත ගමන අද ලස්සන මාවතකට යොමුවෙලා. ඒ නිසා එකම ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවී ජීවිතේ කටයුතු කරන්න ලැබුණා. ඒක හරි වටින දෙයක්.

මිනිස්සු ඔබ දිහා බලද්දි ඇතිවන හැඟීම?

හරිම සතුටුයි. මාව හඳුනගෙනනෙ එයාල බලන්නෙ. ඒ නිසා එයාලා මගහැර යන්න තරම් මම ආඩම්බර නැහැ.

සඳුන් ගමගේ