මගේ අම්මට පින්සිද්ධ වෙන්න මම හැමදේම කන කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපිට කෑම එක්ක තියෙන්නේ හරි අපූරු බැදීමක්. ඒ නිසා අපි විවිධ රසයන්ගෙන් යුක්ත කෑම කන්න කැමතියි. සෑම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට ගුණදායි, පෝෂ්‍යදායි ආහාර ලබාදෙන්න සෑමවිටම උත්සාහගන්නවා. දරුවන්ට පමණක් නොවේ අහාර ගැනීමේදී ලොකු කුඩා සැමදෙනාම සෞඛය පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කිරීම තුළින් කෑම නිසා ඇතිවන සෞඛ්ය ගැටළු මගහරවා ගන්නට හැකිවෙනවා. කෙසේ නමුත් රස ගුණ සපිරි ආහාර අපිට ලැබීම කෙතරම් භාග්‍යයක්ද... රස ගුණ සපිරි කෑම ගැන රස මතක කතා බහකට ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී මෙවර සදැල්ල අපිත් එක්ක එකතු වුණා. 

උපේක්ෂා වැඩිපුරම කෑම ගන්නේ ගෙදරින්ද එළියෙන්ද ?

ඒක හරියටම කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් වැඩ වලට උදේ 6ට විතර එලියට ගියාම එන්නේ රෑ වෙලා. මොකද එක වැඩකට විතරක් එළියට යනවට වඩා එකපාර වැඩ ටික කරගන්න එලියට ගියොත්, කෑම උයාගෙන යන්නේ නැහැ. ඒ වගේ වෙලාවට එළියෙන් තමයි කෑම ගන්නේ. එළියෙන් කනවනම් වැඩිපුරම ආස ජපන් කෑම වගේම ඉන්දියන් කෑම වලින් ඉට්ලි, තෝස, වඩේ වගේ කෑම වර්ග වලට. ගෙදර ඉන්න දවස් වලට අනිවාර්යයෙන්ම ගෙදර උයනවා. 

වැඩිපුරම කන්න කැමති කෑම බීම තියෙනවද ?

මම ජැපනීස් කෑම සුෂී වගේ දේවල් කන්න හරි කැමතියි. පලතුරු, ධාන්‍ය වර්ග වලටත් කැමතියි. ලංකාවේ නම් සම්ප්‍රදායික විදියට මුං ඇට, කව්පි, කඩල වගේ දේවල් විතරයිනේ දකින්න ලැබෙන්නේ. මැද පෙරදිග රටක හැදිච්ච කෙනෙක් විදියට ඒ රටවල වට්ටක්කා ඇට වගේ දේවල් වල ඉදලා ධාන්‍ය වර්ග ගොඩක් තියෙනවා. ඒවා හරි රසයි, පෝෂ්‍යදායි. ඒ නිසා මම ඒවා වලට හරි කැමතියි. ඊට අමතරව සාමාන්‍යයෙන් ගෙදරක හදන එළවලු, බත්, මස්, මාළු අපේ ගෙදරත් හදනවා. බීම ජාති ගත්තම මේ දවස්වල දුවයි මමයි වැඩිපුර වතුර බොනවා. ඊට අමතරව මම කෝපි බොන්න ගොඩාක් කැමති කෙනෙක්. මොකද තෙහෙට්ටුවක් වගේ තිබ්බම ඒක මගහැර ගන්න පුළුවන් කෝපි එකක් බිව්වම. ඒ වගේම පලතුරු බීම බොන්නත් ගොඩක් කැමතියි. නමුත් කඩේ තියෙන පලතුරු බීම බොන්න වැඩිය කැමති නැහැ. මොකද බොහොම අඩු පලතුරු ප්‍රමාණයකට වතුර ගොඩක් සීනි ගොඩක් දාලා තමයි හදලා තියෙන්නේ. දැන්නම් අයිස්ක්‍රීම් වගේ දේවලුත් එකතු කරලා තියෙන්නේ. ඒ නිසා පෝෂණයට වඩා දියවැඩියාව හදාගන්න පුළුවන් ඒ බීම වර්ග බිලා. නමුත් ගෙදරදී පලතුරු බිම, යෝගට්, මී කිරි වගේ දේවල් අපිම හදාගෙන කනවා බොනවා.

ඒ අතර උපේක්ෂා කන්න අකමැති කෑම බීම මොනවද ?

විශේෂයෙන්ම මගේ අම්මට පින්සිද්ධ වෙන්න මම හැමදේම කන කෙනෙක්. පොඩි කාලේ නම් සමහර දේවල් තෝරලා කාපු කාලයක් තිබුණා. නමුත් දැන් ඕනෑම මස් මාළු වර්ගයක් වගේම ඕනෑම හාල් වර්ගයක් කනවා. සමහර අය රතු හාල් වර්ග වලට කැමති නැහැනේ, ඒ හාල් ටිකක් ගණකම් වැඩි නිසා නමුත් මම ඒ හාලුත් බත් විදියට එකතු කරගන්නවා. නමුත් එකම එක දෙයයි මට දරාගන්න බැරි, ඒක අකමැත්ත කියනවට වඩා දරාගන්න බැරිම දෙය තමා මිරිස් සැර. මම මිරිස් කෑවොත් දුක් විදිනවා. මොකද කන් වල ඉදලා මට දැවිල්ලයි. උගුර රිදෙනවා, ඉක්කා වැටෙනවා. ඊටත් පස්සේ දවස පුරාම ඒ සැර මට අත්විදින්න වෙනවා. 

උපේක්ෂා කෑම හදනවද ? ඒ මොනවද ?

මම තමයි ගෙදර කෑම හදන්නේ. මගෙයි දුවගෙයි උස මහත බැලුවම අපි දෙන්නා හොදට කෑම කනවා කියලත් පේනවා. මගේ දුව ඉක්මනට හැදෙන වයසක් මේ යන්නේ. ඒ නිසා එයාට හොදට කන්න බොන්න වගේම ලොකු පෝෂණයක් ලැබෙන්න ඕන කියලා මට පේනවා. ඒ ගැන හිතලා එළවලු, කොළ මැල්ලුම් වගේ දේවල් කෑම එකට එකතු කරගන්නවා. හැබැයි එහෙමයි කියලා, උදේ රෑ අපි බත් කන්නේ නැහැ. පාන්, ඉදි ආප්ප, පැස්ටා, මැකරෝනි, ස්පැගැටි වගේ දේවල් හදනවා. දවල් කෑම වේලට බතයි එළවළු 2ක් හෝ 3ක් හදනවා. මගේ පහසුවට මම හදන එක ව්‍යංජනයක් තමයි එළවළු කිහිපයක් දාලා එකට හදන එක. පරිප්පු පොඩ්ඩක් එක්ක බෝංචි, වට්ටක්කා එහෙම දාලා සාම්බාරුවක් වගේ හදන්නේ. ඒකට හොදට පොල්කිරි එහෙම දාලා හදනවා. ඒකටම මොනවහරි මස් වර්ගයක්, මාළු වර්ගයක් එක්ක, මැල්ලුමක් හදනවා. මේ විදියට කෑම වේලක් හැමදාම මගේ දුවට දෙන්න පුලුවන්නම් මම ගොඩක් කැමතියි. නමුත් මගේ කාර්යයබහුලත්වයත් එක්ක හැමදාම එහෙම කෑම හදන්න ටිකක් අපහසුයි. නමුත් ගෙදර ඉන්න හැමවෙලේම මේ වගේ කෑම වේලක් හදන්න උත්සහකරනවා. 

රස කෑම එකක් හදන විදිය කියමුද අපිටත් දැනගන්න ?

මම හදන බිරියානි එක ගැන කියන්නම්. මොකද මම හදන බිරියානි එක කන්න දුව හරිම කැමතියි. මම සාමාන්‍යයෙන් කෑම වලට ලුණු ගොඩාක් එකතු කරනවා. මොකද මම විශ්වාස කරන විදියට ලුණු, සුදුලුණු වැඩිපුර එකතු කරද්දී කෑම එකේ රස වැඩියි. මේකටත් ලුණු, ඉගුරු, සුදු ලුණු ටිකක්, කරාබුනැටි, කුරුදු වගේ කුළුබඩු තෙලට එකතු කරගෙන තෙම්පරාදු කරගන්නවා. චිකන් එකට මිරිස්, අමු තුනපහ අතගාල ටිකක් වෙලා තියලා ඒ චිකන් ටික තෙලට දාලා කොත්තමල්ලි කොළ ටිකකුත් කපලා දාලා චිකන් ටික පොඩ්ඩක් බැදිලා වටේ හයිය වෙන්න වගේම තුනපහ ටික අල්ලගන්න තියලා, මී කිරි ටිකක් දානවා. හාල් ගන්නවනම් බාස්මති තියනව නම් එහෙමයි, නැත්නම් කටට රස සහල් වර්ගයක් අරගෙන හොදට සෝදලා ඒ හාල් ටික චිකන් එකට එකතු කරලා සාමාන්‍ය බත් උයාගන්න භාවිත කරන ප්‍රමාණයට වතුර එකතු කරගෙන වහලා උයාගන්න තියෙන්නේ. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකක් කැමති නම් ආයේ එකතු කරගෙන කෑමට ගන්න පුළුවන්. මම නම් ඒක කලවම් කරන එක ගැන වැඩිය හිතන්නේ නැහැ. සමහර අය එක එක ක්‍රම වලට කලවම් කරගන්නවා. මොකද මම කෑම එකේ පෙනුමට වඩා පෝෂණය ගැන හිතන කෙනෙක්. 

දුව මොන වගේ කෑම කන්නද කැමති සහ ඇයගෙන් ඔබේ කෑම වලට ලැබෙන ප්‍රතිචාර මොන වගේද ?

මමත් මගේ දුවව මේ සමාජයෙන් මුළුමනින්ම ඉවත් කරලා හදන්නේ නැහැ. එතකොට බොරු කියන්න ඕනේ නැහැ ඇත්තටම මැක්ඩොනල්ඩ්ස්, පීසා හට්, හොට්ඩොග්ස්, කේඑෆ්සි වලට එහෙම හරි කැමතියි. මැගී නුඩ්ල්ස් කන්න හරි කැමතියි. එකනම් ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඒ විෂබිජේ මගේ දරුවටත් ගිහින් හමාරයි. නමුත් වෙනත් අයට එකේ වැරැද්ද 100% මම දෙන්නේ නැහැ. කොහොම නමුත් හැම වෙලේම මම එයාට ඒ කෑම දෙන්නෙත් නැහැ. ගෙදරදී පොල් රොටී වගේ දේවල් වලටත්. පැස්ටා වලට වගේම කිරිබත් වලට. ඒ වගේම මම හදන බිරියානි එකටත් දුව හරිම කැමතියි. මම හදන ඕනෑම කෑමක් කන්න දුව ගොඩක් කැමතියි.  

ප්‍රධාන කෑම වලට අමතර ගන්න අතුරුපස, කැවිලි වර්ග එහෙම මොනවද ?

මම කොකිස්, පැණි වළලු වගේ දේවල් තමයි කැවිලි වලින් කන්න ආසා. වටලප්පන් පුඩින් වගේ දේවල් වැඩිපුර කන්නේ නැහැ. අතුරුපසට ගන්නවනම් යෝගට් එකක්, මීකිරි ටිකක්, පලතුරු මොනවහරි ගන්න තමයි කැමති. 

අම්මා හදන කෑම වලින් උපේක්ෂා කැමතිම කෑම මොනවද ?

දැන්නම් අම්මා විදේශ ගත වෙලා ඉන්නේ. අම්මා හදපු කෑම වලින් මැද පෙරදිග හදන චිකනුයි බතුයි එකට දාලා හදන බිරියානි නොවන බත් එකක් තියෙනවා. ඒක හරිම රසයි. ඔක්කොටමත් වඩා අපේ අම්ම හදනවා වැනිලා එසන්ස් දාලා ප්ලේන් ටී එකක් ඒක හරිම රසයි. සාමාන්‍යයෙන් අම්මා තනියෙන් හදාගන්නවා එයාට බොන්න කියලා නමුත් එයාට බොන්න වෙන්නේ නැහැ. මොකද ඒක මම බොනවා.  

කෑමත් එක්ක උපේක්ශාට තියෙන අමතක නොවෙන මතක මොනවද ?

එකපාරක් කිරිබත් හදන්න ගිහින් ඒක කිහිප දෙනෙකුට හදන්න ඕන නිසා අපේ ගෙදර තිබ්බ ලොකුම භාජනයක් අරගත්තා. අරගෙන කට්ටියට මදිවෙන්නේ නැතිවෙන්න හදමු කියලා පටන් ගත්තා. එදා දහයකට දොළහකට වගේ හදන්න ඕන වුණා. උයන්න ගත්තාම තමයි තේරුණේ උතුරලා යද්දී භාජනේ මදියි කියලා. ඊට පස්සේ ටක් ගාලා මම වෙන භාජනයක් අරගෙන කොටසක් ඒකට දැම්මා. සාමාන්‍යයෙන් කිරිබත් කන්නේ උදේටනේ එදා කිරිබත් දෙන්න වුණේ දවල්ට. මොකද ඒක එක්ක ඔට්ටු වෙලා හදලා ඉවර වෙද්දී දවල් වෙලා. ඔහොම තමයි ඒ සිද්ධිය වුණේ.

පිටරටවල සහ ලංකාවේ සංචාරය කරද්දී කන්න ලැබුණු රස කෑම මොනවද ?

මම පිටරටවල සංචාරයේදී කන්න ලැබුණු හොදම සහ රසම කෑම තිබුණේ ඊශ්‍රාලයේ. ඒ කෑම වල පෝෂණය අධිකයි. සුප් එකේ ඉදලා ධාන්‍ය වර්ග ටික, පලතුරු වර්ග මම අහලවත් නැති දේවල් වගේම ඒ දේවල් වලට විවිධ රසයන් තිබුණේ. රාජකීය භෝජනය කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක දකින්න ලැබෙනවා. එළවළුවක් වුණත් ලොකුත් නැති පොඩිත් නැතුව, හරි ගානට කපලා, හරි ගානට තම්බලා පෝෂණය රැකලා තිබුණා හොදින්. මට ඒ කෑම කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඒ රටේ ආකල්පමය පොහොසත්කම පවා ඒ දේවල් වලින් පේනවා. ලංකාවේ ගොඩක් වෙලාවට අතන මෙහෙම කෑම තියෙනවා මෙතන මෙහෙම රස කෑම තියෙනවා කියනවනේ. නමුත් ගිහින් කෑවම තමයි තේරෙන්නේ කලින් රසම තමයි තියෙන්නේ කියලා. ලංකාවේ නම් ගොඩක්ම ඒ වගේ දේවල් තමයි වෙන්නේ. මම ගිහින් නැති රටවල් ගොඩක් තියනවා. මම විදේශ සංචාරයක ගියොත් කරන ප්‍රධානම දේ තමයි ඒ අයගේ දේශීය කම විදින එක.මම අත්විදපු විදියට බොරු කියන්න ඕනේ නැහැ ඇත්තටම අඹ ගෙඩියක රස වුණත් රටින් රටට වෙනස්. 

අමා අලහකෝන්