අලි කතාව දැන් තිරගතවේ


මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ %අලි කතාව^ සිංහල චිත්‍රපටය මැයි 18 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලය ප්‍රමුඛ සිනමාහල් වල තිරගත වෙයි. පසුගිය මැයි 02 වැනිදා මෙම චිත්‍රපටය මාධ්‍ය‘වේදීන් වෙනුවෙන් කළ ප්‍රදර්ශනයේදී අදහස් දැක්වූ "අලි කතාව" අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අලි කතාව චිත්‍රපටය නිර්මාණය, 2015 වසරේ වැඩිම ආදයම ලද චිත්‍රපටයේ (මහරජ ගැමුණු) නිෂ්පාදකවරයාගේත්, 2016 වසරේ වැඩිම ආදායම ලද චිත්‍රපටයේ (පත්තිනි) අධ්‍යක්ෂකවරයාගේත් එක්වීමකින් නිර්මාණය වූවක් බව පැවසුවේය. එය ඔහු නිර්මාණය කළ ප්‍රථම ළමා චිත්‍රපටය බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ළමා රංගන ශිල්පීන් වන කෞෂල්‍ය ප්‍රනාන්දු, යොහානි හංසිකා සමග "රාජු" නම් අලි පැටියෙකු ප්‍රධාන චරිත මවන මෙම චිත්‍රපටයේ සෙසු චරිත රඟපෑම් රවීන්ද්‍ර රන්දෙණිය, තාරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන සහ සරත් කොතලාවල ගෙනි. 2007 වසරේ අප අතරින් වියෝ වූ ලෙටීෂියා බොතේජු විසින් රචිත "අනුෂ සහ රන් කුමරු" නවකතාව ඇසුරෙන් "අලි කතාව" තිරපිටපත ලියා ගේය කාව්‍ය රචනය කළේද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්මය. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණය කළ මෙහි සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර‘ගෙනි. බිමල් දුෂ්මන්ත කලා අධ්‍යක්ෂණය කළ මෙම අලි කතාවේ වේෂ නිරූපණය හර්ෂ මංජුල විසිනි. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත අධ්‍යක්ෂණයට විශාරද නන්දා මාලනී සහ රොඩ්නි වර්ණකුල සමග 2015 දෙරණ ලිට්ල් ස්ටාර් ගායනා තරගයෙන් ජනප්‍රිය වූ ඉරෝෂන් මධුසංඛ සහ විදූෂා නේත්‍රාංජලී ගීත ගායනා කරති. අලි කතාව නාද සැලසුම් ශෂික රුවන් මාරසිංහ ගෙන් වන අතර, විමල් දේශප්‍රිය මෙහි සහාය අධ්‍යක්ෂකවරයාය. මෙහි නිශ්චල ඡායාරූපකරණය මහේන්ද්‍ර ජයසුන්දරගෙනි. මනෝහාරී හේවාවසම් නිෂ්පාදන කළමනාකරණය කළ අලි කතාව නිෂ්පාදනය 2015 වසරේ වැඩිම ආදායම් ලද %මහරජ ගැමුණු^ චිත්‍රපටය නිෂ්පාදකවරයා වූ ගුණපාල රත්නසේකරයන්ගෙනි.