ජෝන් වික් 2


ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම රසික ආදරය දිනාගත් කිනු රිවිස්ගේ නවතම චිත්‍රපටය වූ "ජෝන් වික්" දෙවැනි චිත්‍රපටය පෙබරවාරි 10 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත. කිනු රඟන මෙම "ජෝන් වික්" චිත්‍රපටයේ පළමු වැන්න 2014 වසරේ තිරගත වූ අතර, එය ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් උපයා ගන්නට සමත් විය.

ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය කර ඇති මෙම "ජෝන් වික්" දෙවැනි චිත්‍රපටය පළමු චිත්‍රපටයේ මෙන්ම මැරකල්ලියක් සමගින් ජෝන්ට සටන් වදින්නට සිදුවන සිදුවීමක් මෙහි කතා පුවතට ඇතුළත්ව තිබේ. කෙසේ වෙතත්, "ජෝන් වික්" පළමු චිත්‍රපටයට වඩා තිරගත වීමට සූදානම් කර ඇති චිත්‍රපටයේ බොහෝ වෙනස්කම් දකින්නට ලැබෙන අතර, පළමු චිත්‍රපටයේදි ජෝන්ගේ බිරිඳ මැරූ පළිය ගන්නට ඔහු උත්සාහ කරන අයුරුද මෙම කතාවට ඇතුළත් කර තිබේ.

කිනු රිවිස් සමගින් මෙහි කොමන්, ලෝරන්ස් ෆිෂ්බෝර්න්, රිකාඩෝ ස්කමාසියෝ, රූබි රෝස්, ලාන්ස් රැඩික්, තෝමස් සැඩෝස්කි, ඩේවිඩ් ෆ්‍රැට්‍රික්, ෆ්‍රැන්ස්කෝ නෙරෝ, ඉයන් මැක්සන් මෙහි එන සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති. "ජෝන් වික්" දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ චැඩ් ස්ටයිහිල්ස්ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක් වියදම් කරමින් මෙහි නිෂ්පාදන බරපැන දරා ඇත්තේ බැසිල් ඉවන්යික් හා ඩේවිඩ් ලිච් දෙදෙනාය. ඩෙරික් කොල්ස්ටාඩ් මෙහි කතාව හා තිර රචනය ලියා තිබේ. කැමරාකරණයෙන් ඩැන් ලුස්ට්සෙන්ද, එවාන් චෙෆ්ද දායක වී තිබේ. "ජෝන් වික්" දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරීම් සියල්ල සිදු කොට ඇත්තේ රුසියාවේ මොස්කව්, ඇමෙරිකාවේ නිව්යෝර්ක් හා කැනඩාවේ මොන්ට්‍රිරියල් නගරයන්හිදීය. මිනිත්තු 122ක් පුරා විකාශය වන මෙම චිත්‍රපටය පැරමුන්ට් පික්චර්ස් සමාගමේ බෙදාහැරීමක්ද වෙයි.

මෙම චිත්‍රපටය පසුගිය ජනවාරි 30 වැනිදා පළමු වරට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී ප්‍රදර්ශනය කරනු ලැබූ අතර, එය සතියක් ගෙවෙද්දිම සිය නිෂ්පාදන පිරිවැය සොයා ගැනීමට සමත්ව ඇත. සිනමා විචාරකයන් සඳහන් කරනු ලබන්නේ මෙම චිත්‍රපටය මේ වසරේ සාර්ථක ආදායමක් උපයන චිත්‍රපට අතරට පහසුවෙන් එක්වනු ඇති බවය.