වුරුදු ගාණක මම සිදු කළ පර් යේෂණයක සොඳුරුතම ප්‍රතිඵලය තමයි My Red Comrade



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q නිහඬවම ගෙවා දැමුවේ යැයි අප සිතන වසර 19ක්. එහෙත් ඔබ නිහඬ නොවූ වසර 19ක්. කියන්න එක්තරා නිහඬ වීමක් සහ නිහඬ නොවීමක් අතර ගෙවුණු කාලය කෙලෙසදැයි?

ඇත්තටම සිනමාවේදියෙකුගේ භූමිකාවට සමුදීමක් නොවන සමුදීමක් සහ ගුරුවරයෙකුගේ භූමිකාවට ප්‍රවේශ වීමක් අතර සංක්‍රාන්ති සමයක ගෙවුණු අමුතුම සුන්දර පරිණත වසර 19ක් ඒ. 

Q ඔබ.. ගුරුවරයෙක්? අප දන්නා සුදත් මහදිවුල්වැව කියන සිනමාවේදියා ගුරුවරයෙක් බවට පරිවර්තනය කළේ කවුරුන්ද?

මම මෙහෙම කියන්නම්. ශ්‍රී ලංකා පදනම් ආයතනය ඩිජිටල් සිනමා ඇකඩමිය ආරම්භ කළා. ඒක හරියට සිනමා පාසලක් නැති අපේ රටේ සිනමා පාසලක ආරම්භක අවධිය කියලා මට දැනුණෙ. මට ඊට ආරාධනා ලැබුණත් වෘත්තිකයෙක් විදිහට සම්බන්ධ වෙන්න, ඇත්තටම එයාලට ඕනෑ වුණේ ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණයෙකුට එය බාරගන්න, බාර අරගෙන කරගෙන යන්න කියන්න. මම හරි කැමැත්තෙන් ඒ වගකීම දෙවුර දරාගත්තා කිව්වොත් මම නිවැරදියි. ඒ ඩිජිටල් සිනමා ඇකඩමිය ලංකාවේ බිහිවූ සිනමා පාසලකට කලින් පූර්ව සිනමා අවධියක් කලාවේ මුණගැසෙන්නට තැබූ හොඳම උදාහරණයක්. විද්‍යාර්ථීන් කණ්ඩායම් හතරක් අපි ඒ තුළින් නිර්මාණය කර මුදාහැරියා. අද ඒ අය සක්‍රීයව සිනමා ක්ෂේත්‍රයේ විවිධ ශානර හා මුහු වී වැඩ කරනවා. මම තුළ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වගේම සිනමා ගුරුවරයෙක් ඉන්න බව මට දැනුණා. සතුට කියන දේ දනවන හැම දෙයක්ම වෙහෙසක් නොවන සොඳුරු වෙහෙසක්. ගුරු භූමිකාව තුළ මගේ සැරිසැරීම එවන් සොඳුරු වෙහෙසක්. 

Q ඉතින් ඊටත් පස්සෙ?

ඇත්තටම ඊට අමතරව පදනම් ආයතනයේ ඉද්දි මගේ තිබූ වෙනම සම්බන්ධයක් එක්ක මට ලැබුණා පදනම් ආයතනය හා ජර්මන් ආයතනයක් ඒකාබද්ධව සිදු කළ උසස් කාර්යයකට සම්බන්ධ වෙන්න. චිත්‍රපටය කොහොමද රසවින්දනය කියන කාරණාවෙන් ඔබ්බට ගිහින් තිර පිටපත ඇතුළත ඇති සමාජ විද්‍යාත්මක, සංස්කෘතික සහ දේශපාලනික කාරණා ඉසියුම් ලෙස ගවේෂණය කරන්නේ, මේ තුලින් කොහොමද සිනමාමය මංමාවත් දිගේ ප්‍රේක්ෂකයා කැඳවාගෙන යන්නේ, තවදුරටත් සරල රසවින්දනය කියන කාරණයෙන් ඈතට ගිහින් සිනමාව කියන්නෙ අපූරු කියවීමක්, ඇත්තටම චිත්‍රපටයක් කියන්නෙ ගැඹුරු කියවීමක් කියන සංකල්පය ප්‍රේක්ෂක මනසට ඒත්තු ගන්වන්නෙ කියන කාරණය වෙනුවෙන් තමයි එතෙන්දි අපි වෙහෙසුණේ. අවුරුදු හතරහමාරක් තිස්සෙ එක බ්‍රහස්පතින්දාවක්වත් මඟ නොහැර හැම බ්‍රහස්පතින්දාවකම සවස 4ට ශ්‍රී ලංකා පදනම් ආයතනයට ආරාධිතයෙක් ගෙන්වලා අදාළ චිත්‍රපටයක් පෙන්වා ඊට අදාළ මාතෘකාවක් කතා කරලා එයිනුත් පස්සෙ පැය එකහමාරක් දෙකක් අපි සක්‍රිය සංවාදයක් කළා. ශාලාවකට කොටු නොවී ඒ සංවාදය පදනම් ආයතනයේ කොරිඩෝවල, වාහන නැවතුම්පොළේ මේ හැමතැනකම දිගහැරුණු හැටි හරි ලස්සන මතකයක්. මම විශ්වාස කරනවා හැම බ්‍රහස්පතින්දාවකම සංවාදයක් කියන එක ලංකාවේ නඩත්තු කළේ පළමු වතාවට. ජර්මන් ආයතනයේ වාර්ෂික වාර්තාවට අනුව ඔවුන්ගේ &ටොප් ටොපික්* එක වුණේ ඒ කාර්යයි. එහෙත් මම පදනම් ආයතනයෙන් අයින් වීමත් සමඟ ඒ වැඩපිළිවෙළ නතර වුණා. චිත්‍රපටවලට තිබුණු මගේ අසීමාන්තික ආදරය සහ එක්තරා ආකාරයක පිස්සුවක් තමයි ඒ සාර්ථකත්වය පිටුපස තිබුණු ලොකුම සිද්ධාන්තය. ලෝකය පුරා ප්‍රබල විචාරයන්ට ආන්දෝලනයන්ට ලක්වූ චිත්‍රපට පවා අපි එහි පෙන්නුවා. උදාහරණයක් විදිහට වධ දීම දැකීම සෞන්දර්යක් වැනි තේමාවකින් නිර්මාණය වූ එම චිත්‍රපටයෙන් පසු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා පවා මරණයට පත්වූ අතිශය දරුණු තේමාවක් සහිත චිත්‍රපටයක් ලෙස තේමාත්මක වූ සාලෝ වැනි චිත්‍රපටයක් පවා අපි පෙන්නුවා. හැමදාම දකින මුහුණු වගේම අලුත් මුහුණු ඒ සංවාදයට ආවා. ඒ වගේම විශ්වවිද්‍යාල ගණනාවක සිනමාවේ විවිධ ශානරයන් පිළිබඳව එහි ප්‍රායෝගික කාරණා ඇතුළු තාක්ෂණික කාරණා බොහොමයක් පිළිබඳව මම ඉගැන්වීමේ යෙදුණා.

Q My Red Comrade යනු 19 වසරක ඔබේ සිනමාත්මක නිහැඬියාව බිඳ දැමූ නවමු සිනමා වර්ණයයි. කියන්න එහි උත්පත්තිය කොහොම සිදුවුණාදැයි?

අවුරුදු ගාණක මම සිදු කළ පර් යේෂණයක සොඳුරුතම ප්‍රතිඵලය තමයි My Red Comrade. 

Q සිනමාව, චිත්‍රපටය ඔබ නිර්වචනය කරන්නෙ කොයි විදිහටද?

රසවින්දනය කියන සරල කාරණයෙන් එහාට අපිට අපිව මුණගස්වන තැනක් තමයි සිනමාව සහ චිත්‍රපටය කියන්නෙ. ජීවිතය අපට මුණගස්වමින් අපි දිහා බලාගෙන ඉන්න කැඩපතක් අප ඉදිරියේ මවාලන්න සිනමාවට සහ චිත්‍රපටයට පුළුවන්. පිරිමියෙක් හෝ ගැහැනියක් තුළ සුවිසල් පරිවර්තනයක් ඕනෑම ක්ෂණයකදි ඕනෑම අහම්බකාරකයකදි කරන්න සිනමාව කියන චිත්‍රපටය කියන ඉසියුම් ජව සම්පන්න, බල සම්පන්න මේ කලාවට පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා කලාවේ බොහෝ ශානර අතරේ ප්‍රබලතම ශානරය සිනමාව කියලා. සිනමාවට වාරණ පනවන්න පවතින ආණ්ඩු, නිලධාරීන් ක්‍රියා කරන්නෙ ඒකයි. සිනමාව ඒ වැඩවසම්වාදී බොහෝ චින්තකයන්ට හිසරදයක් වෙන්නෙත් ඒකයි. සිනමාවට පුළුවන් අපිව වෙනස් කරන්න. වෙනස් නොවුණොත් අපිව පරණ වෙනවා. මිනිස්සු තමන්ගේ ජීවන සුවිසැරිය පුරා ඇවිදින්න ඕනෑ හුස්මක් වැටෙන නිසා නෙවෙයි, හුස්ම ගන්න නිසා. හුස්මක් ගන්න මිනිස්සු නිර්මාණය කරන්න සිනමාවට පුළුවන්. 

Q මීට කාලෙකට ඉහතදී අප දන්න සුදත් මහදිවුල්වැව එදාට වඩා අද හුඟක් වෙනස් වී ඇති බවක් හැඟෙනවා. ඒ වෙනසට හේතුව මෙය යැයි කියන්න පුළුවන් මහා හේතුවක් තියෙනවද?

මා තුළ සිටි සිනමාවේදියා තවත් යාවත්කාලීන කළ, නෑ ඊටත් වඩා උඩු යටිකුරු කළ, මට මාවම දැනෙන පරිවර්තනයකට මාව පාත්‍ර කළ දුර්ලභ අවස්ථාවක් මම අත්වින්දා. පදනම් ආයතනයේ ඉද්දි මම සහභාගි වූ දින පහක නේවාසික වැඩමුළුවක් තමයි මාව ඒ විදිහට වෙනස් කළේ. මා මිතුරු සුනිල් විජේසිරිවර්ධන ඇතුළු ඒ හා බැඳුණු හැම කෙනෙකුටම මම මේ මොහොතේ ස්තූතියි කියනවා. ඇත්තටම ඒ නේවාසික වැඩමුළුව අපට හැකි උපරිමයෙන් ඊට වඩා අඩු කාලයක් තුළ වුව බොහෝ අය හා බෙදා ගන්නත් ඉන්පසු අපි කටයුතු කළා. 

Q My Red Comrade තුළ ඔබ කතා කරනවා සංස්කෘතික මිනිසා යන සංකල්පය ගැන. ඔබ ආකර්ෂණය වූ ඒ සංස්කෘතික මිනිසා ඔබ අප හමුවේ නිර්වචනය කරන්නෙ කෙසේද?

ඇත්තටම මම ඒ සංකල්පයට පුදුම විදිහට ආකර්ෂණය වුණා. හරිම සරල අර්ථයෙන් කීවොත් චිත්‍රපටය ආශ්‍රයෙන්ම පැහැදිලි කළොත් අපි ජීවත් වෙන්නෙ ඇයි, ඉපදුණු නිසා ජීවත් වෙනවද, අපි කොහොමද කාට හරි ආදරණීය මනුස්සයෙක් වෙන්නෙ, මම නොවන අනෙකාට ගරු කරන්නෙ වැනි ඉතා දියුණු සංකල්ප ගණනාවක් සොයා යන ගමනක් එක්ක තමයි මේ සංස්කෘතික මිනිසා කියන සංකල්පය ස්ථානගත වෙන්නෙ. සංස්කෘතිය සංවේදී විදිහට නිර්වචනය කර ගනිමින් ඒ තුළ චිත්‍රපටයට, පොතට, කලාවට, ලෝකයට, මිනිසාට ආදරය කරන මිනිසෙකු උපද්දවන්නෙ කොහොමද කියන සංකල්පය මේ ඇතුළෙ සම්මිශ්‍රණය වෙනවා. මෙතෙනදි සංස්කෘතිය කියන්නෙ ලෝකයෙ පොදු අර්ථයක් තුළ විග්‍රහ කරන රාමුවාදී සංස්කෘතිය නෙවෙයි. අපට හීන දකින්න උගන්වන, ඒ දැක්ක හීන හැබෑවක් කරන්න මං තනන සංස්කෘතියක්. හීන දකින්න බැරි නම් අපි ජාතියක් විදිහට නෙවෙයි, පුද්ගලයන් විදිහටත් බංකොළොත්. 

Q වාමාංශික දෘෂ්ටිය තුළ ඔබේ රැඳීම විහිදෙන්නෙ කොයි විදිහටද?

වාමාංශික දෘෂ්ටිය කියන සංකල්පයට මම ආසයි. ආදරෙයි. ඒත් ප්‍රායෝගික තලය තුළ ක්‍රියාත්මක වෙද්දි ඒ වාමාංශිකත්වයේ මුල් අදහස හරියට හඳුනා ගැනෙන්නෙ නෑ. එය මඟහැරෙනවා. මම ප්‍රිය කරන්නෙ මුල් නොසිඳුණු ප්‍රකෘතිමත් වාමාංශික දෘෂ්ටියට. 

Q චරිත දෙකක්. වචන දිගේ දිගහැරෙන දිගු සල්ලාප වගේම ප්‍රේක්ෂකයාට හුස්මක් ගන්න සහ කියවන්න ඉඩක් හදන හිස්තැන්. අමුතුම වැස්සක්. කළුවරක්. රාත්‍රියක්. කාමරයක්. අතීත කියවීමක් සහ අහම්බ සමුදායක්. My Red Comrade මට මා අමතක කරවන්න ඔබට හැකිවුණා කිව්වොත් මගේ ප්‍රතිචාරය ඔබ බාරගන්නෙ කොහොමද?

පැය එකහමාරක පමණ කාලයක් තුළ ඔබට ඔබ අමතක වුණා නම් දිනලා තියෙන්නෙ, ඒ දිනීම තුළ තෘප්තිමත් වෙන්නෙ මා තුළ සිටින සිනමාවේදියා. මේ චිත්‍රපටයේ පිටපත හරිම විද්‍යානුකූලයි. දියුණුම තාක්ෂණය පාවිච්චි කරලා ලියූ පිටපතක්. පිටපත කියැවීමෙන් විතරක් 70% ක් විතර චිත්‍රපටය දෑස් අභිමුව මවාගන්න පුළුවන්. චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ චරිත දෙකක් වුණාට ඒ චරිත දෙක හා බැඳුණු සංගීතය, අංග රචනය, ශබ්ද සංයෝජනය, ආදි මේ හැම දෙපාර්තමේන්තුවක්ම මම හඳුන්වන්නෙ චරිත විදිහට. මේ හැම දෙපාර්තමේන්තුවක් එක්කම මම ගොඩක් සාකච්ඡා කළා. සැබැවින්ම සංවාදවලින් කතාන්දර කීම මගේ ශෛලිය නොවුණට මෙතෙන්දි මම සංවාද තුළින් කතාවක් කියවනවා. මේ චිත්‍රපටය දුවන්නෙම වැස්ස සහ කෝච්චිය එක්ක. දවල් වරුවක් නෑ, තියෙන්නෙ රාත්‍රිය, කාමරයක් ඇතුළෙ ජීවිතයම ලෝකයම හොයන දෙන්නෙක්. වැස්ස කොයි තරම් බලසම්පන්න මැවුමක්ද කියලා මේ චිත්‍රපටයෙදි කතා කරනවා. වැස්සෙ හැම සියුම් රිද්මයක්ම, හැම වේෂයක්ම, හැම හඬක්ම, හැම ස්වරයක්ම මේ තුළදි මුණගැහෙනවා. නාඳුනන පිරිමියෙක් ඉන්න කාමරයකට අනපේක්ෂිතව එන කෙල්ලක් තාත්තා ගැන, පොත් ගැන මතක දිගේ ඇවිදින ගමන් පිරිමියෙක් තුළ නිදා සිටි පිරිමියෙක් ඇහැරවනවා. ජීවිතයේ මඟහැරෙන ගොඩක් දේවල් පුදුමාකාර විදිහට සිහිපත් කරන තත්ත්පර කෙනෙක්ට ජීවිතයේදී හමුවෙන්න පුළුවන්. මේ කෙල්ල සාමාන්‍ය කෙල්ලකට වඩා හුඟක් වෙනස්.

Q ඇයි ඔබ ඒ කෙල්ලව නිරුවත් කළේ?

ඒ කෙල්ල තුළ හුස්ම ගන්න නිළිය තරින්දි ප්‍රනාන්දු. ඇය නිරුවත් කිරීම තුළ මට විශාල පාඩුවක් වුණා ඒ චිත්‍රපටයට වැඩිහිටියන්ට පමණයි ලේබලය ඇලවීම තුළ ප්‍රේක්ෂකාගාරය සීමාසහිත වීම. එහෙත් ඒ නිරුවත් වීම මේ චිත්‍රපටයට එක් කළ ගැඹුර වචනයෙන් කියන්න බෑ. එයා මුලින් කියනවා එයා ලිංගික ශ්‍රමිකයෙක් කියලා. ඒත් නෑ, ඇය දක්ෂ රුඟුම් ශිල්පිනියක්. ඇය සියුම් ලෙස ඇය කියූ බොරුව නඩත්තු කරන්න ගත්ත උපාය මාර්ගයක් විදිහට ජීවිතය පරිස්සම් කරගන්න කරපු ක්‍රියාවක් හැටියත් ඒ නිරුවත් වීම අර්ථ දක්වන්න පුළුවන්. අනෙක් එක ඇය තුළ ජීවත් වන ඇයට නිරුවත් වීම මැජික් එකක් වෙන්නෙ නැත්තෙ ඇය සාමාන්‍ය කෙල්ලෙක් නොවන නිසා. 

Q ඇත්තටම නිරුවත් වෙන්නෙ ඇයද? නැත්නම් ඇය හා කාමරේ සිටි තරුණයාගේ මනසද?

ඔව්. එය එලෙස කෙනෙකුට අර්ථ දක්වන්නත් පුළුවන්. ඇය නිරුවත් වුණාට පසුව තමා මේ කාමරයේ ඉන්න තරුණයාට කවදාවත් තමන් හිතන්නවත් ලෑස්ති නොවුණු ආදරවන්තිය, බිරිඳ ගැන හීනය පැමිණෙන්නෙ. ඇය චේගුවේරා ඇඳුම ඇඳ රුසියානු මල් කළඹක් ගෙන රතු පාට තොප්පියක් දමාගෙන නටනවා. ඒ නටන්නෙ අර තරුණයාගේ මනස තුළ හැංගිලා හිටිය ඔහුත් නොදන්න ඔහුගේ රුසියානු සිහින ආදරවන්තිය, බිරිඳ. ඇත්තටම ඒ නටන්නෙ ඔහුගේ සිතුවිලි තුළ සිටින ගැහැනියක් මිසක් කාමරයට පැමිණි ඇය නෙවෙයි. දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ජීවිතයම කැප කළත් ඔහු තුළ සැඟවී සිටින ආදරයේ මූලයක් තමයි ඒ නටන ගැහැනිය. 

Q ඒ තරුණයාගේ පළමු සිනමා රංගනය මෙයයි. ඒ තෝරාගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?

ඔහුට, ආසිරි ඇල්ලගේට තියෙන්නෙ මිනිහෙක් පුච්චන්න පුළුවන් ඇස් දෙකක්, සිනමාරෑපී මූණක්. ශෝකය, ජීවිතය, ආදරය, ඔක්කොම ලියැවිච්ච ඇස් දෙකක්. කවුරුත් නොදැක්ක නළුවෙක් වගේම තරින්දිව යටපත් නොකරන නළුවෙකුත් මට ඕනෑ වුණා. 

Q වැස්ස ගැන පුදුමාකාර රොමාන්තික විදිහට ඔබ කතා කරනවා?

ඔය හුඟක් දේවල් මගේ ජීවිතයට හරි සමීපයි. ඒ වැස්ස රාත්‍රිය කියන්නෙ මගේ ජීවිතයට පිටස්තර දේවල් නෙවෙයි. කැමරා ඇසට පුළුවන් වෙලා තියෙනවා ඒ වැස්ස තව තවත් හැඟීම්බරව කාව්‍යාත්මක විදිහට ප්‍රේක්ෂකයාට දනවන්න. රුවන් කොස්තා කියන අති විශිෂ්ට කැමරා ශිල්පියාගේ වෘත්තීය ජීවිතය තුළ හොඳම කැමරාකරණය සටහන් වුණේ My Red Comrade තුළ කියලා මට හැඟෙනවා. 

Q අවසානයේදී මෙහෙම අහන්නම්. ඒ් රතු කෙල්ල තුළ හුස්ම ගන්නෙ අන් කිසිවෙකුත් නොවෙයි. ඒ ඔබයි. ඒක එහෙමද?

ඔව්. ඒ මමයි. 

I සංජීවිකා සමරතුංග