දැන් වැඩි නැඹුරුව ටික්​ වලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දන්නවද චූලක්ෂිගෙ නාමයෙහි තේරුම? චූලක්ෂි යනු චූටි ඇස්, පුංචි ඇස් කිව්වොත් නිවැරැදියි. සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසව වූ වෙන්කත රංගම්මාට තිබුණෙත් චූටි ඇස්. මේ දිනවල චුලක්ෂි අපට හමුවන්නේ ඒ වෙන්කත රංගම්මා විදිහටයි. මොහාන් නියාස්ගේ ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටයේ එලෙසින් හමුවන චුලක්ෂි නොහොත් චූටි ඇස් ඇත්ති සමග කළ පිළිසඳරකි මේ.

චුලක්ෂිගෙ වැඩකටයුතු එහෙම කොහොම ද මේ දිනවල?

“මිහිදුම් තරණය චිත්‍රපටයේ රූගත කිරීම්වලට පසුගිය දිනවල සහභාගි වුණා. මේ දිනවල ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් දායක වෙනවා.”
වෙන්කත රංගම්මාගේ චරිතය නේද?
“ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසවගේ චරිතය.”

අපි ඒ චරිතය ගැන කතා කිරීමට පෙර මොකක්ද මේ මලිත් පෙරේරා එක්ක මෑතකදී කළ ෆොටෝ ෂූට් එක? ඒ ගැන කියමු?

“විශේෂ හේතුවක් නැහැ. මේ ක්ෂේත්‍රයට මම ආවේ නිරූපිකාවක් විදිහට. රූ රැජින කිරුළකට හිමිකම් කීවේ ඉන් පසුවයි. නිරූපණයේදී එදා සිට අද දක්වා විවිධ ෆොටෝ ෂූට් කරනවා. මේ ඒ වගේ තවත් එකක්. ඒ නිසා එච්චර කතා කරන්න තරම් දෙයක් නෙවෙයි.”

සමාජ මාධ්‍ය, චුලක්ෂි ෆොටෝ ෂූට් එකක් කළ විගස නිරන්තරයෙන් ඒ ගැන කතා වෙනවා. මොකද හිතන්නේ?

“ඒකෙ වරදක් මම දකින්නේ නැහැ. එය හොඳින් කළ නිසානෙ ඒ විදිහට ඒ ගැන වැඩිපුර කතා වෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්.”

සමාජ මාධ්‍ය කෙරෙහි චුලක්ෂිට තියෙන බැඳීම මොන වගේ ද?

“මේ කාලය වන විට අන්තර්ජාලය භාවිතය ඔස්සේ සමාජ මාධ්‍ය කෙරෙහි මිනිස්සු බොහෝ සෙයින් පෙළැඹිලා. මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සහ සන්නිවේදන කටයුතු පුළුල් වෙලා. ඒක ඉතා හොඳ දෙයක්. හොඳ විදිහට කළොත් ඒක ඉතා හොඳයි. මේ තාක්ෂණය දියුණුව එක්ක අපට ඒවා නැතුවම බැහැ. ඒත් දියුණු තාක්ෂණය ලෝකය හඳුන්වා දුන්නට ලංකාව තවම ඉන්නෙ දූපත් මානසිකත්වයක. ලෝකය එක්ක බලද්දි මේ සන්නිවේදන ක්‍රියාවලිය අපි හරි විදිහට යොදාගෙන නැහැ. හොඳට කරන පිරිසකුත් ඉන්නවා. නරකට පාවිච්චි කරන පිරිසකුත් ඉන්නවා.”

ලෝකයට එන අලුත් තාක්ෂණය එක්ක චුලක්ෂි අප්ඩේට් වෙනවා ද? ඒ කියන්නෙ යාවත්කාලීන වෙනවා ද?

“තාක්ෂණය ආ විගස ලංකාව එය මූලික අදියරේදී වැළඳ ගන්නෙ භයානක විදිහට. සමාජ මාධ්‍ය දිහා බැලුවත් එහෙමයි. මුල් කාලයේදී ඒක වැරැදි විදිහට තමයි භාවිත කළේ. ඊට පස්සෙ රැල්ලක් විදිහට ගිහින් පසු කාලයකදී තමයි හරියට කරන්න පටන්ගත්තේ. මොන විදිහකට හෝ එන සමාජ මාධ්‍ය වේවා අනෙකුත් අන්තර්ජාල මාධ්‍ය අපි හොඳ විදිහට භාවිත කරනවා නම් හොඳයි.”

මේ වන විට සමාජ මාධ්‍යයේ ඔබ දකින නැම්ම හෙවත් ට්‍රෙන්ඩ් එක මොකක් ද?

“මම සක්‍රීයව නැතත් මට හිතෙන්නේ මේ වන විට ටික්ටොක් කියලයි. ෆේස්බුක්වලින් පසුව ඉන්ස්ටර්, ලින්ක්ඩින් වගේ විවිධ සමාජ මාධ්‍ය වේදිකා විවර වුණා. දැන් මට හිතෙන්නෙ වැඩි දෙනාගෙ නැඹුරුව ටික්ටොක්වලට. එය ඉතා නිර්මාණශීලී විදිහට ඕනෑ නම් භාවිත කරන්න පුළුවනි.” 

වෙන්කත රංගම්මා ගැන කතා කරමු. කොහොම ද මේ චරිතය ගැන චුලක්ෂිට හැඟෙන විදිහ?

“අපි අපේ පාසල් කාලයේ ඉඳලම දන්න කතාවක්නෙ. රාජසිංහ රජු වගේම මේ බිසව ගැනත් අපි කියවලා තියෙනවා. වෙන්කත රංගම්මා චරිතය මම කළේ මගේ දෙවැනි සිනමා නිර්මාණය ලෙසයි. රඟපෑමට ඇවිත් දෙවැනියට රඟපෑ චරිතය තමයි මේ. වසර නවයකට විතර පෙර දී කළ ෆිල්ම් එකක් මේක.”

වසර අට නවයකට පෙර දී කළ මේ චරිත රංගනයට දායක වූ කාලයේදී මුහුණ දුන් මතකයන් මොනවා ද?

“අපට සාමාන්‍යයෙන් යන්න නොලැබෙන තැනකට යන්න ලැබුණා. බොහෝ රූගත කිරීම් සිදු වුණේ එතැන. ඒ තමයි බෝගම්බර හිරගෙදර. බෝගම්බර හිරගෙදර ඇතුළෙ බොහොමයක් ෂූටිං යෙදිලා තිබුණ නිසා ඒ ස්ථානයේ බොහෝ තැන් දැකබලා ගන්න ලැබුණා. රංගන ශිල්පිනියක ලෙස මේ ක්ෂේත්‍රයට පැමිණීම එක අතකට හොඳ දෙයක් කියලා මට හිතුණේ, ජීවිතේ කලාතුරකින් දැකබලා ගන්න පුළුවන් ලොකේෂන්වලට යාමට ලැබෙන නිසයි. බෝගම්බර හිරගෙදර කළුවර කාමරය, සිරකරුවන් නාන ස්ථානය, එල්ලා මරණ තැන, ඒ වගේ විවිධ ස්ථාන දැකබලා ගන්න ලැබුණා. බෝගම්බර හිරගෙදර කියන්නෙ ලොකු කතා ගොඩක් ඇති තැනක්නේ. ඉතින් එදා ඒ ස්ථානය ගැන බොහෝ දේ දැකබලා ගත්තා. ඒ වගේම විස්තර දැනගන්නත් ලැබුණා. ෆිල්ම් එකක් කරන තරමට කතා ඇති තැනක්. බෝගම්බර ගැන ඉතිහාසයේ නොදැන සිටි බොහෝ දේ එදා දැනගන්න ලැබුණා.”

චුලක්ෂි නිතරම රංගනයෙන් දකින්නත් නැහැ. මොකක්ද හේතුව? ඇයි පැල් බැඳගෙන රඟපාන්නෙ නැත්තෙ? ලැබෙන චරිත බාරගන්නෙ නැද්ද? නැත්නම් ඇරැයුම් ලැබෙනවා අඩු ද?

“ඒක හරියටම කියන්න බැහැ. පැල් බැඳගෙන රඟපානවා කියන කතාවෙ තේරුම රඟපාන සෑම නිර්මාණයක්ම එකවර දකින්නට ලැබීමනෙ. සමහර විට ලැබෙන ආරාධනා අඩුයි කියන්නත් පුළුවන්. කොයි හැටි වෙතත් ලැබෙන සෑම චරිතයක්ම බාරගන්නෙත් නැහැ. එකම විදිහේ චරිත දිගටම කරන්නත් කැමැති නැහැ.”

චුලක්ෂි කොහොමද චරිත තෝරාගන්නේ?

“පිටපත කියන දේ ගැන මම බොහොම සැලකිලිමත් වෙනවා. පිටපතට සාධාරණයක් කරන්න තියෙනවා නම් ඒක බාරගන්නවා.”
රංගනයෙන් ජාත්‍යන්තර නිර්මාණයකට දායක වීමේ අරමුණක් තිබුණා නේද? කොහොමද ඒ අරමුණ අදටත් තියෙනවා ද?
“ජීවිතේ ඉලක්කයක් නැති කරගෙන ගමනක් යන්න බැහැනේ. ඉලක්ක කරා යන්න වයස බලපාන්නෙ නැහැ. ලොකුම ඉලක්කයක් තිබුණාම හොඳ විදිහට කරන දේ කරන්න පුළුවනි. රංගන ශිල්පිනියකට තියෙන උපරිමය වන්නේ ජාත්‍යන්තරව නිර්මාණයකට දායක වීමයි. ඒ අරමුණ සඵල නොවුණත් ඒ වගේ අරමුණක් ඇතිව රංගනය කිරීමෙන්, ඒ මොහොතේ දායක වන රංගනයට ඉතා හොඳ සාධාරණයක් කරන්න පුළුවනි. ඒ වගේම හඳ අල්ලන්න උත්සාහ කළොත් අපට අඩු තරමින් පොල් ගසක මුදුනත හරි ස්පර්ශ කරන්න ලැබේවි. මම කියන්නෙ අන්න ඒ විදිහට අපට ලොකු ඉලක්කයක් තිබීම ඉතා හොඳයි. තමුන් නියැලෙන විෂයෙහිදී එහි උපරිමයට යා යුතු ඉලක්කය තබාගෙන වැඩ කිරීම ඉතා හොඳ දෙයක්.”

ජීවිතයේ ලැබූ අත්දැකීම් එක්ක, අද අත්දැකීම් දැනෙන්නෙ කොහොමද?

“එදාට වඩා ආදරය සහ ජීවිතය ගැන සංකීර්ණ විදිහට දකින්නේ. ඒක විස්තර කරන දෙයකට වඩා, ආදරේ ජීවිත එක්ක බැඳී එන දෙයක්නේ. උපන් දා සිට මව්පිය ආදරයේ සිට යහළු යෙහෙළියන්ගේ ආදරයේ සිට ආදරය විඳින දැනෙන විදිහ වෙනස්. කොහොම වුණත් උපන් දා සිට මව්පිය දෙපළගේ සිට එය ජීවිතයට ලැබෙනවනේ.”

පෙම්වතකුගේ ආදරය?

“මේ වෙලාවේ මම පෙම්වතියක් නෙවෙයි.”

චුලක්ෂිට අද චුලක්ෂිව දැනෙන හැටි? කවුරු කොහොම මොන වගේ කියලා ද?

“මට මාව දැනෙන්නෙ සරල විදිහට. හැබැයි බහුතරයක් චරිත දිහා බලන්නෙ සහ තීරණය කරන්නෙ පොතේ පිටකවරය දිහා බලලනේ. ඒක මිනිස්සුන්ගෙ විදිහනේ. මම මාව දකින්නේ සරල කෙනෙක් විදිහට.”

චුලක්ෂි ජීවිතය විඳින්නෙ මොන විදිහට ද? මොන වගේ දේ කරන්න ද කැමැති?

“විවේකයක් ලැබුණාම යාළුවෝ එක්ක කාලය ගත කරන්න ආසයි. තෝරාගත් පිරිසක් ඉන්නවා. එදිනෙදා කාර්යබහුල ජීවිතයේදී වැඩි කාලයක් ගත කරන්නෙ ජිම් එකේ. ව්‍යායාම් සහ ශාරීරික ෆිට්නස් අවශ්‍යයි. ඒ හැර ආධ්‍යාත්මික විදිහට නිස්කලංකව ගත කිරීමට පුණ්‍ය භූමිවලට යන්න ආසයි. විශේෂයෙන්ම පන්සල් වගේ ස්ථානවලට.”

ශ්‍රී වික්‍රම ෆිල්ම් එක ඔබට දැනෙන විදිහට?

“මට හිතෙන විදිහට ඓතිහාසික කතා පුවතක් තේමා කරගෙන නිර්මාණයක් කිරීම ඉතා අසීරු දෙයක්. පිටපත් රචනයේ සිට මොහාන් නියාස් අධ්‍යක්ෂවරයා ඒ අභියෝගය ජයගෙන ඇති වග මේ ෆිල්ම් එක නැරැඹුවාම තේරෙනවා.”

 

සඳුන් ගමගේ